Menu

Monday, June 22, 2020

Meri maa..

 

මේක අද අම්මාවරුනගේ දිනයද මොකක්ද කියල දැකපු නිසා දාන එකක් නෙවෙයි. ඒක නිසා චැනල් එකක ගියපු සිංදුවක් නිසා ලියන්න හිතුනු එකක්. අම්මාවරුන්ගෙ දිනය ඔය අනිත් දින වගේම හෙන මාකටින් වැඩක් වුනත් අවුරුද්දටම ඒ දවසෙ විතරක් අම්මට සලකන එවුන් ඉන්න නිසා ඒකත් හොඳ දවසක්. 

කොහොමවුනත් අපේරටේ තියෙන අම්මටසිරි වෙන සංස්කෘතික මෙව්ව එක නිසා අම්මව නිකං හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්කරණය කරල වගේ කියල මටනං හිතෙන්නෙ. ඒක ඒ තරංම ගොබ්බයි. මං මේ හැදුවෙ අම්මෙක්ගෙයි දරුවෙක්ගෙයි බැඳීම ගැන විද්‍යාත්මකව පැහැදිලි කරන්න නෙවෙයි. මේ කියන්න යන්නෙ සිංදුවක් ගැන.

හිංදි සිංදුවක් ගැන. මේක කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක සිංදුවක්. ඒක කොයිතරං මගේ හිතට ඇල්ලුවද කියනවනං ඒ මුලින් අහද්දි ආපු ෆීලින් එක ඒ විදියටම අදත් මට පොඩ්ඩක්වත් අඩු නැතුව එනව. ෆිල්ම් එක තාරේ සමීන් පර්. අමීර්ගෙ. ඔව් ඔව් අර දත් ඉස්සරහට ආපු පොඩි එකෙක් ඉන්න පට්ට පරණ හිට් එක. යට පිංතූරෙ ඉන්නෙ ඌ තමයි.

ෆිල්ම් එකේ මූව හොස්ටල් එකේ දාලා යන තැන තමයි මේ සිංදුව යන්නෙ. අම්මල යනවත් එක්ක ඒ යන වාහනේ දිහා බලාගෙන ඉන්න මේ කොල්ල වටේට හෙමින් කැමරාව රොටේට් වෙද්දි තමයි මේ සිංදුවෙ මියුසික් එක පටන් ගන්නෙ. උගෙ මූණ මහ අමුතු එකක්. ඒක මොකක්දෝ මහ හිතාගන්නබැරි හෙනම ගුප්ත කතාවක් එක වචනයක්වත් කියන්නැතුව අපේ මූණට දමල ගහනව. ඒ සිදුවීම ඌව බිංදුවටත් පහලට වට්ටනව වගේම ඒ කඳුලු පනින මොංගල් පෙනුම අපේ ඇඟම හිරිවට්ටනව. මේ ෆිල්ම් එකේ මුලටික පොඩ්ඩක්වත් බලන්නැතුව මෙතන ඉඳන් බලන්න පටන් ගත්තත් උගෙ කතාවම අපිට හිතාගන්න පුලුවන් ඒ මුණෙන්. හොස්ටල් එක පැත්තට හැරල පඩිපෙල බැහැගෙන එන තැනින් තමයි සිංදුවෙ වචන ටික පටන්ගන්නෙ.

එතනින් එහාට මේ පොඩ්ඩා ඇවිදන් යන අඩියක් ගානේ ඌ ඉන්න තත්වෙට අපිවත් කිට්ටුකරනව. උට තියෙන්නෙ මහ කාලකණ්නි පෙනුමක්. ඒ නිසා වෙන්නැති අපිටත් එනව මහ කාලකණ්නි ගතියක්. මෙහෙම ඇවිත් කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න මේ යකාට වටේ වෙන කිසිම දේක ගාණක් නෑ. ඌ ඉන්නෙ වෙනම ලෝකෙක. ඇත්තටම ඌ ඉන්න ලෝකෙ ඌ කලින් දැකපු නැති ලෝකයක්. උට ඒකට මුහුණදෙන්න තියා හිතාගන්නවත් බෑ. මොකද උගෙ අම්ම උගෙ ලඟ නෑ. එතනින් එහාට ඇඳුමක් ඇදගන්නවත්, කෑමක් කාගන්නවත්, සෙල්ලං කරන්නවත් තියා නිදාගන්නවත් උට තේරුමක් නෑ.

ඌ කල්පනා කරන්නෙ දැන් මොකද කරන්නෙ කියල නෙවෙයි මේ මොකක්ද වුනේ කියල. ඇත්තටම ඌ මුකුත් දන්නෑ. ඊට තත්පර ගාණකට පස්සෙ වොෂ්රූම් එකේ තනියම අඬන මේයකා ඇත්තටම අපේ ඔලුව විකාර කරනව.

නිකං ඉද්දිත් හැඟීම් කෝටියක් විතර පෙන්නන මූණකින් බිත්තියක් බදාගෙන ටැප් එකකින් මූණ හෝද හෝද අඬද්දි කොහොමද. හිංදි වචනයක්වත් බැරි වුනත් මේක බලන ගමන් ඒක ඇහුවනං අපිට ඒ හැමවචනයක්ම දැනෙන්න ගන්නව. ඒකතමයි මේ විෂුවල් ට්‍රීට් එකේ තියෙන මැජික් එක. මේ සිංදුව ඉවරවෙනකල් පෙන්නන්නෙ උගෙ මානසික මට්ටම. උට කොච්චර මේක දැනෙනවද කියන එක. ඒත් අනිත් උන් උන්ගෙ පාඩුවෙ නිදි. අනිත් උන්ට මේක වැඩකුත් නෑ. ඒක පෙන්නන්නෙත් නෑ. 

මේකතමයි ඇත්ත. එක එකාට අම්මව තාත්තව දැනෙන විදිය ඒ අයට සලකන විදිය වෙනස්. ඒක ඇත්තටම අනිත් එකාට පොඩ්ඩකවත් නොතේරෙන්න පුලුවන්. ඒක තනිකරම පෞද්ගලික හැඟීමක්. අනිත් එකාගෙ එක අපිට වැඩකුත් නෑ. අපේ එක අනිත් එවුන්ට වැඩකුත් නෑ. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් තමන්ගෙ දෙමව්පියන් ගැන සංවේදියි. ඒක මේ සංස්කෘතිකව අපිට ආව මඟුලක් නෙවෙයි.

හරියට අර පොඩි එකාගෙ අතිශය සංවේදී වේදනාත්මක හැඟීම් අර වොෂ්රූම් එකේ බිත්ති හතර ඇතුලෙ වතුරත් එක්ක දියවෙලා යනව වගේ අපේ හැඟීමුත් අපේ ඔලු ඇතුලෙ හිත් ඇතුලෙ කොටුවෙලා තිබුනාවෙ. මොකද ඒක දැනගත්ත කියල කාටවත් කරන්න පුලුවන් මඟුලක් නෑ.

අර සිංදුවෙ chorus එකේ අන්තිමට මෙහෙම කියනව.

"Tujhe Sab Hai Pata, Hai Na Maa"

"ඔයා සේරම දන්නවනෙ, නේද අම්මෙ"

ඌ කොහොම එකෙක්ද කියල අම්ම දන්නවනෙ කියල අහන්නෙ. ඇත්ත. අම්ම ඒක දැනගත්තම ඇති. ඒත් අම්ම වුනත් ඒක දන්නැත්තං ඒකට කරන්න දෙයකුත් නෑ.

#taresameenpar #aamir #maa #mothersday

No comments:

Post a Comment