Menu

Wednesday, June 26, 2019

Sandaganawa


නාමල්, රූකාන්ත, ශිහාන් ප්‍රවාහයේ අලුත්ම චරිතය ගැන තමයි මේ කියන්නෙ. තමන්ම ලියාගෙන තමන්ම music කරගෙන තමන්ම කියන විදියෙ තුන්ඉරියව් වැඩකාරයෙක් තමයි මේ. නමින් ධනිත් ශ්‍රී..

මුලින්ම මේ කොලුවව දකින්නෙ පන්දමෙන්. ඒක හිට් එකක්. ඇත්තටම කාලෙකින් ආපු මරු වැඩක්. ඒක අහපු නැති උන් ඉන්නවනං දැන්ම අහන්න. ඒක නිකං වචන ටිකක් ගලපලා කියලා හිතුණත් ඒක ඇතුලෙ තියෙනවා වෙනම කතාවක්. අමුතු ශෘංගාරාත්මක සිද්ධියක්. අහලම බලන්න.

මේ කියන්න යන්නෙ ඒක ගැන නෙවෙයි. මේ කොලුවගෙ අලුත් වැඩේ ගැන. සිංදුව "සඳගනාව"

අහපු ගමන්ම මේ මොකක්ද යකෝ මේ කියලා හිතෙන විදියෙ එකක්. මුලින්ම අහද්දි මේකත් පන්දම වගේම නිකංම නිකං වචන ගැලපිල්ලක් කියලා හිතෙන්න පුලුවන්. ඒත් මේකත් ඊට එහා ගියපු පට්ට වැඩක්. මේක ඇතුලෙත් තියෙනවා අමුතු කතාවක්. තේරුනු අය ඇති. නැති අයට පොඩි hints ටිකක් දෙන්නං.

මේකෙ කතා වෙන්නෙත් පන්දමේ වගේම ගැහැණියක් එක්ක තනිවෙච්ච තරුණයෙක්ගෙ හැඟීම් සමුදායක් ගැන. දැන් අහන්නෙපා පන්දමෙත් කියන්නෙ ඒකමද කියලා. ඔව් ඔව් අහලා බලපල්ලා.

පොඩි කෑලි දෙක තුනක් ගැන කියලා කතාව නවත්තන්නං මොකද නැත්නං ඒකෙ ගතිය නැති වෙනවා.

"මේඝ වර්ෂා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැඟුම් ගංගා ඔහේ සැලුනාවේ.."

මේ කියන්නෙ මොකක්ද? මේ කෙල්ලත් එක්ක තනිවෙච්ච මොහොතෙ ශෘංගාරාත්මක හැඟීම් නිසා මේ කෙල්ලගෙ වෙන ශාරීරික වෙනස්කමක් ගැන තමයි බොහොම සීරුවට විස්තර කරලා තියෙන්නෙ. පොඩ්ඩක් හිතලා බලපල්ලා. 

මේකෙ chorus එකම තනිකරම කතාව කියලා දානවා. හැබැයි තේරෙන්නෙ නැතිවෙන්න හරිම සුන්දරව.

"සඳගනාවට සඳලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරිතුඩට මී පැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ.."

සඳලු තල කියන්නෙම මාලිගාවක ගෙයක ඉදිරියට නෙරා ආපු කොටසක්. ඒක මේ උපමා කරලා තියෙන්නෙ මොකටද කියලා තේරෙනවනෙ. හැමඑකම ඇඟිල්ලෙන් ඇනලා කියන්න බෑනෙ. අන්න ඒ දේවල් සිපගන්න අතරේ ගිරිතුඩට එහෙමත් නැත්නං කඳු මුදුනකට මී පැණි ආපු එකක් ගැනයි මේ කියන්නෙ. තේරෙන්නැත්තං නිකං ඉඳාං.

මේ වගේම "කාලෙකින් මං ආවෙ නැත්තේ පහළ ගංතීරේ" කියන එකත් අර වගේම කාලෙකින් කරන්න බැරිවෙච්ච දෙයක් ගැන කියන වල් කතාවක් තමා. මෙච්චර වල් කරුණු කාරණා ටිකක් පට්ට discipline එකක් ඇතුව සුන්දරව කොහොම ලිව්වද කියලා හිතාගන්නවත් බෑ. අමතක කරන්න එපා මේකත් ලියලා තියෙන්නෙ ධනිත් ශ්‍රීම තමා.

ඇත්තටම මේකා දක්ෂයෙක්. මුකුත් නොලියා ඉන්න එක අපරාදෙ කියලා හිතුන නිසයි ලිව්වෙ. අනාගත ගීත ක්ෂේත්‍රයට වැඩක් කරයි කියලා හිතන්න පුලුවන් කොල්ලෙක්.

වැඩිය සද්ද බද්ද නැති වෙලාවක hands free එකක් ගහන් නිස්කලංකව මේක අහලා බලන්න. සිංදුවෙ තේරුම මොකක් වුනත් අමුතුම feel එකක් තියෙන මේක වෙනම තැනකට අපිව අරන් යනවා. පට්ට වැඩක්. ලින්ක් එක පහළින් දාන්නං. අහලම බලන්න.


#DhanithSri #sandaganawa #pandama #slmusic

Tuesday, June 25, 2019

අපේ ට්‍රිප්..


ට්‍රිප් එකක් කියන්නෙම massive project එකක්. ඉස්සරනං කට්ටියට කතා කලා තැනක් බැලුවා ගියා වගේ සරල කාරණාවක් වුණාට දැන් වැඩේ ඊට වඩා පට්ට බරපතලයි.

ට්‍රිප් එකක අමාරුම වැඩේ තමයි කට්ටිය එකතු කරන එක. ඊට වඩා අමාරුයි තැනක් තීරණය කරන එක. ඇයි යන දවස. ඒකට ඉතිං මරාගන්න වෙනවා. මේ ඔක්කොම තීරණය කරා කියමුකො. අන්තිම මොහොතෙ  පෙරළෙන බාල්දි. ඒව ගැන කාටවත් කලින් කියන්න බෑ. සමහරවිට ඒවා මේක යන උන්ම මුල ඉඳලා ගහපු ප්ලෑන් වල ප්‍රතිඵල වෙන්න පුලුවන්. ඒත් ඉතිං ඒවා හෙවිලි බොරු.

දැන් අපි එකින් එක වෙන ප්‍රශ්ණ ගැන පොඩ්ඩක් බලමු. යන කට්ටිය තීරණය කරද්දි අරූට කැමති නැති උන්, මූට කැමති නැති උන්, අරයගෙ වයිෆ්ට ආස නැති උන් සේරම හැලුවම ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතර. ඒ හිංදා අර හැමඑකාගෙම හිත හදලා, පෙනඩෝල් පොවලා, සිද්ධාලේප ගාලා, හිසකුඩිච්චි දාලා සුවපත් කරලා යනතැනට හිත හදන්න ඕන. ඒකත් ට්‍රිපට අදාලයි. නැත්තං යන්න වෙන්නෑ.

ඊළඟට තැන. බදාම්මෝ. කට්ටිය වැඩි වෙන්න වෙන්න වැඩේ සංකීර්ණයි. අරකෙ කෑම කේස්. මේකෙ ඇතුලට යන තැන පඩිය ලිස්සනවා. අනිකෙ පූල් එක ලඟ ගඳයි. තව එකක ඉස්සරහම ඉඳන් ආයුබොවං කියන එකාගෙ නහය ඇදයි. මේක ගාණ වැඩියි. අරක හෙන චීප් පොට් එකක් මචං. කතා කෝටියයි. ඒකත් ඉතිං කොහොමහරි බැලන්ස් කලායි කියමුකො.

දැන් තියෙන්නෙ දවස. තනිකරම යුද්ධයක් තමා. අර weekend එකේ මැද දවසෙ මට බෑ අයියෝ. එදාට මට මෙව්ව වෙනවා. ඒ දවස නං ඕකේ ඒත් බලන්න ඕන. අනෙ එදාට මං කැමති නෑ අනේ. ආ එදාට.. අපෙ පුංචිගෙ පුතාගෙ අල්ලපුගෙදර නැන්දගෙ රට ඉන්න යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ගෙ දානෙ ගෙයක්. ඒකට යන්නම එපැයි. පෝය දවස්නං බෑ. සිල් ගන්නෝන. 
මෙහෙම බැලුවම ඉතිං මේ weekend එකේ වරුවයි ඊළඟ weekend එකේ වරුවයි තමා ට්‍රිප් යන්න වෙන්නෙ. ඒකත් කොහොමහරි කරයි කියමුකො.

දැන් යන එන ගමන් සෙට් වුණාම කන බොන ජාති. විශේෂයෙන් බොනජාති. අරූ අරක බොන්නෑ. මූ මේක බොන්නෑ. මට අරව පෙන්නන්න බෑ වමනෙට එනවා. අප්පා මචං ඒවා සර්ජිකල් ස්ප්‍රිට් වගේ. Foreign ඒවා ගණං වැඩී බං. දැන් ඉතිං බොන්න වෙන්නෙ කසිප්පු තමා.

මේ යම යුද්ධ මැද්දෙ කොහොමින් කොහොමහරි වැඩේ කලා කියමුකො. හෝටලේට හරි මොකක්හරි තැනට ගිය වෙලේ ඉඳං..
මොනාද බං මේ හොටෙල්..
නෙදකිං ගෙදරින් කනවා මීට වඩා හොඳට..
සර්විස් එක බලු වටින්නෑ.. 
අයියෝ උණු වතුර නැද්ද?
පූල් ටේබල් එකක්වත් නෑනෙ..
මචං ටීවී එක වැඩනෑනෙ..
10ට නවත්තල වැඩක් තියෙනවද බං. එන්නකලිං ඇහුවෙ නැද්ද?
ගියමාසෙ දවසක කෑම එකක පණුවෙක්ගෙ ඇහැක් වගේ එකක් තිබිලා හම්බුනා කියලා ආපු එකෙක් කියනවා මගේ ලඟ හිටපු ඇන්ටිට ඇහුනා කියලා එයා කාටද කියනවා මං හීනෙං දැක්කා..
මොකුත් ඉවෙන්ට්ස් නැද්ද මචං. බෝරිංනෙ.
මේ ගාණට මේක හෙන පාඩුයි බං..
අර මං කිව්ව එක මීට වඩා හොඳයි බං. අපරාදේ..

වලිකාගෙන වැඩේ ගොඩදාපු උන්ට දෙනවා රොටි වෙන්න. උගෙ අප්පගෙ හෝටලේට එක්කගියා වගේ නැතිකරලම දානවා. ආයෙ ඉතිං මලාට වැඩක් ප්ලෑන් කරන්න හිතෙන්නෑ උන්ට.

කියන්න සංතෝසයි ඔන්න ඕකයි සිරිලංකන් ට්‍රිප් වල තත්වෙ සහෝදරවරුනි.

වෙන රටවල උන් හොටෙල් වලට ගිහිං හොඳට relax කරලා එනවා. අපේ උන් හැමරෙද්දම ට්‍රිප් එක අස්සෙ කරන්න ගිහිං ගෙදර ඇවිත් මැරිලා වගේ ඇඳට වැටෙනවා.

අත්දැකීමෙන් ලිව්වෙ.. 😜

Friday, June 21, 2019


සමහරුන්ට වැස්ස මරුය. වැස්ස දිහා බලාගෙන ඉස්තෝප්පුවට වී ප්ලේන්ටියක් බීමෙන් මාර ආතල් එකක් සමහරෙක් ගනී. තවත් සමහරෙක්ට එය ආශිර්වාදයකි. තවකෙකුට එය ආදරණීය හැඟුම් පුබුදුවයි. ඔය මොකාට මොන මඟුල පුබුදුවත් මටනම් වැස්ස අජූතය. එයට හේතු ඇත.

වැස්සක් වහින්නේම මට මොකක්හෝ වැඩක් ඇති දවසකමය. ඉඳලා හිටලා හරි චොර හැත්තෑවක් වෙන්න වහින්නේ කුඩයක් තියා අසල කඩයකවත් නැති දවසටය. වැඩට යන හා ආපසු එන වෙලාවට මොර සූරන වැසි වැටේ. ඔෆිස් එකට පා තැබූ සැණින් ඒ වැස්ස පාටක්වත් නැති වෙන්නේ හරියට වැස්ස අපිට කෙලවන්නම වැස්සා සේය. වැල නොකැඩි එන කස්ටමර්ස්ලාට වැස්සක් තියා පොදයක්වත් නැත. වැස්සත් නොතෙමී ඉන්නට ලඟම තියෙන අපේ ඔෆිස් එක ඔවුන්ට කදිම අස්වැසිල්ලකි. සපත්තු චොරු පනින්නට, ඇඳුම් ඇඟේ ඇලෙන්නට, මූණු දිගේ ජෙල් බේරෙන්නට වහින වැසි මැද තරමක සැනසිලි දවසක් වේ යැයි සිතා ඔෆිස් එකට ගොඩ වූවද එදාට වෙනදාට වඩා කෙලවෙනු ඇත.

දිනන්න පුලුවන් මැච් වලට වහින වැස්ස, නුවර එළියේ ගිය විට වහින මස්තබාල්දු වැස්ස, බස්එකේ ජනේලයෙන් විත් උන් හිටි තැන් අහිමි කරන වැස්ස, ඉඳලා හිටලා organize කරන tournament වලට වහින වැස්ස, කෙල්ල හම්බවෙන්න යද්දි කුඩ කඩං වැටෙන්න වහින වැස්ස, ට්‍රිප් වලට වහින වැස්ස, නසරානි හුලං පාරකුත් එක්ක කඩං වැටෙන දොඹ සයිස් වැස්ස වැනි අජූත වැසි වර්ග හේතුවෙන් මටනං වැස්ස පේන්න බැරිය. 

වැස්සක් වැටුනු විට එයට දුවගොස් පට්ට ආසාවෙන් තෙමීගෙන නටන සිද්දි මා දැක ඇත්තේ ෆිල්ම් වල පමණි. ඇත්ත ජීවිතේනං වැස්සකදී, ඇඟට වැටුනොත් පිච්චෙන තරං ඇසිඩ් වැස්සකදී මෙන් මොකක් හෝ හෙවනකට හූ කියාගෙන දුවයි. වැටුනු වැහි පොදටිකත් ඇඟිලි වලින් පිසදාන්නේ අප්පිරියාවෙනි. එහෙව් වැස්ස ගැන පට්ට රොමෑන්ටික් හා හැඟීම්බරව සාහිත්‍යකරණය කිරීම මටනං තනිකරම බොරුවකි. පොඩි පොදයක පොඩ්ඩක් නැටීම ඉවසිය හැක. ඒත් උන් නටන්නේ හද්ද අකුණු ගහන අනෝරා වැසි මැදය. ඒවා බලන විට මට මතක් වෙන්නේම පසුවදා උන් ඔලුවෙ ඉඳන් පොරවගෙන ලේන්සුවකින් නහය අල්ලන් කිවිසුම් ඇර ඇර ඉන්න සීන් එකකි. මගේ අවුලක්ද දන්නේ නැත.

ඒ මගේ වැසි අත්දැකීම් නිසා විය හැක. හොඳට සෙට්වී කුඩ පටවගෙන රේන් කොට් ඇඳගෙන එන දවසට වැස්සක නාමයක්වත් නැත. වැස්සෙන් කෙලවූ දේවල් මිස වෙච්ච හොඳක්නම් මතක් වෙන්නේම නැත. 

ආ.. එකම එක ලස්සන දවසක පොඩි හීනි පොදයක් නිසා කෙල්ලෙක්ගෙ කුඩයකින් යන්න පොඩී චාන්ස් එකක් ඇවිත් වැස්ස නාමයෙන් ඇරඹුණු පොඩි සම්බන්ධයක්නම් ඇත. එය කෙළවර වූයේ කසාදයකිනි. ඒ කාලේ ඒ වැස්ස ගැන හොඳක් හිතුණද දැන් බැලූ විට ඒ වැස්සත් එදා වැටී ඇත්තේ මට කෙලවන්නටමය. ඒ වැස්ස අනිත් වැසි පරයමින් ජීවිතකාලයම විඳවන තැනට වැඩ සෙට් කර ඇත.

අදත් තවත් කූජිත වැස්සක් වහින දවසකි. එයින් පෙනී යන්නෙ මොනා නැතත් පජාත සිදුවීම් වලින් සපිරි අලුගුත්තේරු දවසක පෙරනිමිත්තක් බවයි.

Have a nice day..

Thursday, June 13, 2019

Restrictions


මිනිස්සු කරන්නෙ තමන් කැමති දේවල්. කන්නෙ බොන්නෙ ආස කරන දේවල්. එහෙම තියෙද්දි සමහර දේවල් වලට අපි වාරණ දාන එක හරිද. සමහර දේවල් තහනම් කරන එක හරිද? උදාහරණයක විදියට කිව්වොත් අපි කන සමහර කෑම වල අහිතකර ද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. පොඩි පොඩි රෝග කාරක වල ඉඳන් පිළිකා කාරක වෙනකල් හැමදේම තියෙන ආහාර පාන වර්ග ඕනතරම් මාකට් එකේ තියෙනවා. කිසිම තහනමක් නැතුව.

ඒත් සමහර දේවල් තියෙනවා මත්ද්‍රව්‍ය විදියට නම් කරලා නීති විරෝධී ලේබල් එක ගහලා තහනම් කරපු. ඒත් ඒවත් අර සාමාන්‍ය කෑම බීම ජාති කාලා බීලා සතුටු වෙන මිනිස්සු වගේම පිරිසක් සතුටු වෙන්න යොදාගන්න දේවල්. උන්ගෙ ආතල් එක වෙනස්. හැබැයි අපි කොහොමද ඒක නීතිවිරෝධී කියන්නෙ.
මේව ගන්න අයගෙ ප්‍රශ්ණ දෙකයි තියෙන්නෙ. එක. මේවගෙන් උන්ට තියෙන හානිය. දෙක මේවා අරන් උන් වෙන කෙනෙකුට හානිදායක දේවල් කරන්න පුලුවන්.

පළවෙනි එකනං අපිකන සාමාන්‍ය දේවල් වලත් වෙන්න පුලුවන්. ඔය තියෙන ටොෆී වරිග, අයිස් ක්‍රීම් වර්ග, instant foods, බිස්කට් වර්ග, බීම ජාති වල මොන හත්තිලව් තියෙනවද කියලා අපි දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. ඒවයින් හැදෙන ලෙඩ ගැන අපිවගේ රටවල උන්ට ගාණකුත් නෑ. මංනං කියන්නෙ ඒවා වැඩකුත් නෑ. ඉන්න ටිකේ තමන් ආස දේවල් කාලා බීලා ඉන්න බැරිනං වැඩක් තියෙනවද?

දෙවනි එක වෙන්න පුලුවන් මත්ද්‍රව්‍ය තියෙන්න පුලුවන්. ඒත් ඔය තහනම් කරලා තියෙන ගොඩක් ඒවා අතර භාවිතයෙන් පස්සෙ ගත්ත එකා calm down වෙන, කල්පනා කර කර ඉන්න, වෙනම හීන ලෝක වල තනිවෙන, අමුතුම ආතල් තනියම ගන්න දේවලුත් තියෙනවා. ඒක තනිකරම උන්ගෙ කැමැත්ත. අන්න ඒවා හිරකරලා තියන එක හරිද. ඒ නිදහස නැති කරන එක හරිද. 
Diabetic (ඔව් ඔව් සීනි සීනි) හැදුනම පොඩ්ඩ ඇත්තං මල පනින කේස් එකක් එනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඒක නිසා ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු සේරටම සීනි අඩංගු ආහාර තහනම් කරන එක හරිද?
අනේමංදා මටනං අවුල් වගේ..

අපි කන බොන පොඩි පොඩි දේවල් කාලා බීලා ආතල් එකක් නැති එකෙක්ට අර මට්ටමේ උට ඕනකරන විදියෙ දේකට යන්න බැරි වෙන එක අපරාදේ.. ඔය කරන හැම මඟුලම කරන්න වෙන්නෙ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ විතරයි. මොන බාධක නීති දැම්මත් කරන්න ඕන එවුන් දැනටමත් හොරෙන්හරි ඒ දේවල් කරනවා. ඒක පාඩුවෙ කරන්න දීපල්ලා. උන් පව්. 😂😅

#u_know_what_i_mean #drugs