Menu

Wednesday, February 5, 2020

වී මල්පබා....

 

ඇත්තටම මේ සිංදුව මොකක්ද? මොකද්ද මේකෙ තේරුම. හරියටම මටත් අද තමයි තේරුණේ. ඇත්තටම මේක මරු සිංදුවක්. අපි පදෙන් පදේ අරන් බලමු මේ කියන්නෙ මොකක් ගැනද කියලා.

"වී මල්පබා..

වෙල ලඟ නළ සමඟ තුටින

රණට දිලෙන දමක ලෙසින

තුරුණු වියට උරුම කියන 

මල්පබා.."

මේ මුලින්ම කියන වී මල්පබා කියන එක ගොඩක් අය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. මෙතන සිංහල ඉංග්‍රීසි දෙකම බොහොම සියුම්ව නොතේරෙන්න භාවිතා කරලා තියෙනවා. වී කියන එක ඇත්තටම අපි දන්නවා ඉංග්‍රීසි වචනයක්. We කියන්නෙ "අපි" කියන අර්ථ ඇතුව මෙතනදි කියන්නෙ "අපි මල්පබා" කියන එක. එතකොට කවුද මේ මල්පබා. බලමු තව ටිකක් ඉස්සරහට.

"වෙල ලඟ නළ සමඟ තුටින" කියන්නෙ වෙලක් අසල සුළං පාරත් එක්ක සීතල මැද්දෙ බොහොම සංතෝෂයෙන් තියෙන හෝ ඉන්න කෙනෙක් හෝ දෙයක් ගැන. "රණට දිලෙන දමක ලෙසින" කියන දෙයින් අදහස් කරන්නෙ යම්කිසි කණ්ඩායමක් ගැන. හරියට යුද්ධෙට යන්න වගේ ලෑස්ති වෙලා ආයුධ අතැතිව (පස්සෙ මේක තව පැහැදිලි වෙයි) එකාවගේ ඉන්න කණ්ඩායමක් ගැන තමයි මේ කියන්නෙ. තුරුණු වියට උරුම කියන කියන එකෙන්නං පැහැදිලි වෙනවා මේ අයට තාරුණ්‍යයට බොහොම සම්බන්ධදෙයක් කරන පිරිසක්. තුරුණු බව උරුමකර දෙන කතාවකුත් යන්තමින් කියවෙනවා. ඒක වැදගත් පොයින්ට් එකක්. තාම හරියට තේරෙන්නෙ නෑ මේ මල්පබා කවුද/මොකක්ද කියලා. ඒ තරම් සූක්ෂම විදියට මේ රචකයා මේක ඉතාම සංයමයකින් ලියලා තියෙන බව පේනවා.

"එකිනෙක ගෙන.. තාලයකට

රන් නටුවක අමුණාගෙන"

මේ ඉතාම සෞන්දර්යාත්මක විදියට මොකක්ද කියන්නෙ. මෙතනදි තමයි රචකයා හරියටම මේ මල්පබා මොනාද කරන්නෙ කියලා එළියට දාන්නෙ. මං පැහැදිලි කරන්නං. මෙතන රන් නටුව කියන එක ඇත්තටම උපමාවක්. ඒකෙන් කියවෙන්නෙ පනාවක් ගැන. කොණ්ඩ කැරලි එකින් එක අල්ලමින් පනාවෙන් පිළිවෙල කරගනිමින් කරන වැඩක් ගැන තමයි මෙතන කියවෙන්නෙ. 

"සුළං සැරෙන් පීරාගෙන

We මල්පබා.."

මෙතනනං දැන් හැමෝටම පැහැදිලි ඇති. සුලං සැරෙන් පීරාගෙන කියන්නෙ hair dryer එකෙන් කොණ්ඩෙට අල්ලමින්, පීරමින් කොණ්ඩ කපන තැනක් තමයි මේ මල්පබා කියන්නෙ. හොඳට ඇහවොත් මෙතනදි සංගීතවත් කරද්දි hair dryer එකක ශබ්දය පවා එකතු කරලා තියෙනවා. තව දුරටත් කිව්වොත් saloon එකේ නම තමයි "මල්පබා".

අපි තව ඉස්සරහට බලමු.

"වප් මඟුලට බුද්ධ බෝග

හැම අටුකොටු පිරීයාන්.. ආ..."

මෙතන තියෙන්නෙ ප්‍රාර්ථනයක්. හැමෝගෙම කොණ්ඩ සරුසාරෙට වැවීයන් කියන එක ඉතාම සංඛේතාත්මකව උපහැරණයකින් බොහොම ලස්සනට කියලා තියෙනවා වගේම ඒකෙන් මොවුන්ට ලැබෙන ප්‍රතිලාභ එහෙමත් නැත්නං වාසිය ගැන ඊලඟ පද පෙලින් කියනවා.

"වසන්තයට ගී ගයන්න

කොවුල් රැලට අඬගහන්න"

කියලා මේ අය අරාධනා කරනවා හැමෝටම එන්න කියලා මේ අපූරු saloon එකෙන් කොණ්ඩෙ කපන්න. ඒවගේම එහෙම ආවම ඔවුන්ට වසන්තය උදාවෙන බව ව්‍යංගව කියන්නත් රචකයා දක්ෂ වෙලා තියෙනවා. දැන් අර මුලින් කිව්ව ආයුධ අතැතිව ඉන්න තරුණ කණ්ඩායමේ කතාවත් තව ටිකක් පැහැදිලි ඇති. ඒ ආයුධ කිව්වෙ කඩු කිනිසි නෙවෙයි කතුරු දැලිපිහි trimmer වගේ දේවල්. ඇත්තටම අති විශිෂ්ට ලිවීමක්.

අපි "මල්පබා"...

බලන්න ඒක කොයිතරම් අපූරු යෙදවීමක්ද කියලා. මං හිතන්නෙ ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. අදින් පස්සෙ මේ සිංදුව ඇහෙද්දි හොඳට අහලා බලන්න. ඇත්තටම මේ සුන්දර "මල්පබා" Saloon ගීතය කොයිතරම් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. කොයිතරම් වෙනස් විදියට මේක කියලා තියෙනවද කියනවනං ඇත්තටම වෙහෙරලියද්ද මහත්මයාවත් මේකෙ සැබෑ තේරුම දන්නෙ නැතුව ඇති..

ප.ලි. මේක නෙවෙයි මේකෙ තේරුම කියලා කියන උන් දෙතුන් පාරක්වත් මේක අහපල්ලා. ඇත්ත කතාව ඕක තමයි