Menu

Thursday, July 4, 2019

හෙළයා සහ බඩ


බඩට ඇත්තේ පුදුම තැනකි. සමහරුන්ට බඩ දිරවන්නේම නැත. සමහරුන්ට බඩ නැතුවාම අවුල්ය. හෙළයාට පොඩි බඩක් තිබිය යුතු යැයි මම අසා ඇත. තව සමහර අය බඩට කියනා දේවල් ඇසූ විට බඩ යයි. ඕන යටිබඩක් වෙද්දෙන් කියා බඩ ගැන කතා කිරීමට සිතාගත්තෙමි. තිබුනත් නැතත් අවලාද වලින් අඩුවක් නැති බඩ යනු මටනම් ආභරණයකි.

වැඩට ආ මුල් කාලේ බඩක් තිබුනේම නැත. නැති බඩට එදා ඇසූ දෑ මතක් වෙද්දිත් බඩ දන්න ගනී. ඕනෑවටත් වඩා දැන් බඩ ඇත. තත්වය දැන් තවත් දරුණුය. බඩ නැතිදා හිතුවේ කවදාහෝ හොඳ බඩක් හදාගෙන මුන්ට හොඳ පාඩමක් උගන්නන්නටය. අද එදාටත් වඩා කතන්දර මුන් මගේ බඩට කියයි. හරියට මගේ බඩ උන් එල්ලන් ඉන්නවා වගේය. 

බඩවල් වර්ග කීපයකි. බියර් බිව්වාම එන බඩ බියර් බඩය. කෑම කෑවාම එන බඩ බඩජාරි බඩය. නොකා නොබී ඉඳිවිට එන බඩ පෙරේත බඩය. මුකුත් නොකර පරම්පරාවෙන් එන බඩ පිං බඩය. කෙට්ටු එවුන්ගේ එන කුජීත බඩ නයිනළා බඩය. සැප වැඩි කමට එන බඩ වල්බඩය. ක්‍රිකට් සෙල්ලං කරන උන්ට එන බඩ මාලිංබඩය. මොනා කළත් නැති වෙන්නැති පතාගෙන එන බඩ කරුම බඩය. වරක් උඩ පැන්නාම තුන්වරක් උඩ පහළ යන බඩ ගෙජ්ජි බඩය. රා බොන උන්ට එන බඩ රා බඩය. මට ඇත්තේ උරුම බඩකි.

මට හිතෙන්නේ අපි බඩට සලකනවා මදි කියාය. මොනදේ වුනත් බඩ අපව අත්හරින්නේ නැත. අවලාද අපහාස කොච්චර ආවත් අපිට ඕනත් නැතත් දුකේදීත් සැපේදීත් අප සමඟ සිටියි. කොහේගියත් අපට කලින් බඩ එතනට යන බව බඩ ඇති උන් දනී. තමන්ගේම සමහර අවයව අවුරුදු ගාණකින් කණ්නාඩි වලින් පමණක් දැක ඇති මගේ යාලුවන් ඕනතරම් ඇත. මොකක්හෝ බිම වැටුනත් එය ගැනීමට විදේශ ආධාර පැතීමට සිදුවනු ඇත. එතරම්වත් අප මහන්සි වනවාට බඩ කැමති නැත. අප දුව යන විට අපගේ බඩෙහි සිදුවන ලෙලදීම් දිහා ඇතැමුන් බලා සිටින්නේ දැඩි උද්යෝගයකිනි. එය කෙතරම් කන්කලු දර්ශණයක්දැයි වැටහෙන්නේ මාවැනිම බඩෙකු දිවයනු දුටු විටය. බඩ නැති කාලයේ මට මේ තරම් සමාජ පිළිගැනීමක් නොතිබූ බව කිව යුතුය. දැන් මාහට ඇති සමාජ තත්වයට ස්ථිර වශයෙන්ම බඩෙහි මොකක්හෝ සම්බන්ධයක් ඇති බව මම තරයේ විශ්වාස කරමි.

හිතන දේවල් වලදීද බඩ සෑහෙන්න උදව් වේ. හිතන විට ඇතැමුන් බඩ අතගාමින් හිතන්නේ ඒ නිසාය. එවිට මොළයේ හිතන ස්නායු උත්තේජනය වනවා විය හැක. 
දවසක් බඩ නිසා බස් එකකට නැඟ ගැනීමට නොහැකිව නතර වූ මට අසන්නට ලැබුනේ එම බසය මඟදී ඇක්සිඩන්ට් වූ බවය. මාව එදා බේරුවේ බඩය. හිතුමතේ ජීවිතේ වරක් බඩකපාගෙන මැරෙන්නට ගොස් එල්ලුම්ගහෙන් බේරුණු බව මම කියවා ඇත. ඔහුවත් එදා බේරුවේ බඩය. බඩ නොතිබෙන්නට ආකිමිඩිස් ඝනත්වය සොයාගන්නවා බොරුයැයි වරක් ඇරිස්ටෝටල් ප්‍රකාශ කර ඇති බව ඔහුගේ යාලුවෙක්ගේ පොතක තිබූ බව මගේ යාලුවෙක් මට කීවේය. "බඩේ තියෙන ආතල් එක දන්නේ අපිනෙ" කියා ලොකු අයියලා කියනවා මට ඇසී ඇත. ඒක නොතේරුණත් ඒකෙත් මොකකහරි ඇති බව මගේ විශ්වාසයයි.

කොච්චර කෑවත් බිව්වත් ආසාවට බඩක් තියා නාමයක්වත් නොඑන එවුනුත් ඇත. ඒක උන්ගේ කරුමයය. බඩක් එන්නත් පින තිබිය යුතුය. කොල්ලෙක් වුනාම පොඩි බඩක් තියෙන්න ඕන කියා දවසක් නංගි කෙනෙක් මගේ යාලුවෙකුට කියා ඇත.

එකී මෙකී නොකී දේවල් රාශියක් අපට උරුම කරදී ඇති බඩ ගැන කීමට බොහෝ දේ ඇත. ඒත් දැනට ඇතිය. මෙතරම් පූජනීය බඩට අවලාද අපවාද කියන උන්ගේ බඩ කොරවී, බඩ පැලී, බඩ කපාගෙන මැරෙන්නට හිතෙන දවස වැඩි ඈතක නොවේ. බඩ වෙනුවට උන්ට වෙන අවයවයක් එතනට ආවානම් බඩේ වැදගත්කම උන්ට වැටහෙනු ඇත. 

බඩවල් නැතිවුන් දූරිංභූත වේවා..
සැමට යහමින් බඩවල් ලැබේවා..
බඩගෝස්තරවාදීන් භංග වේවා..
බඩ සදා දිනේවා..

බඩට ජය..

No comments:

Post a Comment