Menu

Wednesday, July 31, 2019

බස් කතාබස්.



ස්ටෑන්ඩ් එකක නවතා ඇති බස් එකක කොන්දොස්තර මහතා අඬ බෙර ගසා, පාවඩ දමා, උඩ රට නැටුම්කරුවන් මැදින් අපිව බසයට නංවා ගන්නේ මහත් සෙනෙහසින් වුවද, බහින තැන දී අපව ජනේලයෙන් එලියට පයින් ගසා විසිකිරීමට වුවද ඉඩ ඇත.

යාමට ඇති දුර ප්‍රමාණය දී ඇති කාලයෙන් බෙදා 3න් වැඩිකර 15න් බෙදා 103ක් අඩුකොට එහි වර්ගමූලය අවකලනය කොට ලබාගන්නා අගයක වේගයෙන් යුතුව පාර සිසාරා යන ලොමු ඩැහැගැන්වෙන ගමනක යෙදෙන ඒ රියදුරු දෑතට දෙවිපිහිටයි කියා බසය පුරා ඇලවූවත් මදිය. කෙතරම් වේගයෙන් ගියත් චීත්තයක සේයාවක් දුටු සැනින් මරණීය බ්‍රේක් පහර ගසද්දී ඉස්සරහ සීට් වල උන් පස්සටත්, පස්සෙ උන් ඉස්සරහටත් මාරු වී, හිටගෙන ඉන්න වුන් ඉන්දවේ. කෙසේ වෙතත් එසේ කරන්නේ මහ ජනයාට ඇති අතිමහත් ආදරය නිසා විය යුතුය. අවාසනාවක තරම නම් අප වැනි කොලු පුලටක් අත දමා තබා පාර මැද බුදියගෙන සිටියත් ඇඟ උඩින් යනු ඇත. එයට හේතුව අපගේ ඇති ශාරීරික හේතූන්ය. ඔවුන්ගේ ඇස් ෆෝකස් වන්නේ ඒවාටය. අපිට ඒවා නැත. උන්ගෙ වැරැද්දක්ද නැත. මරාගෙන මැරී හෝ නැග්ගත් අපි නැගීමට පෙර හා බැසීමට සැරසෙද්දී අද්දනවා සිකුරුය. ඒ අපි ලබා උපන් හැටිය.

කොන්දොස්තර මහතා හිතන් ඉන්නේ බසය මැද මරියානා ආගාධය කියාය. ඉස්සරහ උන් පස්සටත්, පස්සෙ උන් ඉස්සරහටත් එවා දොරවල් දෙක ලඟ එකෙක්වත් නැති කරන්නේ ඒ නිසාය. කෙතරම් සෙනඟ හිටයත් සීට් තියෙනවා නගින්න යැයි කියනවා ඇසෙන්නේ බොහෝ වෙලාවට තව එකෙක්ගේ කරේ ඉඳන් කකුල තියන්න බිමක් සොයනා විටය. කරුමෙකට හරි වාඩිවෙන්න හම්බවුණොත් වංගුවක් ගන්නා විට අයිනේ එකා වීමට වීමම කරැමය පලිසන්දීමකි. බැරිවෙලාවත් නින්දගියොත් ඩයිවර් අයියා අපව මවිත කරන්නේ සහරාෆ්ලෑෂ් එහා පැත්තෙ සීට් එකේ ඉඳන් මොර දෙන ගානට සද්‍දෙන් සෙට් එක දාලා අපි ජීව්තේට සෙට් එකක් අහපුනැති ගාණට දාලාය..

නිතර නිතර පස්සෙන් ටිකට් ගන්න යැයි කියනා බොහෝ කොන්දොස්කර මහතුන් ගිය ආත්මයේ මැජික් කරුවන් විය යුතුය.

ඉතුරු සල්ලි යන වචනය ඔවුන්ගේ භාෂාවට අදාලම නැත. රුපියලක් දෙන්න පහක් දෙන්න යැයි නිතර ඉල්ලන ඒ සාක්කුවල කිසිදාක ඉතුරු නැති වීම අරුමයක්ය . බැරිවෙලාවත් එකෙක් ඉතුරු ඉල්ලුවොත් උට කන්දෙකේ ඇඟිලි ගහගන්න කියනු ඇත. “මහත්තයා මේ රුපියල දෙක නොදී ඉඳන් අපි මාලිගා හදන්නැයි, බස් එකකට නගිනකොට මාරු අරන් එන්න දන්නැද්ද, අපි සල්ලි අච්චු ගහනවැයි බැරිනං බහින්න මහත්තයා” කියනා බොහෝ කොන්දොස්තර මහතුන් හිතන් ඉන්නේ අපි ගෙවල් හදා ඇතිතේ ඔවුන්ට නොදුන් මාරු සල්ලි වලින් කියාය. දුර බසයක ලඟ බැසීමට නැගීම මරණීය දඬුවම් ලැබිය යුතු වරදකි. හරියට ඒ ටවුන් වලින් උඩින් යනවාක් මෙන් “කිව්වනෙ මහත්තයා දුර විතරක් නගින්න කියලා කං ඇහෙන්නැද්ද?” ආදීවශයෙන් දෙනෝදාහක් මැද අපගේ මුතුන්මිත්තන් සිහි කරද්දී පොළොව පලන් යාමට සිතීම සාමාන්‍යය.


සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත ගත කරන ඩ්‍රයිවර් මහතුන්ද ඇත. හෝල්ට් එකක් ගානේ නගිනා අයව හෝල්ට් එක අසලදීම එහාට මෙහාට පද්දා නිදි කරවා ඉතාම සුවසේ ගමනාන්තය දක්වා ගෙනයන මොවුන්ට වෙලාව අදාලම නැත. අමතක වීමකින් ඇක්සලේරටය පෑගුනොත් ඇරෙන්නට වේගය යනු කුමක්දැයි ඔවුන් නොදනී.

පාර අයිනේ ඉන්නා සෝමේ අයියාගේ සිට ගෙතුල අමඳිමින් ඉන්න ඔහුගේ පුංචි අම්මා, අල්ලපු ගෙදර නංගි මෙන්ම ඒකගෙ ලැබෙන්න ඉන්න දරැවාද එනතුරු පැයක් වුවද රැකගෙන ඉඳීමට ඔවුන් පසුබට නොවේ. සමහර බස් වල යන ගමන් බසයෙන් බැස කඩයකින් ප්ලේන්ටියක් බී පාඩුවේ පයින් පැමිණ නැවත නැගිය හැකිය. හෝල්ට් ස්ටෑන්ඩ් දාලම නැති ඔවුන්ට සෑම කඩයක්ම ගෙයක්ම මෙන්ම පාර අයිනේ තම ශරීර කෘත්‍යක් කර කර ඉන්නා අයෙකු වුවද පෙනෙන්නේ හෝල්ට් එකක් ලෙසය. එවැනි බසයක දුරගමනක් යාමට සිදුවුවහොත් උට අබසරණය. දෙතුන් පාරක් නිදාගෙන ඇහැරුනද ඉන්නේ ටවුන් එකක් එහායින් කියා දැනගත් විට අප කාලය හරහා ආපස්සට ඇවිත් යැයි හැඟෙන තරමට පුදුම හිතෙනු ඇත.

මෙවැනි බොහෝ දේවලින් එදිනෙදා අපිව පුදුම කරවන බස්ගැන තවත් කීමට බොහෝ දේ ඇතත් තව කියන්නට ගියොත් මටද බස් එක මිස් වනු ඇත. කෙසේ වෙතත් වාහන නැති අපිට මේ තරම් ආතල් දෙන රියදුරු දෑතට මෙන්ම කඩන ටිකට් ඔය දෑතටද තෙරුවන් සරණය.

අදද බස් එක නැත. මගියන්ටද බොහෝ දිනවල මෙන්ම අදත් දෙවියන්ගේම පිහිටය..

1 comment:

  1. බස් පික්කන්ට බනිනින එපා හොදේ

    ReplyDelete