Menu

Friday, September 20, 2019

බස් නැටුං..




මේ කියන්නට යන්නේ අප කවුරුත් දැක ඇති නැටුං විශේෂයක් ගැනයි. ඒවා වැඩිපුරම බස්වල යන එන කොට දකින නිසා බස් ෂෝ නැටුං කියා දැම්මෙමි. ඇත්තටම ඒවා බස් වල නටන ඒවා නෙවේ. ඒවා නටන්නේ මියුසිකල් ෂෝ වලය. ෆ්ලෑෂ් බැක්, සහරා ෆ්ලෑෂ්, අර ෆ්ලෑෂ්  මේ ෆ්ලෑෂ් කවුරු ගැහුවත් ඒ එළිමහන් ප්‍රසංග වල නැතුවම බැරි පිරිසකි නැටුම් කණ්ඩායම.

මේ ලඟදි බස් එකට නැග්ගාම නිකමට ඇස ගැටුණු මේ සෙට් එක මරුය. බෑන්ඩ් එකේ සිංදු වලටත් එන එන ගායක ගායකාවන්ගේ සිංදු වලිනුත් එකකටහරි නටන්න මේ ළමයි ස්ටේජ් එකට පනී.

මේ ළමයින්ගේ ඇඳුම් පට්ටය. මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයට බිකිණි ඇඳන් නටයි. කැන්දන් යන්නං රන් මල් මාලා දාලා එකට මිනි ස්කර්ට් ඇඳන් නටයි, මේ ඉරිදා ගිය ඉරිදා එකට ළමා සාරි ඇඳන් නටයි. පදුම ගැළපිල්ලක් ඇති අතර සිංදුවේ කොහෙට ගලපනවාදැයි තාම හිතමි.

සමහර ඇඳුම් දිහා බලං ඉන්න බැරිය. ඒ තරම් ශීලාචාරය. නැටුම කෙසේවෙතත් හැම එකාම කට ඇරං ටීවී එක දිහා බලං ඉඳියි. ආච්චිලා ළමයින්ගේ ඇස් වහයි. තව එකෙක් බස් එකේ සීට් එක හපාගෙන බලං ඉන්නවා මම දුටිමි. උන් පව්ය. තව එකෙක් බහින තැන පහුවී ටවුන් තුන හතරක් එහායින් බැස්සේ ඒ නැටුම අවසන් වනතුරු බැලීමෙන් පසුය. 

නැටුම් ගැන නොකියාම බැරිය. එකෙක් අත උස්සන විට තව එකෙක් කකුල උස්සයි. තව එකෙක් කැරකෙන විට අනිකා උඩ පනී. එකෙක් හෝසෙට නටන විට එකෙක් බිම වාඩි වී හිඳී. මේවා දකින අපිට බස් එකෙන් පනින්න හිතෙයි. යකෝ මුන්ට නටන්න බැරිබව ගෙදර උන්වත් කියා නැද්දැයි සිතේ.

ඇඟවල් මරුය. නටන ළමයින්ගේ ඇඟවල් හැඩ වන බව මම අසා ඇත. ඒ නිසා අපේ පැත්තේ අක්ක කෙනෙක් හොඳ හොඳ නැටුම් නැටූ බව අම්මා කියනු මට ඇසුනමුත් ඒ අක්කා නම් හැඩ වූයේ නැත. එයානම් හැඩ වෙනුවට බඩ වූ බව මං මගේ දෑහිංම දැක්කෙමි. මේ නටන අක්කලා වෙනස්ය. සමහරු කොටු කෑලි මෙන් කෙට්ටු වන අතර සමහරෙක් ස්ටේජ් එක පාත් වෙන තරමටම මහතය. ඒ අය නටනවා පේන්නේ නැත. ඈතට බැලූ විට නිකං හිටං ඉන්නවා වගේ පෙනුනද ලංකලවිට මොකක්දො එකක් කරන බව පමණක් පෙනේ. කෙට්ටු උන් නටන විට අපේ ඇඟ හිරිවැටේ. දැන් ඇඳුම බිමට වැටේයැයි හිතෙන තරමට පට්ට ස්පීඩ් එකෙන් නටයි. අනිත් උන් සිංදුවෙ බාගෙකට නටන විට මේ අය මුලු සිංදුවටම නටා ස්ටේජ් එකෙනුත් බැස අවසන්ය. මේ අතරින් පතර හැඩ කෑලිද නැතුවාම නොවේ. අවාසනාවට උන්ට නටන්නට බැරිය.

මේකප් එක විශේෂය. මූණු වෙන පාටකි. පිට වෙනපාටකි. බඩ තව පාටකි. අත් වෙනම පාටකි. මෙසේ එක එක පාට ඇඟේ ගාගෙන නටන එකක් හරියටම හරියන සිදුවක් ඇත. එනම් මං බොහොම බයවුණා සිංදුවට සාමාන්‍ය ඇඳුමින් කිසිම පෙර සුදානමකින් තොරව පැමිණ නටන්නට කිව්වොත් සිංදුවේ තේරුම හැමෝටම ටක්කෙටම තේරෙනු නොඅනුමානය. ඒතරමටම බය හිතෙන දසුනකි.

ඩාන්ස් ස්ටෙප් කොහෙන් හොයාගන්න ඒවාදැයි නොදනී. සමහරු අනිත් උන් මොනා නැටුවත් එකම ස්ටෙප් එක සිංදුව පුරාම කරමින් ඉඳී. තව එකෙක් ස්ටෙප් අමතක වී අල්ලපු එකාගෙන් කොපි කර කර පුලු පුලුවන් විදියට නටනු දැකිය හැකිය. උන්ට සිංදුව අදාලම නැත. හෙන ස්ලෝ සිංදුවලට පිස්සුවෙන් වගේ නටන උන්ද ස්පීඩ් සිංදු වලට පට්ට ස්ලෝ නටන උන්ද අපිට අහුනොවන මොකක්හෝ වෙනම මානයක ජීවත් වෙන උන්දැයි මට සිතේ. ඒ තාල ඇල්ලිල්ලනං මෙලෝ යකෙකුට නොතේරේ.

ආතල්ම සීන් එක මේ නටන උන් බෑන්ඩ් එකේ සිංදු වලට නටද්දීය. සමහර ගායකයන් සිංදු කියද්දීත් මෙය සිදුවේ. එනම් නටන්න පුරුදු වී ඇති සිංදුව මැදදී වෙනස් කිරීමයි. නැතහොත් වෙනස් සිංදුවක් මික්ස් කර දිගටම කීමයි. තවත් වෙලාවක සිංදුව තාවකාලිකව නවතා ප්‍රේක්ෂකයා ලවා ගීය ගායනා කරවන අවස්ථාන නැතුවාම නොවේ. ඒ වෙලාවට නටන උන් අනාථ වේ. උන් හිටි තැනම නැවතී බල්බ් ගලවන ස්ටෙප් එක වැනි මොකක්හෝ කර කර මේ විගඩම අවසන් වනතුරු සිටිය යුතුය. සමහරු නිකම්ම නතර වී ඉන හොල්ලමින් ඔහේ ඉඳී. සමහරු බැස යයි. මේකනං පට්ට අසාධාරණය. පුරුදු වෙලා එන එකට නටද්දී වෙන වෙන පිස්සු කෙලීම වහා නතර කල යුතුය. උන්ට නටන්නට බැරි එක ඇත්තය. එහෙමයි කියා මෙහෙම කිරීම අනුමත කල නොහැක. එසේ අනාථ වූ, කොර වූ, චොර වූ සියලුම නැට්ටිච්චියන් වෙනුවෙන් තත්පර 15ක නිශ්ෂබ්දතාවයක් ප්‍රකාශයට පත් කරමින් මම නතර වෙමි. 

ඇති ඇති.. තත්පර පහලොව ඉවරයි. 

මේවැනි නැටුම් බලන්නට වී අසරණ සිතින් බස් රථ වල පැය ගණං ගමන්ගන්නා මඟීන් වෙනුවෙන් පැයක නිශ්ෂබ්දතාවයක් කලත් මදිය.

No comments:

Post a Comment