Menu

Wednesday, August 28, 2019

අපිට ඕන දිනන්න..


අපිට ඕන දිනන්නටය. පැරදිලා බැරිය. ඒක මහ විලිලැජ්ජ නැති වැඩකි. දෙවනියා වුනොත් නව නිංගිරාවකි. දෙවනියාව කාටවත් මතක නැත. පළවෙනියාව හැමෝටම මතකය. ඒ නිසා මොන කුප්ප වැඩක් හෝ කර එක වීම අපගේ අරමුණයි.

දෙවනියට හඳට ගිය කෙනාව දන්නවද? අපි එක හොඳ යැයි කියාගන්නට අහන පොදු ප්‍රශ්ණයකි. හඳට ගිය හැම කෙනාම පොරක් වුනත් නීල් ආම්ස්ට්‍රෝං හැර අනිත් එවුන්ගෙන් අපට වැඩක් නැත. ඌ මොන මගෝඩියක් කර හඳට ගියාදැයි අපිට වැඩකුත් නැත. ගියාද නැද්ද හරියටම ෂුවරුත් නැත. ඌ හඳට ගිය එකෙන් අපිට වූ සෙතක් නැත. ඒත් අපේ උන්ට හඳ ගැන කියූ විට හඳ මාමාට පසුව මතක්වෙන්නේ ආම්ස්ට්‍රොංවය. 

ඡංදයකදීද එසේමය. අපිට ඕන දිනන්නමය. පැරදුනොත් වසලා හමාරය. ඒ නිසා දිනන පැත්තක් බලා ඡන්දය දීම අපගේ සිරිතය. ඇවිත් මොන මඟුලක් කලත් අපිට කමක් නැත. ඡන්දෙ දුන්නු එකා දිනුවාම තියෙන සතුටම ඇතිය. 

මම මේ 225න් එකෙකුටවත් ඡන්දය නොදෙන බව අපේ තාත්තාට කිව්වාම එයා කිව්වෙ "අපරාදෙ ඡන්දෙ" කියාය. 

හැමදාම එක වීමට අපිව පුරුදු කරන්නේ සමාජය හා ගුරුවර දෙමාපියන්ය. ගමේ එක, ගෙදර එක, පංතියේ එක, ඔෆිස් එකේ එක කියමින් මොන්ටිසෝරියේ සිට එකම වෙන්නට දතකාගෙන යන අප, රටේ එක වෙන අයට ඡන්දයක් දීම යනු පැන්සල් ඉරි දෙකක් එක උඩ එක අඳින නිකම්ම නිකං චිත්‍රයක් පමණි.

Thursday, August 22, 2019

දමිත් කියෙව්වෙමි..


මේ කියවීම පටන්ගන්නෙ මීට අවුරුදු ගාණකට කලින් දමිත්ගෙ පළමුවෙනි මාධ්‍ය එළිදැකීම ෂා fm එක හරහා වුනු දවසෙ. බස් එකේ යද්දි එද්දි, පස්සෙ හොයාගෙන ගිහිං අහපු සිංදු වල අයිතිකාරයා චැනල් එකට ඇවිත් කියපු දේවල් මට හිතාගන්න බැරිවුනා. වැල්ලවාය ඇතිලිවැව පැත්තෙ පට්ට ඩොටක හිටපු එකෙක් එකපාරම ඇවිත් දුන්නු ටෝක්ස් මාව තනිකරම උස්සලා පොළොවෙ ගැහුවා. ඒක මාර වැඩසටහනක්. "මගෙ හුස්ම තියෙනකල් මම මිනිස්සුන්ට සිංදු කියනවා" කියලා තමයි දමිත් ඒක ඉවර කලේ. මතක විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිංදා ඊගාව සතියෙත් ආයෙත් ඒකෙ රිපීට් එකක් ගහන්න චැනල් එකට සිද්ධවුනා. ඒක ඒ තරමට වැඩකලා ඒ දවස් වලත්. ගායකයෙක් විදියට විතරක් ඔලුවෙ හිටපුඑකා අන්න එදා ඉඳං මට මාර පොරක් වුනා. ඔහොම කාලෙ ගියා. මට උගෙ හඬට තිබුනෙ මාර ලව් එකක්. 

ඔහොම ගහන ගහන එක හිට් වෙවී ආපු දමිත් දවසක එනවා "මා නොවන මම" එකට. කැලුම් අයියවත් කොරේ කොර කරලා මොනාදෝ ටිකක් කියන මේකා කියපු දේවල් එක්ක ඒ වැඩසටහන ඉවර වෙනකොට මගේ ඔලුව ඇතුලෙ මට හිතාගන්න බැරි මොනාදෝ දර්ශණයක් හොල්මං කරන්න ගන්නවා. ඒක මේ අපි දන්න කියන ඒවම තමා. ඒත් වෙන පැත්තකින් බලලා කියන වෙනම කියවීමක් වගේ එකක්. හරියට අපි දන්න කියන වරහනම "("පැත්තෙං බැලුවම තැටියක් "⚫️" වගේ පේනවා වගේ වැඩක්. හැබැයි ඒක අල්ලගන්න ලේසි නෑ.

හැබැයි දමිත් ඩිල්ෂාන් අයියත් එක්ක කරපු වැඩෙත් බැලුවා. ඒක ගැන කියන්නෙ නැතුව ඉන්න හැදුවත් පස්සෙ මේ යන කතාබහත් එක්ක ටිකක් කියන්න හිතුනා. ඌ රහත් වෙලා, ඉන්නෙ වෙනම තැනක, අපි ඇතුලෙත් දමිත් කෙනෙක් ඉන්නවා වගේ නානාප්‍රකාර බහුභූත ඇහෙන්න ගත්තා. මොන මඟුලක්ද ඒ. ඒක බලපු කන බොන ටිකක් සවිඥානිකව හිතන ඕන කොල්ලෙක්ට මේ ටික අහුවෙන්නම ඕන. ඌ ඉන්නෙ බීලා. කියවන්නෙ විකාර. කිසිම මාතෘකාවක එක දිගට ඉන්නත් බෑ එකින් එක පිළිවෙලට ගලපන්නත් බෑ. ගංජා සීන් වලටත් සැරින් සැරේ ඇවිත් යනවා. අර ඉරට එහා ඉඳන් බලං ඉන්න මොකද්ද මැසිව් යානාවක් ගැන කියන්නෙ. ඒක තනිකරම ගංජා ෆීල් එකක්. වෙනම ෆැන්ටසි එකක්. හැබැයි ඒක තුලත් පොරට දිගටම ඉන්න බෑ. එකපාරම ට්‍රැක් පනිනවා. මේ අස්සෙ අරූ අහනවා උණ්ඩුකපුච්චෙ ඇඹරෙන ප්‍රශ්ණ. මුට මූවම හම්බවුනොත් මොකද කරන්නෙ.. වැඩිපුරම විඳපු දවස.. වට පිටාවෙ අනිත් අයව පේන හැටි.. වගේ අපභ්‍රංශ ප්‍රශ්ණ. (ඩිල්ෂාන් අයියෙ ඔවානං..) අර වගේ බීලා කුදාර් වෙලා ඉන්න එකෙක්ට තියා පට්ට සිහියෙන් ඉන්න මහාචාර්ය කෙනෙකුටවත් නෑ ඒවට උත්තර. මුලදි මොකද්දෝ නොතේරෙන මංගල්ලයක් කියනවා වගේ තේරුණාට පස්සෙ පස්සෙ ඌ චොර වෙනවා. බීපුවාම එක උඩ එක වාක්‍ය කටට එන්න ගද්දි, එකකට එකක් සම්බන්ධ නැති මාතෘකා ඔලුවට එද්දි, ඒ කතා පැටලිලා වෙනම කතා විදියට අමුතු වචන වලින් එළියට එද්දි, ඌ කියන එක කාටවත් තේරෙන්නෑ තමයි. හොඳට ගහලා නසරානි වෙලා ඉන්න එකෙක් එක්ක කතා කරලා බලපං. මෙලෝ හත්තිලව්වක් තේරෙන්නෑ. එහෙමයි කියලා අපි ඌ රහත් වෙලා කියන්නෑනෙ දෙයියනේ.

ඇත්ත දමිත්ට අවුලක් තියෙනවා. නැත්තං ඔය මට්ටමේ ඉඳන් ඉන්ටවීව් එකකට ෆේස් කරන්නෑ. එහෙම යන්න හිතෙන එකම අවුලක් තමා.

මේක මේ අධ්‍යාත්මිකව ලබාගත්ත මොකක්හරි අටමගලක් නෙවෙයි. ගංජා ගහලා, අරක්කු බීලා, සමහරවිට ඒ මේ අස්සෙ වැරදි ක්‍රම වලට භාවනා කරලා, ඕනවට වඩා දේවල් හිතලා කරගත්ත මානසික ලෙඩක්. උට දේවල් අහිමි වෙනකොට අර කලින් හිටපු දමිත්ම වෙන වෙන පැති වලින් හිත හදාගන්න යාමේ ප්‍රතිඵලයක් තමයි අද ඔය ඉන්න දමිත්.

අන්තිමට කියන්න තියෙන්නෙ. දමිත් ඔය ඉන්න කැලෙන් එලියට ඇවිත් බෙහෙතක් ගනිං. උඹට තියෙන්නෙ ලෙඩක් කියලා පිලිගනිං. මොකද උඹට ආදරේ මං වගේ දහස්ගාණක් උන් උඹ දිහා බලං ඉන්නවා. උඹ වගේ කාලයක් පරමාදර්ශ වෙලා හිටපු චරිත ඔහොම කිච වෙනවට අපි කැමති නෑ. 

මචං දමිත් හිටපු තැනට වරෙං. ඔය පාර වැරදියි. නැත්තං අර අශේනයා එහෙම තව ටිකදවසක් බලලා උඹව දාලා වැලකුත් ගහයි. යූ ටියුබ් හිට් ට්‍රෙන්ඩ් අස්සෙ මළ අඳෝනා අහන්න වෙලා තියෙන අපිට උඹ වගේ එකෙක් ඕන. ඇවිත් කියලා දියං උන්ට මේ මියුසික් කියන්නෙ මොකක්ද කියලා..

ඉක්මණට සනීපවෙයං..

Friday, August 16, 2019

සක්විත්තෝල්මාදය..


අදකාලේ මිනිස්සුන්ට වෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි තමන් කරමින් හිටියෙ මොකක්ද කියන එක අමතක වීම. ඒක ලෙඩක්ද නැත්තං හැටිද කියලා දන්නෑ. ඒත් එහෙම වෙන එක මාර අවුලක්. ඒකෙන් වෙන්නෙ තමන්ට තිබුනු තැනත් අහිමි වෙන එක එහෙමත් නැත්තං එහෙම එකෙක් නැත්තටම නැති වීම. 

උදාහරණයක් විදියට ඉරාජ්. මුල් කාලේ ඉරාජ් කියන්නෙ මටනං පට්ට පොරක්. භාතිය සන්තුෂ්ලා කරපු වැඩේ ඉස්සරහට අරන් යන්න සෑහෙන්න වැඩක් කරපු එකෙක්. පොරගෙ පළවෙනි album එක ඒකට හොඳ සාක්ෂියක්. පස්සෙ මොකද වුනේ. පොරට එකපාරම තමන් කර කර හිටපු එක අමතක වුනා. ඒකට හේතුවෙච්ච සල්ලි, ජනප්‍රියකම වගේ හේතුත් තියෙනවා. කාලෙන් කාලෙට ට්‍රැක් මාරු වෙවී ට්‍රැක් මාරුවෙවී ඇවිත් දැන් ඉරාජ් වෙන කොහේද තැනක ඉඳන් මොනාද ටිකක් කරනවා.

අපේ රටේ මේකට උදාහරණ ඕනතරං තියෙනවා. දේශපාලඥයෝ ඔක්කොම කිසි හිරිකිතයක් නැතුව මේ බාල්දියට දාන්න පුලුවන්. මොකද කරන්න යන්නෙ අවංකවම රටට වැඩක් වෙන්න පුලුවන්. හැබැයි පස්සෙ මොණර කොළ රහට ලෝකෙ තියෙන තුප්පහිම වැඩත් කරනවා.

You tube channel කරන අයගෙන් බහුතරයක් දැන් කරන්නෙ ඕක. සමහර අය සමාජයේ හිතසුව පිණිස ජනතාව දැනුවත් කිරීම උදෙසා පටන්ගත්තු චැනල් දැන් තනිකරම ගණිකා මඩම්, මඩ ප්‍රචාර වලින් පිරිච්ච කුණුහරප මාකට් එකක් වෙලා. ප්‍රධාන හේතුව කරපු දේ අමතකයි.

මිනිස්සු ඉල්ලන දේ දෙනවා, මේක තමා මාකට් වෙන්නෙ, මේකත් එක විදියක සමාජ මෙහෙවරක් වගේ ගොබ්බ කතාකියලා මේක සාධාරණීයකරණය කරන්න බෑ. මොනා කිව්වත් මේක ඊට එහා ගිය ව්‍යාධියක්. රට පුරාම ටිකෙන් ටික මේ ලෙඩේ ව්‍යාප්ත වෙමින් යන්නෙ. මම පුරුද්දක් විදියට youtube trending list එක බලනවා. කාලයක් තිස්සෙ. එකක් දෙකක් ඇරුනාම මේකෙ වැදගත් දෙයක් ට්‍රෙන්ඩින් වෙන්නෙ කන කැස්බෑවා වියසිදුරෙන් හඳ දකිනවාටත් වඩා කලාතුරකින්. දැන් අහපල්ලකො පුලුවන්නං ඒ මොකද්ද කියලා.

වැඩේ තව ටිකක් පැහැදිලි වෙන්න හැමෝම දන්න දැන් ජනප්‍රිය තිස්ස ජනනායක සර්ව ගම්මුකො. ඒ සර්ගෙ චැනල් එක දැන් හෙන ජනප්‍රියයි. නැගලා යනවා. හොඳ හරවත් දේවල් කියනවා. විෂයානුබද්ධව. හැබැයි මෙහෙම ගිහිල්ලා පොරට මේක රහ වැටිලා චැනල් එක ගැන හිතලා මේ කියන කතා subject එකට පිටින් කරන්න ගත්තොත්. Biology පැත්තක තියෙද්දි චැනල් එකට දාන්න සෙට් වෙන කතාම කියන්න ගත්තොත්. ළමයි අනාතයි. උන් හිනාවෙවී අහං ඉඳියි. අපිත් මාර ආතල් එකේ ඒවා බලයි. විභාගෙට ගියාමත් උන්ට වෙන්නෙ හිනාවෙවී ඉන්න තමා. එහෙම වැඩි කාලයක් දුවන්න බෑ. එක්කො ක්ලාස් නවත්තලා චැනල් එකම කරන්න ඕන. නැත්තං චැනල් එක නවත්තලා ක්ලාස් කරන්න ඕන. Balance එකේ යනතාක් හරි හැබැයි track පැන්නොත් ඉවරයි. ජනනායක සර්ටත් වෙන්නෙ සක්විතිට වෙච්ච දේම තමා. ජනනායක සර් මේ ඔබේ අවධානය පිණිසයි.

ඒ හිංදා ඔය ට්‍රැක් පැනලා යන උන් ටිකක් පරිස්සං වෙයල්ලා. සක්විත්තෝල්මාදය කියන්නෙ ලේසිපාසු ලෙඩක් නෙවෙයි. පවුලක් ගැන ජීවිතයක් ගැන ආසාවක් තියෙනවනං දැන්වත් වෙනස් වෙයල්ලා. නැත්තං වෙන්නෙ අර සක්විති සර්ට වගේ ආය මුල ඉඳලා මාලු ටැංකියක් ඉස්සරහා ඉඳගෙන ලෝකෙටම ජෝක් එකක් වෙන්න..

Thursday, August 15, 2019

Fb comments


▪️අපි පෝස්ට්එකක් දැම්මම අපේම උන් දාන කමෙන්ට්ස්>>>💬

අනේ නිකං පලයං බං පණ්ඩිතයා නොවී..
තෝ දන්න මඟුලක් කියාං..
යකෝ මුට වෙච්ච දෙයක්..
ගංජා ගහන්න එපා බං..
අසහනේද?? ගෑණු පෙරේතයා..
මල්ලි පෙත්ත බිව්වෙ නැද්ද..
හොඳට හිටපු එකාට වෙච්ච දෙයක්..
පුනුරුත්තාපනෙන් කවද්ද ආවෙ..
අම්මගෙ නම්බරේ දියං වැඩේ හරියන්නෑ ටිකක් බලන්න කියන්න ඕන..
අනේ ගොනෝ..
යකඩ ඇණයක් කටේ තියලා තදකරගෙන ඉඳාං අයියෙ ඔය ගතිය අඩුවෙනකල්..
අදත් බිව්වද.. බේබද්දා..
තෝ දන්න රෙද්ද..
සනීප නැද්ද බං.. 🤒
තෝ වගේ මෝඩ මූසලයෙක් බං..
මොකද්ද බං මේ කියලා තියෙන්නෙ..
බිත්තියෙ ඔලුව වැදුනද.. 🤕
ඇඳේ මොන පැත්තෙන්ද නැඟිට්ටෙ..
කවද්ද ඇප දුන්නෙ..
කාලකණ්නි පෝස්ට් එකක්.. අපරාදෙ වෙලාව..
පොඩ්ඩක් හාංසි වෙලා ඉඳපං හරියයි..
🤢🤢
දැන් මොකද්ද උඹ කියන්නෙ..
🤮🤮 නෙදකිං..
අනේ පිංසිද්දවෙයි ගොංකතා නොකියා ඉඳාං..
වැඩක් නැද්ද බං..
ඔලුව අතගාලා බලපං..
තූඃ විතරක්.. දවසම කෑවා..

▪️අනිත් උන්ට වැටෙන කමෙන්ට්ස්>>>💬
අඩෝ මාරයි බං..
❤❤
ඒක පට්ට ඕයි..
සුපිරි මචං.. 👌🏻
උඹට කොහොමද බං මේවා හිතෙන්නෙ..
ගින්දර මචෝ 🔥
😍
👍👍👍
ආදරෙයි බං හැමදාම..
දිගටම ලියපං.. සුප්පා..
මරු..
මචං ඉස්සුවා.. 😘
Lovely ලොක්කා..
එකෙන්ම සිරා කතාව..
අම්මෝ ඒක..
නියමයි බොක්කා..

පුදුම ආදරණීය ෆෑන් බේස් එකක් මටනං ඉන්නෙ..

Monday, August 5, 2019

අස්කිරිල්ල..




ගෙවල් අස් කරනවා කියන එකත් ලේසි නෑ. ඒකත් අම්මලත් එක්ක කරනවා කියන එක කරන්න බැරි වැඩක්. තිබුණු කිසිම බඩුවක් පෙට්ටියක් විසි නොකර ගෙදර අස් වෙන්නත් ඕන. මේකත් මගේ ගේ අස් කරද්දි මට මතක් වුන ටිකක්.

ඒ දවස් වල අම්ම ගෙදර අස් කරනකොට මමනං ඇහැක්වත් ඇරලා බලන්නෑ. ඇත්තටම ඒකෙදි වෙන්නෙ අස් වෙනවට වඩා පිළිවෙලකට ඇසිරීම වගේ එකක්. අපිට මේ කිසිම දෙයක් විසිකිරීම තහනම්.

පොලිතීන් බෑග් 🥡 🛍
පරණ එක එක electric බඩු ගෙනාපු කාඩ් බෝඩ් පෙට්ටි 📦
ඒවා ඇතුලෙ තිබුණු රිජිෆෝම් කෑලි - ඔව් ඔව් අර මුලු හතරට තියලා තියෙන්නෙ..
පරණ කැලැන්ඩර් 📅
පරණ වැඩ කරන්නෙ නැති tv, radio, oven, gas cooker වගේ බඩු 📻📺📠
ප්ලාස්ටික් cups/බෝතල් 🧂🥤🧴
වීදුරු බෝතල් 🍾
පරණ වයර් කෑලි 🔌📿
පිච්චිච්ච බල්බ් 💡
පරණ හම්පඩ බෑග් 💼🎒
wall hangers 🖼
ටින්, බූලි, බැරල් 🛢
වීදුරු කෑලි, මල් වාස් 🏺
රබර් කෑලි, තනි සෙරප්පු 🧩🥿👡
පරණ සපත්තු 👞🥾
පරණ ඇඳුම් 🥼👕
හද්ද පරණ රෙදි කෑලි🧣
වැඩ කරන්නැති phone📞
කොසු මිටි 🧹
පොඩි පොඩි යකඩ කෑලි, බැටරි කෑලි 🔋
රවුම් එක එක හැඩේට තියෙන ගල් කෑලි 🧽
පාවිච්චි නොකරන දත් බුරුසු 
අඬු කැඩිච්චි කෝප්ප ☕
වාඩි වුනොත් බිමට පතබෑවෙන සයිස් එකේ පුටු, sofa 🛋

එකී මෙකී නොකී එකක්වත් විසි කිරිලි බොරු..
සේරම තියෙන්නත් ඕන, ගේ අස්වෙන්නත් ඕන..

මේකෙ ආතල්ම කෑල්ල මේ තියන් ඉන්න පොලිතීන් බෑග් එකක් එහෙම ඉල්ලන්න ගියාම. "ආ ඒක හොඳ බෑග් එකක්.. ඒක තියලා මේක ගන්න" කියල එකක් දීලා අනිත් ඒවා අරගෙනත් යනවා. වැඩේට අදාලව නම්කරන ලද බෑග් වර්ග තියෙනව මයෙ හිතේ.

මීට අමතරව පරණ පොත්. දැන් ජොබ් එකකට ඇවිත් අවුරුදු 15කට කිට්ටු වුණාට මොකද පහ වසරෙදි පාවිච්චි කරපු පොත් තාම තියෙනවා ඇඳවල් යට. ඒවා පෙරලන්නවත් බෑ. පිටු එකට ඇලිලා. " අනේ මේවා විසි කරන්නෙ කොහොමද? පුතාලා පාඩම් කරපුවනෙ"

වැඩ කරන්නැති fridge වල වලං තියයි. oven වල බෝතල් කුප්පි අහුරයි. කුස්සියේ ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැත. ගෙදර ඉන්නෙ 5ක් 6කි. Tooth brush 60ක් විතර ඇත. අහුවෙන එකකින් මැදීම හැර කල හැක්කක් නැත. මේකෙ වාඩි වෙන්න එපා කියා බෝඩ් එකක් එල්ලලා හරි සාලෙ තැන තැන ඇති සමහර පුටු මටත් වඩා වයසය. පිම්බත් කඩන් වැටෙන සයිස්ය. කාඩ් බෝඩ් පෙට්ටි ගබඩාවක්ම ඇත. ඒවාට මුලු ගෙදරම ඇති බඩු මිනිස්සුත් එක්කම pack කිරීමට පුලුවන. ඒත් තව ඉතුරු වනු ඇත. 

සමහර දේවල් වලින් කරන්නේ කුමක්ද කියා අම්මටවත් අදහසක් නැත. "මොනවට හරි ඕන වෙයි, ඔන්න ඕක තියෙන්න ඇරහං" 

තනියම අස් කිරීමේ දී ඇති නිදහස වෙනම ආතල් එකකි. ඕන නෑ කියලා හිතෙන ඕනම දෙයක් මිදුලේ කොනක ගොඩගසා අවසානයේ පුච්චා දැමීමට නම් අම්මා මෙන්ම පවුලද ගෙදර නැති විය යුතුය. (තාම පවුල ගෙදර ආවෙ නැත)

ගෙදර ඇති ඕනෑම හද්ද පරණ අටමඟලක් උඩින් යටින් පැත්තෙන් scan කර බලා ලබාගත හැකි මොකක්හෝ ප්‍රයෝජනයක් හෝ අනාගත අවශ්‍යතාවයක් හඳුනාගැනීමට අම්මාට මෙන්ම පවුලට ඇත්තේ සහජ හැකියාවකි. ඒකට ඒ අය කියන්නෙ අරපිරිමැස්ම කියාය.

ආච්චිගෙ රෙද්ද.. 
"හා හා ඒක විසි කරන්න එපා ඕක අපේ අම්මගෙ. එයාව මතක් වෙන්න ඔච්චරයි මගේ ලඟ තියෙන්නෙ.. මුන්ට මේ කිසිදේක අගයක් නෑ.. හැමදේම විසි කරන්න තමයි......."

the end

Thursday, August 1, 2019

ෆෙයාවෙල් නාඩගම..


මාලිංගගේ අන්තිම වන්ඩේ මැච් එකෙන් පස්සෙ තිබුණු presentation ceremony එක මාලිංගගෙ පෞද්ගලික පාටියක් කරගත්ත එකට මම පෞද්ගලිකව විරුද්ධයි. හෙන දිග කතාවක් කරලා, සනුහරේම පිට්ටනියට ගෙනල්ලා, තෑගි දීලා, හෙන නාඩගමක් නටලා මම පොරක් කියාගත්ත එකම මට විකාරයක්.

මේ මොන හත්තිලව්වක්ද මේ යකා මේ කරන්නෙ කියලා හිතුනු මට ඊයෙත් ඒ කෙළියම දැක්කම මේක ලියන්නම හිතුන. මේක දිගට යන වැඩක් වෙයිද? අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුංචි අම්මා, අල්ලපු ගෙදර ඇන්ටි, යාලුවගේ නංගි, ඇච්චො බැච්චො සේරම පිට්ටනිය මැද්දට ගෙනත් මේ මොන මඟුලක් කරනවද?

මුලින්‍ම තමන්ව හොයාගත්ත නැත්තං හඳුනගත්ත කෝච්ට පොඩි වචනෙකින් ට්‍රිබියුට් එකක් දෙන එක, අම්මව තාත්තව වයිෆ්ව මතක් කරන එක ඕකේ. මම හිතුවෙ පොඩිකාලෙ ප්‍රැක්ටිස් යද්දි වඩේ කාපු තැන වඩේ ඇන්ටිවත් ගෙනල්ලා මේ තමයි මම බඩගින්නෙ ඉන්නකොට දවසක් ඇවිත් වඩේ එකක් දීලා මගේ බඩගින්න නිවපු වඩේ ඇන්ටි කියලා එයාවත් එක්කං එයි කියලා.

ඒ තරං ප්‍රාථමිකයි ඒ වැඩේ. මේක යකෝ චම්පක රාමනායක කියන්නෙ අපේ නැෂනල් ටීම් එකේ කෝච් කෙනෙක්. ඒ කාලෙ ඉතිං පොර තමයි හැමෝවම පුහුණු කරන්නෙ. ඒක එයාගෙ ජොබ් එක. ඒකට දැන් ටීම් එකේ හැම එකාම ටීම් ජර්සි එක ගානෙ රාමු කරලා ගෙනත් දෙන්න ගත්තොත් ඒවා තියන්න වෙන ගෙයක් හදන්න වෙනවා පොරට. අනික ඒක දෙන එකේ අවුලකුත් නෑ. ආසාවනෙ. ඒත් මේ  ලෝකයක් ඉස්සරහා දීලා මොනා බලාපොරොත්තු වෙනවද මටනං තේරෙන්නෑ. ෂේප් එකේ බිස්කට් පැකට්එකකුත් අරගෙන ගෙදර ගිහින් කතා කරලා තේකක් බීලා මේක දීලා ආවනං මදැයි. 

මාලිංග කොහොමත් සංදර්ශණ වලට දස්සයා. ඒත් මේ කුලේ.
අනේ මන්දා. මේවා මීට වඩා professionally වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

අවශ්‍ය දේවල් කරන්න ඕන තැන, විදිය, වෙලාව ගැන මීට වඩා සෙන්ස් එකක් මේ යක්කුන්ට නැති එක හෙන අවුලක්. මොකා වුනත් පිටිපස්සෙ ඉඳන් මේවා මෙහෙයවන එවුන් ටිකක් ඉන්නවා කියන එකත් පැහැදිලියි. අනේ මේ උන්ට වැඳලා කියන්නෙ. ඉස්සරහට යන්න ඉන්න උන්ට මේ ගොන්පාට්නං කරන්න උල්පන්දං දෙන්න එපා. පව් අහිංසකයො ලෝකයක් ඉස්සරහා ජෝකර්ලා වෙනවා. කොච්චර වුණත් නැෂනල් ටීම් ප්ලේයර්ස්ලානෙ. මාලි නිසා කුලේ මේ වැඩේ කලා වෙන්න පුලුවන්. කුලේ නිසා තව සමහරු මුලා වෙන්න කලින් මේක නැවතුනොත් ඇති. රට්ටු හිනස්සන වැඩ මෙව්වා..

බනින එකෙක් බැනාං. හිතෙන දේ ලිව්වා..

අවුරුදු කෑම..


සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ මහා සංස්කෘතික අංගයක් වී තිබුණා යන්තමට මතකය. දැන් එය තනිකරම මාකටින් ගුන්ඩුවකි. රටේ ඉන්න මාකටින් පොරවල් අපිට අවුරුදු කවන්න දඟලන දැඟලිල්ල දැක්කම ඇඟ හිරිවැටේ. කොහාගේ සිට හිසතෙල් ගා හකුරුත් එක්ක කන පොල් කෑල්ල දක්වා සියල්ල මාකට් කර ඇත.

නානාප්‍රකාර කෑම ජාති, බීම ජාති, අවුරුදු කෑම  මේසය ආක්‍රමණය කර ඇත. තෑගි දෙන්න, හොරෙන් තියලා යන්න, තරහ උන්ට කවන්න, කෙල්ලෙක් දාගන්න ආදී හැමදේටම වෙන වෙනම බ්‍රෑන්ඩ් වර්ග හඳුන්වා දී ඇත. ඒවා ගන්නම හිතෙයි. මුකුත්ම නැත්තං අලුත් නැකත් වර්ග හදලා හරි අපිට උන් ඒවා විකුණයි. මේ එක ලෙඩකි.

ටවුන් වලට අලුත් ලෙඩක් බෝ වී ඇත. අලුත්ම නැත. උදේ ඉඳන් රෑ වෙනකල් ලදරං ලවුස්පීකර් (loud speakers වලට අපි කියන්නේ එහෙමය) හැටක් විතර ටවුම පුරා එල්ලා දමන ඇඩ් අඳෝනාවකි. අනේ අපෙනුත් මල් ගන්න යැයි මල් විකුණන මගෙ සීදේවි හොඳය. මුන් අද ඊයෙ දාපු කඩවල් වගේ හද්ද පරණ කඩවල් මාකට් කරන්න හදයි. ටයර් කඩ, මොන්ටිසෝරි, පංසල් වල පවා ඇඩ් දායි. ඒවා කොයිතරම් අපිට කරදරයක්ද කියනවනං ගෙදර යද්දි බස් එකේදිත් යන්තමින් එය හිතතුල රැව්දේ. නින්දේදීත් ඇසේ. ඒ ගහන සිංදු පිලිවෙලට කටපාඩම්ය. හවස් වෙද්දි රංවල මාස්ටර්ව තිත්ත වෙයි. කොහාගේ හඬ කොයිතරම් විකෘතිද කියතොත් ඒ හඬට නින්දෙනුත් බය වේ. ඒ තරම් අවුරුදු භීතිකාවක් ඇති කරමින් අපිට පාරක බැහැලා යන්නවත් එපා කරවයි.

මිනිස්සු රෙදි කඩවල් කනපිට පෙරලයි. මෙච්චර කල් ඇඳුම් නැතුව හිටපු උන් ගාණට ඇඳුම් ගනී. ඒකත් අන්තිම දවස් දෙක වෙනකල් බලං ඉඳලාය. එකපිට එක ඇඳුම් තුනහතරක් අඳින ගාණට රෙදි ගනී. නෝනලා රෙදි ගන්න තුරු මහත්තුරු සක්මන් භාවනාවේ නියැලෙන්නේ දරුවන්ද වඩාගෙනය. කඩවල් සේරගේම රෙදි බලා, ඔන්ලයින් ඇති රෙදිත් සොයා, අනිත් උන් ගන්නා රෙදි ගැනත් විමසා අවසානයේ මොකක් හෝ එකක් අරන් එන්නේ "රෙදි නෑ අප්පා.. මේ පාරනං අවුරුද්ද හරි සවුත්තුයි" කියාය. නැත්තං මෙච්චර වෙලා හෙව්වෙ මොන කජ්ජක්දැයි අහන්නට හිතුනත් කටපියන් ගෙදර යාම නුවණට හුරුය.

රෙදි කඩවල කාඩ් කුට්ටම්, කැරම් බෝඩ්, ප්ලේ බෝයි සඟරා වැනි දෑ පැය ගාණට හයර් කිරීමෙන් රෙදි විකුණනවාට වඩා හම්බ කළ හැකි බව උන් තාම දන්නේ නැතිපාටය. ළමයි බලන්නට වෙනම කාන්තාවන් යොදවා තවත් හම්බකළ හැක. අලුත් අවුරුද්ද යනු අලුත් ඇඳුම් ඇඳීම පමණක්දැයි සිතෙන තරමටම අපි එයට හුරු වී ඇත.

තෑගි දෙන සාස්තර, අවුරදු කෑම වෙනුවට අවුරුදු බීම, අතුරුපස චාරිත්‍ර වැනි අලුත් අලුත් සමයං අවුරුද්දක් පාසා හඳුන්වා දෙන මාකටින් පොරවල් ඊළඟට මොනා කරයිදැයි බයත් හිතෙයි. තවමත් අතනොතැබූ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ නැකත හා නව සඳ බැලීම වැනි චාරිත්‍ර වලටත් මොකක්හෝ වැල්වටාරමක් ගොතා අතේ ඇති පිච්චියට කෙලීම නුදුරේදීම වනු ඇත.

අම්මට සිරි අවුරුදු සිරි කියා හිතෙන්නේ ටීවී එක දැමූ විටය. දාන දාන එකේ රෙද්ද හැට්ට සරං ඇඳන් හෝසෙට නැකත් චාරිත්‍ර කවි ගැන කියමින් නැටුම් ක්‍රීඩා කරමින් පට්ට ගැමි චරිත මෙච්චර කල් කොහේ හිටියදැයි සිතේ. එකිනෙකා පරදන අමුතු අමුතු අවුරුදු සැමරුම් සංවිධානය කරන උන් නොකරන දෙයක් නැත. පොඩි උන්ට, ලොකු උන්ට, ගෑණුන්ට, ඇමතින්ට, නලුනිලියන්ට, වැඩිහිටියන්ට වෙන වෙනම උත්සව තබන ඔවුන් ඒවාට කොහොම වියදම් කරන්නේදැයි ප්‍රශ්ණයක් නැත. එහෙත් ඔවුන්ම විවිධ ආපදා අවස්ථාවන්වල අසරණ වන මහජනතාවට සරණ වීමට පෙරළා අපගෙන්ම මුදල් භාණ්ඩ එකතු කිරීමනම් ප්‍රශ්ණයකි. දවස් දෙකක් තුනක් එක හුස්මට අවුරුදු මතක් වී නටන චැනල් වල උන්දැලාට රංවල බලකාය ආයෙත් මතක්වෙන්නේ මීළඟ අවුරුද්දේය.

කරන්නට දෙයක් නැත. සියල්ල මවාපාන මේ රටේ අවුරුද්දද තනිකරම මහා මවාපෑමක් බවට පත් වී ඇත. ඉස්සර වගේ අවුරුදු නැතැයි අපිට හැඟේ. එය එසේදැයි දැන් දරුවන්ගෙන් දැනගත යුතුය. ඔවුන්ට තේරෙන  අවුරුද්ද මරුනං අපගේ මතය වැරදිය. මොනා කිව්වත් රෙද්ද හැට්ට ඇඳන් පොල් අතු පැළක් තුළට වී කවි කියා ගමක් මැවීමම මායාවකි. ඒ මේ ඇන්දවීම්, බොරු ගෙතීම්, හම්බකිරීම් අතරේ අවුරුද්දේ සැබෑ අර්ථය යට ගොස් ඇති බව පමණක් දැනේ. එය මොකක්දැයි සොයාගැනීම අපටත් දැන් අපහසුය.. කෙසේ වෙතත් කොහාගේ හඬ රේඩියෝවෙන් අසා, ටීවි එකේ අවුරුදු ක්‍රීඩා ටිකක් බලා, රතිඤ්ඤා පත්තු කර, අලුත් ඇඳුම් ඇඳ, බිස්කට් කා, මොණර කොළ හුවමාරු කිරීම අවුරුද්ද නොවන බව අප දැනගත යුතුය.