Menu

Monday, August 5, 2019

අස්කිරිල්ල..




ගෙවල් අස් කරනවා කියන එකත් ලේසි නෑ. ඒකත් අම්මලත් එක්ක කරනවා කියන එක කරන්න බැරි වැඩක්. තිබුණු කිසිම බඩුවක් පෙට්ටියක් විසි නොකර ගෙදර අස් වෙන්නත් ඕන. මේකත් මගේ ගේ අස් කරද්දි මට මතක් වුන ටිකක්.

ඒ දවස් වල අම්ම ගෙදර අස් කරනකොට මමනං ඇහැක්වත් ඇරලා බලන්නෑ. ඇත්තටම ඒකෙදි වෙන්නෙ අස් වෙනවට වඩා පිළිවෙලකට ඇසිරීම වගේ එකක්. අපිට මේ කිසිම දෙයක් විසිකිරීම තහනම්.

පොලිතීන් බෑග් 🥡 🛍
පරණ එක එක electric බඩු ගෙනාපු කාඩ් බෝඩ් පෙට්ටි 📦
ඒවා ඇතුලෙ තිබුණු රිජිෆෝම් කෑලි - ඔව් ඔව් අර මුලු හතරට තියලා තියෙන්නෙ..
පරණ කැලැන්ඩර් 📅
පරණ වැඩ කරන්නෙ නැති tv, radio, oven, gas cooker වගේ බඩු 📻📺📠
ප්ලාස්ටික් cups/බෝතල් 🧂🥤🧴
වීදුරු බෝතල් 🍾
පරණ වයර් කෑලි 🔌📿
පිච්චිච්ච බල්බ් 💡
පරණ හම්පඩ බෑග් 💼🎒
wall hangers 🖼
ටින්, බූලි, බැරල් 🛢
වීදුරු කෑලි, මල් වාස් 🏺
රබර් කෑලි, තනි සෙරප්පු 🧩🥿👡
පරණ සපත්තු 👞🥾
පරණ ඇඳුම් 🥼👕
හද්ද පරණ රෙදි කෑලි🧣
වැඩ කරන්නැති phone📞
කොසු මිටි 🧹
පොඩි පොඩි යකඩ කෑලි, බැටරි කෑලි 🔋
රවුම් එක එක හැඩේට තියෙන ගල් කෑලි 🧽
පාවිච්චි නොකරන දත් බුරුසු 
අඬු කැඩිච්චි කෝප්ප ☕
වාඩි වුනොත් බිමට පතබෑවෙන සයිස් එකේ පුටු, sofa 🛋

එකී මෙකී නොකී එකක්වත් විසි කිරිලි බොරු..
සේරම තියෙන්නත් ඕන, ගේ අස්වෙන්නත් ඕන..

මේකෙ ආතල්ම කෑල්ල මේ තියන් ඉන්න පොලිතීන් බෑග් එකක් එහෙම ඉල්ලන්න ගියාම. "ආ ඒක හොඳ බෑග් එකක්.. ඒක තියලා මේක ගන්න" කියල එකක් දීලා අනිත් ඒවා අරගෙනත් යනවා. වැඩේට අදාලව නම්කරන ලද බෑග් වර්ග තියෙනව මයෙ හිතේ.

මීට අමතරව පරණ පොත්. දැන් ජොබ් එකකට ඇවිත් අවුරුදු 15කට කිට්ටු වුණාට මොකද පහ වසරෙදි පාවිච්චි කරපු පොත් තාම තියෙනවා ඇඳවල් යට. ඒවා පෙරලන්නවත් බෑ. පිටු එකට ඇලිලා. " අනේ මේවා විසි කරන්නෙ කොහොමද? පුතාලා පාඩම් කරපුවනෙ"

වැඩ කරන්නැති fridge වල වලං තියයි. oven වල බෝතල් කුප්පි අහුරයි. කුස්සියේ ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැත. ගෙදර ඉන්නෙ 5ක් 6කි. Tooth brush 60ක් විතර ඇත. අහුවෙන එකකින් මැදීම හැර කල හැක්කක් නැත. මේකෙ වාඩි වෙන්න එපා කියා බෝඩ් එකක් එල්ලලා හරි සාලෙ තැන තැන ඇති සමහර පුටු මටත් වඩා වයසය. පිම්බත් කඩන් වැටෙන සයිස්ය. කාඩ් බෝඩ් පෙට්ටි ගබඩාවක්ම ඇත. ඒවාට මුලු ගෙදරම ඇති බඩු මිනිස්සුත් එක්කම pack කිරීමට පුලුවන. ඒත් තව ඉතුරු වනු ඇත. 

සමහර දේවල් වලින් කරන්නේ කුමක්ද කියා අම්මටවත් අදහසක් නැත. "මොනවට හරි ඕන වෙයි, ඔන්න ඕක තියෙන්න ඇරහං" 

තනියම අස් කිරීමේ දී ඇති නිදහස වෙනම ආතල් එකකි. ඕන නෑ කියලා හිතෙන ඕනම දෙයක් මිදුලේ කොනක ගොඩගසා අවසානයේ පුච්චා දැමීමට නම් අම්මා මෙන්ම පවුලද ගෙදර නැති විය යුතුය. (තාම පවුල ගෙදර ආවෙ නැත)

ගෙදර ඇති ඕනෑම හද්ද පරණ අටමඟලක් උඩින් යටින් පැත්තෙන් scan කර බලා ලබාගත හැකි මොකක්හෝ ප්‍රයෝජනයක් හෝ අනාගත අවශ්‍යතාවයක් හඳුනාගැනීමට අම්මාට මෙන්ම පවුලට ඇත්තේ සහජ හැකියාවකි. ඒකට ඒ අය කියන්නෙ අරපිරිමැස්ම කියාය.

ආච්චිගෙ රෙද්ද.. 
"හා හා ඒක විසි කරන්න එපා ඕක අපේ අම්මගෙ. එයාව මතක් වෙන්න ඔච්චරයි මගේ ලඟ තියෙන්නෙ.. මුන්ට මේ කිසිදේක අගයක් නෑ.. හැමදේම විසි කරන්න තමයි......."

the end

No comments:

Post a Comment