Menu

Thursday, August 1, 2019

අවුරුදු කෑම..


සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ මහා සංස්කෘතික අංගයක් වී තිබුණා යන්තමට මතකය. දැන් එය තනිකරම මාකටින් ගුන්ඩුවකි. රටේ ඉන්න මාකටින් පොරවල් අපිට අවුරුදු කවන්න දඟලන දැඟලිල්ල දැක්කම ඇඟ හිරිවැටේ. කොහාගේ සිට හිසතෙල් ගා හකුරුත් එක්ක කන පොල් කෑල්ල දක්වා සියල්ල මාකට් කර ඇත.

නානාප්‍රකාර කෑම ජාති, බීම ජාති, අවුරුදු කෑම  මේසය ආක්‍රමණය කර ඇත. තෑගි දෙන්න, හොරෙන් තියලා යන්න, තරහ උන්ට කවන්න, කෙල්ලෙක් දාගන්න ආදී හැමදේටම වෙන වෙනම බ්‍රෑන්ඩ් වර්ග හඳුන්වා දී ඇත. ඒවා ගන්නම හිතෙයි. මුකුත්ම නැත්තං අලුත් නැකත් වර්ග හදලා හරි අපිට උන් ඒවා විකුණයි. මේ එක ලෙඩකි.

ටවුන් වලට අලුත් ලෙඩක් බෝ වී ඇත. අලුත්ම නැත. උදේ ඉඳන් රෑ වෙනකල් ලදරං ලවුස්පීකර් (loud speakers වලට අපි කියන්නේ එහෙමය) හැටක් විතර ටවුම පුරා එල්ලා දමන ඇඩ් අඳෝනාවකි. අනේ අපෙනුත් මල් ගන්න යැයි මල් විකුණන මගෙ සීදේවි හොඳය. මුන් අද ඊයෙ දාපු කඩවල් වගේ හද්ද පරණ කඩවල් මාකට් කරන්න හදයි. ටයර් කඩ, මොන්ටිසෝරි, පංසල් වල පවා ඇඩ් දායි. ඒවා කොයිතරම් අපිට කරදරයක්ද කියනවනං ගෙදර යද්දි බස් එකේදිත් යන්තමින් එය හිතතුල රැව්දේ. නින්දේදීත් ඇසේ. ඒ ගහන සිංදු පිලිවෙලට කටපාඩම්ය. හවස් වෙද්දි රංවල මාස්ටර්ව තිත්ත වෙයි. කොහාගේ හඬ කොයිතරම් විකෘතිද කියතොත් ඒ හඬට නින්දෙනුත් බය වේ. ඒ තරම් අවුරුදු භීතිකාවක් ඇති කරමින් අපිට පාරක බැහැලා යන්නවත් එපා කරවයි.

මිනිස්සු රෙදි කඩවල් කනපිට පෙරලයි. මෙච්චර කල් ඇඳුම් නැතුව හිටපු උන් ගාණට ඇඳුම් ගනී. ඒකත් අන්තිම දවස් දෙක වෙනකල් බලං ඉඳලාය. එකපිට එක ඇඳුම් තුනහතරක් අඳින ගාණට රෙදි ගනී. නෝනලා රෙදි ගන්න තුරු මහත්තුරු සක්මන් භාවනාවේ නියැලෙන්නේ දරුවන්ද වඩාගෙනය. කඩවල් සේරගේම රෙදි බලා, ඔන්ලයින් ඇති රෙදිත් සොයා, අනිත් උන් ගන්නා රෙදි ගැනත් විමසා අවසානයේ මොකක් හෝ එකක් අරන් එන්නේ "රෙදි නෑ අප්පා.. මේ පාරනං අවුරුද්ද හරි සවුත්තුයි" කියාය. නැත්තං මෙච්චර වෙලා හෙව්වෙ මොන කජ්ජක්දැයි අහන්නට හිතුනත් කටපියන් ගෙදර යාම නුවණට හුරුය.

රෙදි කඩවල කාඩ් කුට්ටම්, කැරම් බෝඩ්, ප්ලේ බෝයි සඟරා වැනි දෑ පැය ගාණට හයර් කිරීමෙන් රෙදි විකුණනවාට වඩා හම්බ කළ හැකි බව උන් තාම දන්නේ නැතිපාටය. ළමයි බලන්නට වෙනම කාන්තාවන් යොදවා තවත් හම්බකළ හැක. අලුත් අවුරුද්ද යනු අලුත් ඇඳුම් ඇඳීම පමණක්දැයි සිතෙන තරමටම අපි එයට හුරු වී ඇත.

තෑගි දෙන සාස්තර, අවුරදු කෑම වෙනුවට අවුරුදු බීම, අතුරුපස චාරිත්‍ර වැනි අලුත් අලුත් සමයං අවුරුද්දක් පාසා හඳුන්වා දෙන මාකටින් පොරවල් ඊළඟට මොනා කරයිදැයි බයත් හිතෙයි. තවමත් අතනොතැබූ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ නැකත හා නව සඳ බැලීම වැනි චාරිත්‍ර වලටත් මොකක්හෝ වැල්වටාරමක් ගොතා අතේ ඇති පිච්චියට කෙලීම නුදුරේදීම වනු ඇත.

අම්මට සිරි අවුරුදු සිරි කියා හිතෙන්නේ ටීවී එක දැමූ විටය. දාන දාන එකේ රෙද්ද හැට්ට සරං ඇඳන් හෝසෙට නැකත් චාරිත්‍ර කවි ගැන කියමින් නැටුම් ක්‍රීඩා කරමින් පට්ට ගැමි චරිත මෙච්චර කල් කොහේ හිටියදැයි සිතේ. එකිනෙකා පරදන අමුතු අමුතු අවුරුදු සැමරුම් සංවිධානය කරන උන් නොකරන දෙයක් නැත. පොඩි උන්ට, ලොකු උන්ට, ගෑණුන්ට, ඇමතින්ට, නලුනිලියන්ට, වැඩිහිටියන්ට වෙන වෙනම උත්සව තබන ඔවුන් ඒවාට කොහොම වියදම් කරන්නේදැයි ප්‍රශ්ණයක් නැත. එහෙත් ඔවුන්ම විවිධ ආපදා අවස්ථාවන්වල අසරණ වන මහජනතාවට සරණ වීමට පෙරළා අපගෙන්ම මුදල් භාණ්ඩ එකතු කිරීමනම් ප්‍රශ්ණයකි. දවස් දෙකක් තුනක් එක හුස්මට අවුරුදු මතක් වී නටන චැනල් වල උන්දැලාට රංවල බලකාය ආයෙත් මතක්වෙන්නේ මීළඟ අවුරුද්දේය.

කරන්නට දෙයක් නැත. සියල්ල මවාපාන මේ රටේ අවුරුද්දද තනිකරම මහා මවාපෑමක් බවට පත් වී ඇත. ඉස්සර වගේ අවුරුදු නැතැයි අපිට හැඟේ. එය එසේදැයි දැන් දරුවන්ගෙන් දැනගත යුතුය. ඔවුන්ට තේරෙන  අවුරුද්ද මරුනං අපගේ මතය වැරදිය. මොනා කිව්වත් රෙද්ද හැට්ට ඇඳන් පොල් අතු පැළක් තුළට වී කවි කියා ගමක් මැවීමම මායාවකි. ඒ මේ ඇන්දවීම්, බොරු ගෙතීම්, හම්බකිරීම් අතරේ අවුරුද්දේ සැබෑ අර්ථය යට ගොස් ඇති බව පමණක් දැනේ. එය මොකක්දැයි සොයාගැනීම අපටත් දැන් අපහසුය.. කෙසේ වෙතත් කොහාගේ හඬ රේඩියෝවෙන් අසා, ටීවි එකේ අවුරුදු ක්‍රීඩා ටිකක් බලා, රතිඤ්ඤා පත්තු කර, අලුත් ඇඳුම් ඇඳ, බිස්කට් කා, මොණර කොළ හුවමාරු කිරීම අවුරුද්ද නොවන බව අප දැනගත යුතුය.

No comments:

Post a Comment