Menu

Wednesday, March 11, 2020

Exam Results...

A/L results out වෙනවා කියලා දැනගත්ත මට මගේ ජීවිතේ වෙච්ච එක කුජීත සිද්ධියක් මතක් වුනා. කුජීතයි කියන්නෙ ඉතිං වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති චාටර් වැඩක් මේක.

අපේ ගෙදර තිබුන කමියුනිකේෂන් එකක්. දන්නවනෙ ඉතිං විභාග ප්‍රතිඵල නිකුත් වෙන කාලෙට හෝසෙට සෙනඟ. අනිත් කමියුනිකේෂන් වගේම අපේ එකටත් හෙන සෙට් එකක් බහිනවා ප්‍රතිඵල බලන්න. 

ඉතිං මේකයි කතාව. හා හා පුරා කියලා මාත් ලිව්වනෙ උසස් පෙළ. ආයෙ ඉතිං දන්නවනෙ සුපිරියටම පාඩම් කරලා, ටක්කෙටම ෂෝට් නෝට් ගහලා, අම්බානට පාස් පේපස් කරලා විභාග කරන සිරිතක් අපේ නෑනෙ. පංතිනං පංති, ගෙදර නං ගෙදර, ඉස්කෝලෙනං ඉස්කෝලෙ කොහෙ හිටියත් පොතේම ඉන්න එක අපිට දිරවන්නෑනෙ. ඉතිං කෙලියෙම පිස්සු තමයි. කෙල්ලො දිහා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවෙ. ඉගෙනීම ආගමක් විදියට සලකලා දවසට තුන්වරක් දත්මැදලා කරපු පාඩම් වල අති ශෝචනීය ප්‍රතිඵල නිකුත් වෙන්න යනවයි කිව්වම කොයි තරං උනන්දුවෙන්, ආසාවෙන්, ජුජුබ්සාවෙන් බලං හිටියද කියනවනං ආතල් එක කන් දෙකෙන් බේරෙන්න අහගන්න වෙන එක මතක් වෙද්දිත් කකුල් දෙක මැඩ්ලින් ගහන සයිස් එකක් තිබුනෙ.  ඒතරං දරුණු, සිත්ගන්නාසුලු, ශෘංගාරාත්මක ඉගෙනීමේ හැකියාවක් තිබුනු කොල්ලො අපි.


ඔන්න ඉතිං ඒ ඓතිහාසික දවස උදාවුනා කියමුකො. කමියුනිකේෂන් එකේ අයිතිකාර පදවිය හිමි පියාණන්ට පිං සිද්ධවෙන්න ප්‍රතිඵල එළිබැස්ස උදැහැනැක්කෙම කුකුලත් අතෙන් අරන්... ආ නෑ නෑ ඉන්ඩෙක්ස් නම්මරේ අතින් අරන් අම්මයි තාත්තයි කඩේට ගියේ හරිම මුස්පේන්තු හැඟීමකින් කියලා කඩේ හිටපු අනිත් අයටත් තේරුණා මයෙහිතෙ. ඒ තරං සුපිරි ට්‍රැක් රෙකෝඩ් එකක් හිමි පුතයෙක් මං.

අයියා කට්ටිය එතනට ආවට පස්සෙ අම්මගෙන් නම්මරේ ඉල්ලගෙන ඉන්ටනෙට්ටුවේ කී බෝඩ් එකෙන් කොටද්දි මගේ පපුවට කටුවකින් කොටනව වගේ හැඟීමක් කංකාල පේශි හරහා ගියේ මං bio කරපු නිසාම වෙන්නැති.

එන්ටර් එක ගහලා ඒකාලෙ තිබුනු අන්තර්ජාල වේගය නිසාම පේජ් එක ලෝඩ් වෙන්න විනාඩියක් විතර යනවා. එතකං කැරකි කැරකි තියෙන මවුස් පොයින්ටරේ ජීවිත කාලෙම කැරකි කැරකි තිබුනනං කොච්චර ආතල්ද කියලා හිතෙන්න ගන්න කොටම මෙන්න යකෝ ආවා ප්‍රතිඵල.

මට හික් ගෑවුනා. බී දෙකයි සී එකයි. මං ඇස් දෙක පිහදාලා, දෙපාරක් උඩ පැනලා, කන්දෙකත් ගසලා දාලා ආයෙත් බැලුවෙ මට නිට්ටාවටම ඒක මගේමද කියලා අදහගන්න බැරිවෙච්ච නිසා. තාත්තටත් ෆුල් හැපි. අම්මට පහකුත් දාලා වටේ හිටපු අය දිහාත් උජාරුවෙන් බලලා මටත් තට්ටුවක් දාලා "මං හිතුවා" කියලා කියද්දි මට ඇඬෙන සයිස් සතුටක් ආවෙ.

මං කෝකටත් ආයෙත් ප්‍රතිඵල දිහා බැලුවෙ ආයෙත් අංකෙ චෙක් කරන ගමන්. කෙලියා තාප්පෙට කියහංකො. අංකෙ මගේ එක නෙවෙයි. කලිං ප්‍රතිඵල බලපු එකෙක්ගෙ එකක් ආයෙත් ලෝඩ් වෙලා. මං ඒක දැක්කට මොකද කියාගන්න කට ඇරගන්න තියා මෙච්චර කල් කතාකලේ කටෙන්ද කියලවත් හිතාගන්න බැරුව හිටියෙ. ඕන කෙහෙල්වත්තක් පාරෙ යන්න කියලා හිතාගෙන ලැජ්ජාව පැත්තකින් තියලා මං කිව්වා නම්මරේ වැරදියි නේද ආයෙත් චෙක් කරලා බලන්න කියලා.

අම්මටසිරි අයියත් දඩ බඩ ගාලා ඒක මකලා අම්ම දුන්නු නම්මරේ ආයෙත් කොටද්දි මට දැනුනෙ මොනවගේ හැඟීමක්ද කියලා කියන්න වචන තාම හොයාගෙන නෑ. කලින් විනාඩියක් ගත්ත ඉන්ටනෙටුත් මට කෙලවන්න හිතාගෙන පේජ් එක ලෝඩ් වුනේ හූ කියාගෙන.

අන්න ප්‍රතිඵල. ඒකනං මගේමයි කියන හැඟීම මගෙ පුංචි මොළේට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එෆ් දෙකයි එස් එකයි. මොන එහෙකට ඒ එස් එක ආවද කියලා මං දහ අතේ කල්පනා කරද්දි අපේ තාත්තා වොලී බැස්ටියන්ගෙන් පටන් අරන් බයිලා සැන්ටි වෙනකල් විතරක් නෙවෙයි මිල්ටන් මල්ලවාරච්චිගෙ පවා රැප් ගායනා සිහි කරා විතරක් නෙමෙයි මං කල කී නොකී දෑ ගැන මල් සිංදු මගෙ දෙසවන් සිසාරා රැව් පිලි රැව් දෙන්න සැලැස්සුවා.

කුජීත දෙයක් දෙයක් පට්ට කුජීතව ප්‍රකාශ කරන ආකාරය ගැන ප්‍රායෝගිකව කියාදුන් අයියාට හද පතුලෙන්ම ස්තූති වන්ත වෙන ගමන් එතනින් චුත වුනු මට ආයෙ හිටපු ඉස්කෝල, ගියපු පංති විතරක් නෙවෙයි හිටපු යාලුවොත් සේරම අලුතෙන්ම හොයාගන්න තැනට වැඩ සිද්ධ වෙන්න සතියක්වත් ගියේ නෑ. මෙවර විභාග ප්‍රතිඵල බලන උන්ට එවන් අකල් චරිත ඝාතන සිදුනොවේවායි මාගේ ඒකායන ප්‍රාර්ථනයයි..