Menu

Tuesday, July 2, 2019

හෙළ දේශපාලන හෙලුව


මෙතුවක් කල් දේශපාලනය දෙස පිටතින් බලා සිට කිසිවක් නොකියා ඉඳීමට හේතුව මම මේ මඟුල ගැන මෙලෝ හසරක් නොදන්නා නිසා බව මුලින්ම කිව යුතුය. අදටත් ඒ දැනුම එසේමය. නමුත් අද ඊයේ දුටු පාර්ලිමේන්තුවේ උන්ගේ ආතල් දැකීමෙන් පසු මට මීට වඩා මේ රෙද්ද තේරෙන බව පසක් විය. එය දේශපාලනය නොවේ. සාමාන්‍ය දැනීමයි. එහෙව් දැනුමක්වත් නැති වුන් රඟන දෙස නිකං බලා ඉන්නට බැරි තැන ලියමි.
මුලින්ම මහින්ද දෙස බලමු. එදා 2015 පරාජයෙන් පසුව තේජාන්විතව ගෙදර යාමට තිබූ හෙතෙම මේ නාමින් සිටින්නේ එක එකා ඇද දෙන ගොම බාල්දි බව දැන්වත් නොතේරෙන්නේ ඔහුට ඇති අරමුණ තම පුතු ජනාධිපති කරවීම නිසා විය යුතුය. එය පිටින් බලා ඉන්න ඕන හරකෙකුට තේරෙයි.
අනෙක් පසින් ඡන්ද පරාජයේ ගිනස් රෙකෝඩ් ගහන රනිල්ද මේක අස්සෙම කිච වීම පුදුමයකි. කා සමඟ හෝ පූට්ටු වි ගොඩයාමට වෙර දරන මේකාට මේක හරියන්නෙ නැති බව තේරුම් කිරීමට වයිමා ආවොත් ඌත් එක්කත් හවුල් ආණ්ඩුවක් හදනු ඇත.
අනුර ගැන කියන්න අවශ්‍ය නැත. දැනටමත් එහෙම පක්ෂයක් නැත.
තත්වය ඉතාම ශෝචනීය වන්නේ පාර්ලිමේන්තු බහුතරයක් නොමැති මහින්දත් මහජන බහුතරයක් නොමැති රනිලුත් මේකට පොර කෑමයි. මේ දෙකම නැතුව රට කෙසේ කරන්නදැයි ප්‍රශ්ණයකි. පාර්ලිමේන්තු ඡන්දයකදී යටිගිරියෙන් කෑ ගසා එය කල් දැමීමට වලිකන උන් මහින්දවාදීන්ට හරිය. ඒ කෑ ගහන අතරතුර විශ්වාසභංගයක් වැනි ඉතාම තීරණාත්මක තීරණයක් විනිශ්චය කිරීම රනිල් වාදීන්ට හරිය. දෙකම වැරදි බව මුන් කවදා තේරුම් ගනීද?
මීට ප්‍රධාන හේතුව ලෙස අප රටේ පවතින ආර්ථික සමාජීය කාරණා දැක්විය හැකිය. රටක පුරවැසියාගේ ප්‍රාථමික අවශ්‍යතා ලන්සු තැබිය හැකි තාක් රටේ කාලකණ්නි දේශපාලුවන් බිහිවීම සිදුවේ. එනම් උන් මේ අසරණ ජනතාවගේ දෛනික කාරණා වලට හා එදා වේලට කෙලිය හැකිතාක් මෙය මෙසේ වනු ඇත. වෙනත් රටක මෙය වෙනස් වන්නේ මොකා පත් වුණත් ඒවා වෙනස් නොවීමයි. රටේ ප්‍රතිපත්ති එක ලෙසම ඉදිරියට යනු ඇත. එම ඉල්ක්ක සපුරණ වැඩ පිලිවෙල පමණක් වෙනස් වේ. අවසානය එකමය. මෙහෙ කරුමය එයයි. එනඑන එකා එකඑක දේවල් කිරීමට යයි. මඟ නවතියි. අනිත් එකා ඇවිත් ආයෙත් මුල සිට තව එකක් පටන් ගනී. ඌත් පරදියි. රට හැමදාම එකතැනය.
ජනතා මතය විහිලුවක් වී ඇත. අද පාරේ වේලෙමින් කට්ට කා මැරීගෙන පත් කරන එකා හෙට පාර්ලිමේන්තුවේ අනෙක් පස වාඩිවෙයි. ඡන්දය දුන් එකාට අහවල් එක හපාගන්න හිතීම සාමාන්‍යය. එවිට හරියි කියන උන් පහුවදා ඌ ආයෙත් අනිත් පැත්තට ගියාම ඒක බලු ලෙස දකී. දෙකම බලුය.
එය පිලිගැනීමට අපරටේ බයි ටොයි දෙගොල්ලන්ම අකමැතිය. උන් ඒ තරමටම ගැති වී හමාරය. මේ පොර ටෝක් දෙන මටත් අඩු වැඩි වශයෙන් වරින් වර හිතට එන ජානගත පක්ෂපාතීත්වයක් කෙසේ ඇතුලුවූවාදැයි සිතිය නොහැක. එවිට බලෙන්ම මේක වැරදියි කියා සිතා තම අභිමතයට විරුද්ධව අදහසකට ඒමට උත්සාහ කරන්නේ එම ගැතිභාවය වැරදි බව දන්නා නිසාය.
මේ රටේ අති බහුතරය එය කෙසේ වටහාගනීද? පාට පක්ෂ අනුව හරිවැරුද්ද තෝරණ දවස නැවතුන දාක රටට වැදගත් දේශපාලකයන් පත්වනු ඇත. තව පරම්පරා 3ක් පමණ ඉදිරියේදී මෙය වීමට නියමිත බව මගේ හැඟීමයි. මේ ආකාරයට දිනෙන් දින පාර්ලිමේන්තු මඩ ගොහොරුවේ අනාගෙන ෆ්‍රයිඩ් රයිස් කන ගොන් රෑන එපා වන දිනය ඉක්මණින්ම උදාවනු ඇත.
රට කරවීමට නිමවා ඇති ව්‍යවස්ථාවේ රිංගීමට සිදුරු ඇත්නම්,, රටක උගතුන් තෝරන විභාග ප්‍රශ්ණ පත්‍ර වල ඇති වැරදි ගැන කුමන කතාද? අපවැනි රට වල මේ සියල්ල තීරණය කරන්නේ උන් උන් විසින්මය. අපට කල හැක්කේ පෝලිමෙන් ගොස් ලබාදෙන කොල කැබැල්ලක කතිරයක් ගැසීමට පමණය. නමුත් ඉන් එහාට ඒක පස්සේ ගොස් ඒ කතිරය ගණන් කළාදැයි සොයා බැලීමට අපට හයියක් නැත. මේ තරම් ලිඛිතව සුපිරි පණ්ඩිතයින් අතින් නිම වූ ව්‍යවස්ථාවේ වැරදි තුලින් රිංගන උන්ට ඡන්ද පෙට්ටි ටික අතුරුදහන් කිරීම ටොයිස් වැඩකි. උන්ට කල නොහැක්කක් නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේය.
දැනට මෙතුල සිටින කිසිම දේශපාලකයකු තමන්ගේ හිතසුව පිණිස නොවී කිසිදු තීරණයක් ගෙන නොමැති බව බයි ටොයි ආදී සියලු පිංවතුන්ට මතක් කර දෙන්නේ මහත් දුකෙනි. උන් උන්ද උන්ට කරගෙන ඇත. අපි අපිද උන්ට කර ඇත. අවසානයේ අපිට සිදුවූ කජ්ජක් නැත. උන් උන්ම සදා වැජඹෙනු ඇත. අපි එළියට වී මරාගනු ඇත.

  

No comments:

Post a Comment