මේක ඇත්තටම හිනාවෙන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි වෙච්ච දේත් එක්ක මේක කියන්නම හිතුන.
වැඩ ඇරිල ගෙදර යන්න නැග්ග බස් එකකට. ඇඹිලිපිටියෙ ඉඳන් යාපනේ යන බස් එකක්. හිතාගන්න පුලුවන්නෙ. යනව ආයි මුකුත් නෑ පණ එපා කියල. වාඩි වෙලා ඉන්න උනුත් ඉස්සරහ සීට් එක බදාගෙන එහාපැත්තෙ එකාව හපාගෙන කකුල් උඩ දාගෙන යන්නෙ. පැයභාගයක් යද්දි හිටපු සීට් සේරම ෂෆල් වෙලා බෙලිකටු මල්ල හෙල්ලුව වගේ ඉස්සරහ හිටපු උං පස්සට ගිහිං පස්සෙ උං ඉස්සරහට ඇවිත් තමයි නතර වෙන්නෙ. කතාව ඒක නෙවෙයි.
කොන්ද ටිකට් කඩාගෙන එනකොට වයසක සීයා කෙනෙක් සල්ලි ගන්න අතේ තිබුනු පොඩි පර්ස් එකකින් සල්ලි අදින්න ගත්ත. ටිකට් අරං ඉවර වුනා විතරයි සීයා එකපාරම නැගිටල අයියෝ ගාගෙන අර හූ කියාගෙන යන බස් එක ඇතුලෙ දඟලන්න ගත්ත. ලඟ පාත උං ඇයි ඇයි ඇහුවට කියාගන්න සිහියක් නැතුව සීට් එකෙනුත් නැගිටල මැද්දට ඇවිත් සෙනඟ මැද්දෙං පෙරලගෙන නැමි නැමි බල බල දෙපැත්තට යනව. සීයා සීට් ඇතුලෙං යනව. ගෑණු අයගෙ කකුල් අස්සෙං මතුවෙනව. බිම බඩගානව. අයියෝ මං ඉවරයි ගානව. සීට් උඩ නගිනව. කකුල් අස්සෙං එබි එබි බිම අතගානව. එක විකාරයයි. වටේම උං ඇයි අංකල් ඇයි සීයෙ ගගා මොකද අහනව. කොන්දට මල. මේකා හතර අතේ බඩගගා බස් එකේ යන එවුන්ගෙං ආතල් ගන්නවද දන්නෑනෙ.
කොන්ද ආවා. සීයව අල්ලගත්ත.
මේ සීයෙ. මොකද වුනේ. මොනාද හොයන්නෙ.
අනේ අයියෝ, ගගා හති ඇර ඇර තාමත් බිම මොනාද හොයනව.
මේ අංකල් හොයන දෙයක් අපිටත් කියන්නකො. අපිත් බලන්න. පොඩ්ඩක් හුස්ම අරන් නැවතිලා කියන්නකො. මටත් හති සීයා පස්සෙ දුවල.
අනේ පුතේ මගෙ රුපියල් 1000ක් බිම වැටුනනෙ. මං මේ ඒක හොයනව.
අප්පට සිරි. කට්ටියටම හික් ගෑවුනා. කොන්ද අර පොතයි පෑනයි තිබ්බ පැත්තකින්. සීයන්ඩී බිය නොවන්න දාහ හොයන සැටි මං පෙන්නන්නං කියල දැන් පොර යනව සීට් අස්සෙං බඩ ගගා. සීට් වල උං කකුල් උඩ දදා අර පැත්තට මේ පැත්තට කිය කිය දාහ හොයනව. කෙල්ලො ලඟ ඉන්න උං ඒ කෙල්ලන්ට මේ සිද්දියෙ වෙන්න පුලුවන් භෞතික විද්‍යාත්මක චලිතයන් ගැනයි භූගෝලීය අසමතුලිතතාවන් ගැන විස්තර කරනව. රටේ ආර්ථික තත්වයේ උච්චාවචනයන් නිර්වචනය කරනව.
කොන්ද කෙල්ලංගෙ ඔලු උඩිං සායවල් අස්සෙං හැට්ට ඇතුලෙං අත දදා දාහ හොයන්න ට්‍රයි කරනව. හැමෝම දැං එකම මිෂන් එකක. බස් එකම ආයි මුකුත් නෑ පුදුකුඩිඉරිප්පු වගේ. කොල්ලො බඩගානව. කෙල්ලො අනේ පව් සීයා ගගා විලාප තියනව. සමහරු පොල්ලෙ එල්ලිලා එහෙ මෙහෙ යනව. දාහ පංති ගිය උංගෙ බෑග් ඇතුලට ගිහිංද බලනව. පර්ස් වලට බැරිවෙලා වැටිලද බලනව. පොත් පෙරලනව. සාක්කු චෙක් කරනව. සීයත් ගේම අතාරින්නෑ වෙව්ල වෙව්ල ඩ්‍රයිවර්ගෙ සරම අස්සෙත් එක්ක දාහ හොයනව. හුලං දිසාව බල බල දාහ ගිය දිහාව හොයන්න ෂර්ලොක් හෝම්ස් ටයිප් එවුං වෙන කොල කෑලි උඩ දදා බලනව. එකම ගිණි විජ්ජුම්බරයයි.
මේ අස්සෙ එකෙක් නිකමට සීයගෙ අතේ තියෙන සල්ලි ටික පොඩ්ඩක් ගණං කරල බලන්නකො සීයෙ හරිද කියල. වැටුන්නැද්ද දන්නෑනෙ.
නෑ නෑ පුතේ මගෙ අතේ ටිකට් ගත්තු දාහට අමතරව තව දාහක් තිබුන ඒක තමා වැටුනෙ.
කෝකටත් අරං බලන්නකො කිව්වම සීය ඇරිය අර පං මල්ල. යකෝ මෙන්න දාහක් තියෙනව දිලිසි දිලිසි.
හත්වලාමෙ කොල්ලො මේ තියෙන්නෙ බං රුපියල් දාහ. වැටිල නෑ නොවැ.
බස්සෙකේ සේරම මූණට මූණ බලාගත්ත. කොන්ද කොහෙද ඉඳං දූවිලි නාගෙන ඇන්ටි කෙනෙක්ගෙ කකුල් දෙකක් ඇතුලෙං එලියට ආවෙ පරණ විසිකරපු ටිකට් එකක කෑල්ලකුත් හපාගෙන. පොරව දැක්කම සීය හරි හරි පුතේ හම්බුනා කිව්වම ඒකගෙ ඇස් වලින් ඩොලර් පැන්නෙ ඩොලර්..
අර බර්නුලි ප්‍රමේයන්, චලිතය පිලිබඳ නිව්ටන් නියම අරව මේව කියපු උං බිම බලාගෙන මුකුත් දන්නෑ වගේ ඉද්දි වටේම ගෑණු දැරිවියො ඇන්ටිල එහෙම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි "හරි නෝටි අනේ මේ අංකල්" වගේ මූඩ් එකක ඉස්සරහ බලාගෙන බහින තැන එනකල් ඉවසිල්ලක් නැතුව ෆෝන් එක දිහාම බලාගෙන හිටිය. මං බහින තැන ආපු නිසා මාත් හිමීට බැහැල ආවා. තව පොඩ්ඩෙං අරුං යාපනේට යනකල්ම දාහ හොයනව.
No comments:
Post a Comment