Menu

Friday, June 21, 2019


සමහරුන්ට වැස්ස මරුය. වැස්ස දිහා බලාගෙන ඉස්තෝප්පුවට වී ප්ලේන්ටියක් බීමෙන් මාර ආතල් එකක් සමහරෙක් ගනී. තවත් සමහරෙක්ට එය ආශිර්වාදයකි. තවකෙකුට එය ආදරණීය හැඟුම් පුබුදුවයි. ඔය මොකාට මොන මඟුල පුබුදුවත් මටනම් වැස්ස අජූතය. එයට හේතු ඇත.

වැස්සක් වහින්නේම මට මොකක්හෝ වැඩක් ඇති දවසකමය. ඉඳලා හිටලා හරි චොර හැත්තෑවක් වෙන්න වහින්නේ කුඩයක් තියා අසල කඩයකවත් නැති දවසටය. වැඩට යන හා ආපසු එන වෙලාවට මොර සූරන වැසි වැටේ. ඔෆිස් එකට පා තැබූ සැණින් ඒ වැස්ස පාටක්වත් නැති වෙන්නේ හරියට වැස්ස අපිට කෙලවන්නම වැස්සා සේය. වැල නොකැඩි එන කස්ටමර්ස්ලාට වැස්සක් තියා පොදයක්වත් නැත. වැස්සත් නොතෙමී ඉන්නට ලඟම තියෙන අපේ ඔෆිස් එක ඔවුන්ට කදිම අස්වැසිල්ලකි. සපත්තු චොරු පනින්නට, ඇඳුම් ඇඟේ ඇලෙන්නට, මූණු දිගේ ජෙල් බේරෙන්නට වහින වැසි මැද තරමක සැනසිලි දවසක් වේ යැයි සිතා ඔෆිස් එකට ගොඩ වූවද එදාට වෙනදාට වඩා කෙලවෙනු ඇත.

දිනන්න පුලුවන් මැච් වලට වහින වැස්ස, නුවර එළියේ ගිය විට වහින මස්තබාල්දු වැස්ස, බස්එකේ ජනේලයෙන් විත් උන් හිටි තැන් අහිමි කරන වැස්ස, ඉඳලා හිටලා organize කරන tournament වලට වහින වැස්ස, කෙල්ල හම්බවෙන්න යද්දි කුඩ කඩං වැටෙන්න වහින වැස්ස, ට්‍රිප් වලට වහින වැස්ස, නසරානි හුලං පාරකුත් එක්ක කඩං වැටෙන දොඹ සයිස් වැස්ස වැනි අජූත වැසි වර්ග හේතුවෙන් මටනං වැස්ස පේන්න බැරිය. 

වැස්සක් වැටුනු විට එයට දුවගොස් පට්ට ආසාවෙන් තෙමීගෙන නටන සිද්දි මා දැක ඇත්තේ ෆිල්ම් වල පමණි. ඇත්ත ජීවිතේනං වැස්සකදී, ඇඟට වැටුනොත් පිච්චෙන තරං ඇසිඩ් වැස්සකදී මෙන් මොකක් හෝ හෙවනකට හූ කියාගෙන දුවයි. වැටුනු වැහි පොදටිකත් ඇඟිලි වලින් පිසදාන්නේ අප්පිරියාවෙනි. එහෙව් වැස්ස ගැන පට්ට රොමෑන්ටික් හා හැඟීම්බරව සාහිත්‍යකරණය කිරීම මටනං තනිකරම බොරුවකි. පොඩි පොදයක පොඩ්ඩක් නැටීම ඉවසිය හැක. ඒත් උන් නටන්නේ හද්ද අකුණු ගහන අනෝරා වැසි මැදය. ඒවා බලන විට මට මතක් වෙන්නේම පසුවදා උන් ඔලුවෙ ඉඳන් පොරවගෙන ලේන්සුවකින් නහය අල්ලන් කිවිසුම් ඇර ඇර ඉන්න සීන් එකකි. මගේ අවුලක්ද දන්නේ නැත.

ඒ මගේ වැසි අත්දැකීම් නිසා විය හැක. හොඳට සෙට්වී කුඩ පටවගෙන රේන් කොට් ඇඳගෙන එන දවසට වැස්සක නාමයක්වත් නැත. වැස්සෙන් කෙලවූ දේවල් මිස වෙච්ච හොඳක්නම් මතක් වෙන්නේම නැත. 

ආ.. එකම එක ලස්සන දවසක පොඩි හීනි පොදයක් නිසා කෙල්ලෙක්ගෙ කුඩයකින් යන්න පොඩී චාන්ස් එකක් ඇවිත් වැස්ස නාමයෙන් ඇරඹුණු පොඩි සම්බන්ධයක්නම් ඇත. එය කෙළවර වූයේ කසාදයකිනි. ඒ කාලේ ඒ වැස්ස ගැන හොඳක් හිතුණද දැන් බැලූ විට ඒ වැස්සත් එදා වැටී ඇත්තේ මට කෙලවන්නටමය. ඒ වැස්ස අනිත් වැසි පරයමින් ජීවිතකාලයම විඳවන තැනට වැඩ සෙට් කර ඇත.

අදත් තවත් කූජිත වැස්සක් වහින දවසකි. එයින් පෙනී යන්නෙ මොනා නැතත් පජාත සිදුවීම් වලින් සපිරි අලුගුත්තේරු දවසක පෙරනිමිත්තක් බවයි.

Have a nice day..

No comments:

Post a Comment