Menu

Friday, June 12, 2020

දෙවනි ඉනිම ගැන..



 දෙවනි ඉනිම ගැන දන්නෙ නැති අයට දැනගන්න මේ දේවල් ටික දාන්න හිතුවෙ. තණමල්විල කොලලෙක් එකේ දර්ශණ සැකැස්ම ගැන මහ ලොකුවට කියවන කිසිම කෙනෙකුට මේ දේවල් පෙනුනෙ නෑ. එක්කො හරියට බැලුවෙ නෑ. ඒ නිසා මේ ටික දාන්න හිතුවෙ. 

නිකමට බලනගමන් නවත්තපු තැන් කීපයක් මේ. ඒවයෙ තේරුම බැලුවාම තේරෙයි සමස්ථයක් විදියට ඒ නාට්‍යය කොච්චර දියුණුද කියල.


මුලින්ම ගැරේජ් එකේ අනුහස් එක්ක දෙව්මිගෙ තාත්තා කතා කරන එක බලමු. මෙතන පේනවද අනුහස් හේත්තු වෙලා ඉන්න වාහනේ බොනට් එක ඇරල තියෙන්නෙ. ඒත් ආනන්ද හේත්තු වෙලා ඉන්න එක වහල. බලන්න අනුහස්ගෙ විවෘත බව කොච්චර අපූරුවට පෙන්නනවද කියල. එතනොට කවුද ඒ බොනට් එක ඇතුල හදමින් ඉන්නව. එකෙන් අනුහස්හෙ විවෘත හිත කවුරුන්හරි මේ වෙද්දි හදමින් ඉන්න බව පෙන්නුම් කරනව. ගොඩක් සංවේදී කාරණවක්. ඒත් කීයෙන් කී දෙනාටද අනුහස්ගෙ ඒ වේදනාව තේරෙන්නෙ. 

තව අනුහස් ගෙ පිටිපස්සෙ බිත්තියෙ තියෙන රූපෙ. මයිකල් ජැක්සන්. අතිවිශිෂ්ඨ දක්ෂයෙක්. හැම අතින්ම පුදුම හැකියාවන් රාශියකින් පරිපූර්ණ කෙනෙක්. ඒ මුහුණ මතට අනුහස්ගෙ රූපෙ අතිපිහිත කරමින් මේ මොකක්ද කියන්න උත්සහ කරල තියෙන්නෙ. ඒ තරම්ම අති විශිෂ්ඨ හැකියාවන්ගෙන් පිරුණු තරුණ අනුහස්ගෙ ප්‍රතිරූපය. ඉතාම සුවිශේෂී භාවිතාවක්.

පිටුපස දෙන්නෙක් වැඩ කරමින් ඉන්නව. හරියටම අනුහස්ට හා ආනන්ද මැදින්. බලන්න ඒකෙන් ඉතාම පැහැදිලිව පෙන්නනව මෙතන කතා කරමින් ඉන්නෙ දෙන්නෙක් ගැන කියල. හඬ ඇහුනෙ නැතත් ඒක ඉතාම සරලව ගම්‍ය වෙන විදියට පෙන්නල තියෙනව. අතිවිශිෂ්ඨයි අධ්‍යක්ෂකතුමනි.

*****

මීලඟට අපි බලමු උදේනි අම්මා කුස්සියෙ උයමින් ඉන්න දර්ශණය. දකුණු අත පැත්තෙන් අපිට පේනව දොර දෙකේ ශීතකරණයක්. දොරවල් දෙකම වහල. බලන්න උදේනි අම්මගෙ හිත කොයිතරම් අපූරුවට ඒදේ හරහා පෙන්නල තියෙනවද කියල. ඒවා සියල්ල අමතක කරල වහලා දාලා ඉන්න උදේනි අම්මා කොච්චර ශක්තිමත් කෙනෙක්ද.

ටිකක් හිතල බලන්න. මේ කතාවෙ කිසිම තැනක මේ ශීතකරණය විවෘත කරනව අපිට පෙන්නන්නෑ. ඒ තරම්ම ඒ දේවල් අත්හැරල දාලා තියෙන්නෙ. අතීතය කියන්නෙ අතීතයම තමයි. දැන් බලන්න මේ මොනාද කපමින් ඉන්නෙ. එළවලු. මස් වගේ දෙයක් කපනව පෙන්නන්න තිබුන. නෑ. අධ්‍යක්ෂකවරයට අවශ්‍යයි උදේනි අම්මා කොයිතරම් සියුම් හිතක් තියෙනවද කියලත් ප්‍රේක්ශකයට දෙන්න. ඒ එළවලු කපන්නෙත් ලොකු දුකකින් කියල ඔයාලට උනත් පේනව ඇති. තව මේ වට පිටාවෙ දේවල් වලින් අපිට තව මොනතරම් දේවල් කියා පානවද.

හොඳට බැලුවොත් පේනව ගෑස් එක ලිපට සම්බන්ධ කරලවත් නෑ කියල. උදේනි අම්ම අවන්තගෙයි දෙව්මිගෙයි සම්බන්ධෙට තියෙන අකමැත්ත වගේම මේ පවුල් දෙක බේරගන්න අම්ම කෙනෙක් විදියට ගන්න උත්සාහය ව්‍යංගව පෙන්නල තියෙනව. ලිප් දෙකක් තියෙන ගෑස් කුකර් එකේ එකක විතරක් භාජනයක් තියල අනුහස් හා අවන්ත කියන දෙන්නම හිටියත් එයාට දැන් ඉන්නෙ අනුහස් විතරයි කියන එක පැහැදිලිව පෙන්නනව. කොයිතරම් සූක්ෂම යෙදීමක්ද. පෙනේරය එල්ලල තියෙන තැන උදේනි අම්මගෙ හිසට වැදුනු යගදා පහර සංඛේතවත් කිරීමක් වෙන්න පුලුවන්. කොයිතරම් නිර්භීත කාන්තාවක්ද.

*****

ඊලඟට අපි බලමු අක්ෂව ලිහිණි හම්බවෙන දර්ශණය. ඉතාම අඳුරු වටපිටාවක්. වාහනයට පිටුපසින් එක තැනක ලොකු එළියක් දකින්න පුලුවන්. ඒක එළියකට වඩා තියුණු අකුණු පහරක් විදියටයි පේන්නෙ. අක්ෂගෙ ජීවිතේ කලින් තිබුණු මහ අඳුරු බව හා මොකක්දෝ ඛේදවාචකයක නශ්ඨාවශේෂ තමයි මේ පෙන්නුම් කරන්නෙ. ඒක මහ කාලකණ්නි හැඟීමක්.

ඉදිරිය පැහැදිලියි විතරක් නෙවෙයි දැන් හිටගෙන් ඉන්නෙ වාහනේ ලයිට් දෙකට හරි මැදින්. මෙයින් අනුහස් හා අවන්ත නිරූපණය වෙනව වෙන්නත් පුලුවන්. ඒ තරම් ආලෝකයක් ඉදිරියේ තමයි දැන් අක්ෂ ඉන්නෙ. එතකොට ලිහිණි. තනිසීරුවට හිටගෙන ඉන්න ලිහිණිගෙ පිටුපස තියෙන ඒ මැළවිච්ච ගස් වැල් වලින් ඇගේ ග්‍රාමීය වටපිටාව මැනවින් නිරූපණය වෙනව. ඒක සුවිශේෂී යෙදීමක්.

ඒත් ඉදිරියෙ තියෙන්නෙ තාප්පය. බාධක ගොඩකට පුහුණ දෙන්න වෙයි. ඉතාම සූක්ෂමයි. අනේ දෙයියනේ ලිහිණිට ඉස්සරහට මොකක් වෙයිද. මොකක්වුනත් අනුහස් එයි එයාව බේරගන්න. අර පැළ අතරින් මතුවෙලා තියෙන කොළපාට තනි ගහ ඒක හොඳටම පැහැදිලි කරල දෙනව.

තව කොහෙන් නැවැත්තුවත් හිතාගන්න බැරි විදියෙ රුපරාමු භාවිතාවන් රාශියකින් පරිපූර්ණ මේ නිර්මාණය පුරාවටම බලාගන්න පුලුවන්. කොහොම මේ විදියට මේ දේවල් හිතනවද කියන එකත් ඇත්තටම පුදුමයි. එකතමයි රචකයාගෙ වගේම ඒ අධ්‍යක්ෂණයේ තියෙන සුවිශේෂීභාවය. හැබැයි මේ දේවල් හරියටම අල්ලගන්න පුලුවන් නියම දෙවනි ඉනිම ප්‍රේක්ශකයන්ටම විතරයි.

#devaniinima #tvderana #anuhas #awantha #dewmi #raveen #derana #devani_inima

No comments:

Post a Comment