Menu

Thursday, September 24, 2020

බීම..

 


බොන්න කලිං.. 👨🏻‍💼 Gentlemen mode

මචං අදනං කලින් පටන් ගන්නෝනි. 5ටවත් හරි. වැඩ සේරම සටපට ගාලා ඉවර කරල. කලින් පටන් අරන් කලින් ඉවර කරමු. රෑ වෙන්න බෑ මචං. 6 වෙද්ද බැබලි බැබලි ඉන්න ඕන මචං. බයිට් පැකට් එකයි බිත්තර ඔම්ලට් එකයි ඇතිනෙ. හතරදෙනත් එක්ක එක බෝතලයක් ගැහුව. 7 බස් එකේ ගෙදර ගියා. සිංදු කිය කිය නට නටා රෑ වෙන්න බෑ මචං. ෂේප් එකේ ගැහුවා ගෙදර ගියා. මරුනෙ බං. කාටවත් කරදරයක් නෑ. සල්ලිත් ඉතුරුයි.. එල..

ටිකක් බිව්වම.. 🦸🏻‍♂️ Superhero mode

කොහෙද මචං උඹලත් එක්ක බෑනෙ. 5ට කිව්වට 7යිනෙ පටංගද්දිම. මූ ආවෙ 8ටත් කිට්ටු කරල. අවුලක් නෑ. හැමදාම බොන්නෑනෙ. බොනඑක හොඳට බොන්නෝනි. දෙවනි බෝතලෙත් තව ටිකයිනෙ. අවුලක් නෑ තව භාගයක් ගේමු. මදිනෙ බං. සිංදුවක් කිව්වෙත් නෑනෙ හරියට. ආතල් එකක් දාලම යං. ත්‍රීවිල් එකකම යමං. හැමදාම නෙවෙයිනෙ බං. BBQ චිකන් එකකුත් ගෙනෙං. සල්ලි එකතු කරපං. ආ මේක ගනිං. උඹල ඉතිං බොක්කෙ සෙට් එකනෙ මචං. ආයි ඉතිං බොනඑක අතදිගෑරල බොන්නෝනි. මචං තව සුපිරි නම්බරයක් අල්ලපං කලිං වගේ..

පහුවදා... 🧟‍♂️ Zombie mode

අප්පා බං.. මොකක්ද බං ඒ ජරාව. තාම කැරකෙනව යකෝ. තෝ තමයි පරක්කුත් වෙලා. තව භාග තුනක්ද හතරක්ද ඉවරයි. ආයිනං මාස දෙක තුනකට බොන්නෑ මචං. මං හිතන්නෙ මට 3000ක් විතර ගියා. ගෙදරට යද්දි කීයද මංද බං. එහෙම්ම ඇඳං වැඩට ආව. ගිය විදියක් ආව විදියක් මුකුත් දන්නෑ. තොපි ආයිනං මට කතා කරන්න එපා. මල ජරාව බොන්න. ඩෙක්ස්ට්‍රෝස් එකකුත් ගැහුව. ඒත් අවුල් තැඹිලි ගෙඩියක්වත් බොන්නෝනි.. පාප මිත්‍රයො ආශ්‍රය කරනවට අපිට ගහන්නෝනි. මොනාද බං අර කිව්ව සිංදු. චිඃ විතරක් කටේ තියන්න බෑ. ආයිනං බොන්නෑ තොපිලත් එක්ක..

Moral 🤔🤔

අරක්කු වලින් මුදලේ වටිනාකම, කාලයේ වේගය, යාලුවන්ගේ ස්වරූපය, ගෙදරට ඇති බිය, සංගීත රසාස්වාදය ආදිය ගැන හැඟීම් මුලුමනින්ම කනපිට පෙරලයි.

Friday, September 11, 2020

ඓතිහාසික ලංකා සංචාරක දූපත 😳

 

අනුරාධපුරේ පොළොන්නරුවෙ ආපු හැම වෙලාවකම මට හිතුනු දෙයක් තමයි මිනිස්සු මේ දේවල් තනිකරම වැරදියට අල්ලගෙනද මන්ද කියල. මේ අටමස්ථාන, පුදබිම්, සංස්කෘතික වටිනාකම් දීලා මේ ප්‍රදේශ හදපු ඇත්ත හේතු යට ගහල එක එක්කෙනාගෙ දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදාගෙන කියල.

නිකමට හිතුවොත් මේ අනුරාධපුරේ කියන්නෙ ඒකාලෙ තනිකරම අර සිංගප්පූරුවෙ සෙන්තෝසා අයිලන්ඩ් වගේ සංචාරක පුරවරයක් කියල. තැන් තැන් වල ඉදිකරල තියෙන මේ චෛත්‍ය, පොකුණු, වැව්, ගොඩනැඟිලි වගේ දේවල් වල තිබිල තියෙන්නෙ එක එක ඇක්ටිවිටීස්. ඒව වෙන වෙනම ඇට්‍රෑක්ටිව් ඉවෙන්ට් තිබුනු අමුතු තැන්. අපි මේ සුදු ඇඳගෙන, මල් තිය තිය, වැඳ වැඳ යන්නෙ ඉස්සර ලෝකෙ වටේ මිනිස්සු සතියක් දෙකක් අරන් ඇවිත් නතර වෙවී, කාලා, බීලා, නාලා හෙනම රිලැක්ස් වෙච්ච සිරාම ඇඩ්වෙන්ච' පැරඩයිස් එකක නෂ්ටාවශේෂ උඩ වෙන්න බැරිද.

අපි ඔය රෙදි වටේ ඔත ඔත පුද පූජා පවත්වන අභයගිරිය, රුවන්වැලිසෑය, ථූපාරාමය වගේ චෛත්‍ය කියන්නෙ ඊජිප්තුවෙ පිරමීඩ වගේ අමුතු නිර්මාණ වෙන්න බැරිද. ඒව ඇතුලෙ වෙනම අමුතු අමුතු අත්දැකීම් ගන්න මොනවහරි තාක්ෂණික භාවිතාවක් තිබුන වෙන්න පුලුවන්. සෙන්තෝසා වල යුනිවසල් ස්ටුඩියෝ එක වගේ. වැව්, කුට්ටම් පොකුණ, සත්මහල් ප්‍රාසාද, වටදාගෙවල්, මාළිගා, සීගිරිය කියල දැන් හඳුන්වන තැන් මේ යෝධ සංචාරක භූමියේ මේන් ඇට්‍රෑක්ෂන් පොයින්ට්ස් වෙන්න බැරිද. පස්සෙ කාලෙක මේව මැද්දෙ බුදුපිළිම තිබ්බ වෙන්නත් පුලුවන්නෙ.

එතකොට මේවා අපේ රටේම අය හැදුව වෙන්නත් ඕන නෑ. කවුරුහරි අපිව පාලනය කරපු පිරිසක් අතින් ඉතාම තාක්ෂණිකව වගේම හරිම කලාත්මකව කරපු ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම හිතුවොත් අපේ රට ඒ කාලේ ලෝකෙම මාර ආකර්ශණිය රටක් කියන එක වගේම, දැන් චීන්නු නැතුව පාරකට තාර දාගන්නවත් බැරි අය කොහොමද එහෙම ඒව කලේ කියන එකත් සාධාරණීයකරණය වෙනව.

කොහොමවුනත් ඒ කාලේ මේ සිරා සිද්ධි අත්දැකපු එකෙක් (ටයිම් ට්‍රැවල් කරල හරි) බැරිවෙලාවත් මේ කාලේ අනුරාධපුර පොළොන්නරුව වගේ පැති වල නිකමටවත් ආවොත් "යකෝ අපේ 10D ස්ටා' ගේට් යුනිට්ස් වටේ රෙදි ඔත ඔත, ඩයිනෝ ඇරීනා වල හඳුන්කූරු පත්තු කර කර, වෝට' ඇඩ්වෙන්ච' ඒරියා වල බාල්දි වලින් නනා, ම'කරි එයාක්‍රාෆ්ට් යාඩ් වල මල් තිය තිය දණගහගෙන මේ යක්කු මොන මඟුලක් කරනවද දන්නෑ" කියල පු#$0 හිනාවෙයිනේ.

මෙහි ඇති නම් ගම් සියල්ලම මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..


Wednesday, September 9, 2020

ලෝක ළමයි..


 ලෝක ළමයි..


අවංකවම සිනාවෙන්නේ කිරිදරුවන් පමණි. ටික කාලෙකට කලින් අහපු එකක්. මොකා කිව්වත් ඒක කිව්වත් පට්ටපල් බොරුවක්. උන් තරං සටකපට, කෛරාටික, අණ්ඩපාල ඩයල් ලොවෙත් නැත. බොරුවට අඬන්න, මංඤාවට හිනාවෙන්න, වාසියට හුරතල් වෙන්න දන්න උන් තවත් නැත. මේ තත්පරයේ කඳුලු පෙරෙන්නට අඬන එකාම ඊලඟ තත්පරයේ හක හක ගා හිනාවෙන්නේ කිසිම හැඟීමක් නැතිවය.


පොඩි උං අමුතුම ජීවීන් කොටසකි. උන්ට හැමදේම තේරෙන්නේ නොපිටටය. එපා කිව්වොත් කරයි. බෑ කිව්වොත් හා කියනකල් බෙරිහන්දෙයි. දෙයක් කරන්න කිව්වොත් කරන්නේම නැත. මේ ලඟදි දවසක අපේ එකා මිදුලේ තියෙන ගල් කැටයක් කන්න හදන බව දැක මා "හා හා ඕව කන්නෑ" කියා සද්දයක් දමා අතේ තිබුනු ගල් කැටය විසකර දමා පොඩ්ඩක් පැත්තකට වුනා පමණය. ආයිත් මං දිහා හොරෙන් බලමින් ගල් කැටයක් අතටගෙන කටේ ඔබා ගත්තාය. මං ලඟට ඇවිත් "ආ ගල්ද? කන්න කන්න බඩ පිරෙනව ඕවට.. කන්න කන්න" කිව්වා විතරයි කටේ ඇති ගල අරන් ඌම විසිකරදැමීය. උන්ට ඕන දිනන්නටය. කොහොම කලත් උන්ට ඕනදේ වෙනකල් ගේම අතාරින්නේද නැත. අනවශ්‍ය දෙයක් නොමැත. 


සෙල්ලං කරන්නට කොයිතරං දේවල් තිබුනත් මදිය. එක දෙයක් පැය භාගයක් අතපත ගගා හිටියාම එපාවෙයි. හැබැයි කවදාවත් එපා නොවෙන ඒවා ඇත. ඒ අපේ බඩුය. ටීවී රිමෝටය, මගේ ෆෝන්නෙක, කා එකේ යතුර, මං තේ බොන වීදුරු කෝප්පය උගෙ ආසම බඩුය. ඒව පහළ මේසයක් මත දුටු විට උට යකා ආවේස වේ. කොහේ හිටියත් අපි හැරෙන්නත් කලින් දුවන් ඇවිත් ඒවා අතට ගෙන කන්න හදයි. ගන්නට කලින් ගොඩදාගත්තේ නැත්තං ආයි ගන්නවා බොරුය. ඒවා ආයි ඉල්ලා ගන්නට මම වඳින්නේ නැති ටික විතරය. මගේ ෆෝන්නෙක බිම දමා ඌ මාර ආතල් එකක් ගනියි. එපා කියද්දිම අතාරින එකෙන් උගේ ආතල් එක ඩබල් වෙනවා වගේය.


කෝල් ගන්න වගේ බොරු ඇඩ් එකක් දමා ටිකක් දුරට ගොස් මං දිහා බලාගෙනම මං ෂාරුක්ට ගහද්දි කෑගහන රාණිමුකර්ජි වගේ "එපා........" කියාගෙන පුටුපෙරලගෙන, දිව හපාගෙන, බිම පෙරලීගෙන ඌ ලඟට එන විනාඩියට ෆෝන්නෙක දෙපාරක් බිමදාන ඌ ඒ මදිවට හිනාත් වෙයි. මං හතරවරං වෙලා දුවන් එන එක උට ස්ලෝ මෝෂන් වෙලා පේනවාදැයි වෙලාවක සිතේ. මං එන දිහා බලාගෙන ඌ එච්චරට හිනාවෙයි. අන්තිම තත්පරයේ බිම අතාරින ෆෝනයේ කෑලි ඇහිඳින මට "අයියෝ.. වැටුනා" යැයි ඌම කියන්නේ නෝන්ඩියට වගේ. දවසකට දහ දොලොස් පාරක් මෙහෙම කිච වෙන එක පුරුද්දට ගිහිංය.


හැට්ට කටු, පිහි, කතුරු වැනි හානිදායක ඕනෑම දෙයකට ඌ ලංවෙන්නේ අපි කෑගසා දඟලන එකේ ආතල් එක ගැනීමටය. ඇත්තටම ඌ ඒවා කැපෙන බව දනී. දන්නෑ වගේ ඉන්නා එකෙන් ආතල් එක වැඩි බවද ඌ දනී. අපි ඌ පිහියට ලංවන විට "අම්මෝ පිහිය ගන්න එපා.. පිහිය අම්මෝ ගන්නෙපා.." කියා කොච්චර කිව්වාද කියනවනං ඌ දැන් පිහියට කියන්නේ "පිහියම්මෝ" කියාය. මොනාකිව්වත් අදටත් ඌ පිහියක් දැක්ක තැන එතනට හිමින් යන්නේ අපිදිහා කෝචොක් එකට බලාගෙනය.


ප්ලග් පොයින්ට් වල ඇඟිලි ගැසීම, ඇඳ විට්ටමේ සිට ගැනීම, වයර් කෑලි කටේ ගැසීම, ජනෙල් ග්‍රිල් එක දිගේ ඉහළට නැඟීම, පඩිපෙල් රේලින් අතරින් පහළ නැරඹීම, සෙල්ලං කාර් උඩ හිටගැනීම උගේ විනෝදාංශයන්ය. උට මම ලැප්ටොප්, ටැබ්, ඩෙස්ක්ටොප්, දුරකතන, ටීවී, රේඩියෝ විතරක් නෙවෙයි කැල්කියුලේටරයක වුනත් වැඩක් කරනවා දැකීම පට්ට අවුල්ය. එවිට ඒක පොරගේ බව මතක් වෙන්නේ ඉබේටමය. ඒක එවෙලේම අත්පත් කරගැනීමට පොළොවේ පස් කෑමට, ඔලුව බිත්තියේ හප්පා ගැනීමට, තමාවම හපා ගැනීමට ඌ දෙපාරක් නොහිතයි.


යංතං නිදිකරවා ඇල්පෙනිති හඬක්වත් නෑසෙන්නට ඉහතකී එකදු හෝ උපරණයක් අතට ගත් සැනින් මේකාට ඉබේටම ඇහැරෙන්නේ හාස්කම් පරාද කරමිනි. උන්ට කරන්ට් එක ගලායන ශබ්දය ඇසෙනවාදැයි මට වෙලාවකට සැක හිතේ. ඒ තරම් ඒවාට සංවේදීය. වැඩ කරන්නේද කරන්ට් එකෙන් වගේය. රෑ දෙගොඩහරි ජාමේ ඇහැරන් ඉන්න විට, ගෙදර උඩුයටිකුරු වන්නට දඟලන විට මුන්ව ඕෆ් කිරීමට ස්විච් එකක් තිබුනානම් කොච්චර හොඳදැයි අනන්තවත් සිතී ඇත.


නිදාගෙන ඉන්නා විට ඇස් ඇර බැලීම, නහයේ ඇඟිල්ල ගැසීම, කනෙන් ඇදීම, පපුවේ මයිල් වලින් ඇදීම, රැවුලෙන් ඇදීම, බඩ උඩට නැග උඩ පැනීම වැනිදෑ උගේ නිදිපරික්ෂාවන්ය. මින් එකක් දෙකක් හෝ සියල්ලම කර බලන මුන් ඒත් අපි ඇහැරුනේ නැත්තං අතට අහුවෙන ඕනෑම දෙයකින් ඔලුවටද කෙලල අරියි. මේ අඩංතේට්ටම් හමුවේ යංතං ඇහැ ඇර බැලූ විට හිනාවී "තාච්චා නිදි.. දොයී.." කියා නැලවීමටද අමතක නොකරයි. උං එච්චරට කපටිය.


තව කීමට දාහක්දේ ඇත. කොහොම කිව්වත් උන්ගේ ඇති මහලොකු අහිංසකකමක් නම් නැත. කරන තරමක් ලේ පුච්චන වැඩ දාහක් මැද එකම එක දෙයක් කොට මනස හිතාගන්නට බැරිතරමට සනසවන මේ යක්කු මොක්කුදැයි මම තාමත් සිතමි. ලොකු වුනාම බලාගන්නං යැයි සිතා සිටියාට උන් ලොකුවන විට අපි නැත.

Saturday, September 5, 2020

සීයගෙ කඩේ.. 👴🏼


 සීයගෙ කඩේ.. 👴🏼


සේරම එකම වහලක් යටන් ගන්න පුලුවන් නිසා ගෙදරයනගමන් ෆුඩ් සිටියට ගිහිං සේරම බඩු ගත්තට මොකද එතන බිත්තර තිබුනෙ නෑ. වෙලාවෙ හැටියට ඇරල තිබුනු කඩේකට ගියේ ඇත්තටම ගෙදරයන්නත් ටිකක් පරක්කු වෙලා වුනත් ඒවා ගෙනියන්නම ඕනම නිසා.


කඩේ හිටියෙ සීය කෙනෙක්. මං යද්දි කලින් බඩු ගත්තු එකාට ඉතුරු සල්ලි දිදී හිටියෙ. ඒ නිසා ඒ ගණුදෙනුව ඉවරයි කියල හිතුනු නිසා මං ඇහුව "සීයෙ බිත්තර තියෙනවද" කියල. මං කිව්ව එක කනකටවත් ගන්නැතුව සීයා අර මනුස්සයට හිනාවෙලා "හරි මහත්තය" කියල හෙමීට පුටුවෙන් වාඩිවෙද්දි ඒ මනුස්සය කඩෙන් එළියටත් ගිහිං තව මීටර් 20ක් විතරත් ගිහිං. එහෙම වාඩි වෙනගමන් හෙමීට "තියෙනවා" කිව්වෙ මටද කියල දැනගන්න කෝකටත් මට වටපිට බැලුන. කඩේ වෙන කවුරුවත් හිටියෙ නෑ. මටනෙ. යකෝ මං ඒක අහලත් විනාඩි 5ක් විතර. දැන් තමයි උත්තරේ හම්බවුනේ. මට හෙන හැපි. "ආ එහෙනං සීයේ මට බිත්තර 10ක් දෙන්නකො" කියල කිව්වා.


ටික වෙලාවක් සද්ද නැතුව හිටපු සීයා දිහා අහිංසක විදියට බලාගෙන හිටපු මං කියපු එක ඇහෙන්නැතුව ඇති කියල හිතලා ආයිත් "සී...." කියනකොටම මෙන්න මේකා නැඟිට්ටා. ඔව් ඔව් මේකා කිව්වෙ සීයට. 


මුදලාලි මේසෙත් ටිකක් විතර ලොකු එකක්. ඒකටම හේත්තු කරල තව දිග මේසයක් දාලා ඒක උඩත් එක එක බඩු වගයක් තියල තිබුන. සීයා හෙමීට මුදලාලි මේසෙ පහුකරගෙන අනිත් මේසෙ වටේට යන අතරෙ නිකං ඉන්න බැරිම තැන මං ඇහුව "සීයෙ බිත්තර කීයද දැං" කියල.. 


කිසි කනකට ගන්නැතුව හෙමීට මේ යකා මොන ලෝකෙක යනවද කියල හිත හිත කඩේ එළියට ඇවිත් බැලුවෙ වෙන කඩයක්වත් ඇරලද කියල. වෙලාව 9ට කිට්ටු නිසා කඩයක ලයිට් එකක් පේන මානෙක තිබුනෙ නෑ. (එහෙමතමයි බං ගම්වල) හිත හදාගෙන ඇතුලට යද්දිත් සීයා අර දෙවනි මේසෙ පහුකරකර හිටියෙ. ඇතුලට යද්දිම සීයා "22ක් වෙනව" කිව්වම මට "ඈ?" ගෑවුනෙ මට මංම අහපු ප්‍රශ්ණෙත් අමතක වෙලා තිබුන නිසා. 


සීය හෙමින් හෙමින් ඇවිත් මුදලාලි මේසෙ අනිත් පැත්ත යට හංගල වගේ තිබුනු පෙට්ටියක් හෙමීට අරගෙන මේසෙ උඩින් තියල අරිනකල් මං කට ඇරං බලං හිටියෙ ඇත්තටම මේ හොයන්නෙ බිත්තරද කියලවත් හිතාගන්න බැරුව. පෙට්ටිය ඇරියම අම්මට සිරි මෙන්න තියෙනව බිත්තර දිලිසි දිලිසි.. සතුට ඉහවහා ගියාට මොකද සීයා හෙමින් ලඟ බිත්තියෙ එල්ලල තිබුනු සිලි කවරයක් අරන් ඒක දිගඅරින හැටිදැක්කම කවරෙ ඇදල අරගෙන හපල හපල ගිලින්න හිතුන. ලොඹු කටෙන් කෙල ඇඟිලි වල ගාගෙන අතේ ඇඟිලි පහ විතරක් නෙවෙයි කකුලෙනුත් කවරෙ අල්ලගෙන පිඹ පිඹ යංතං කවරෙ ඇරගත්ත විතරයි මට "හුරේ" කියලා කෑගහගෙන හෙලුවෙං පාර දිගේ ආකිමිඩිස් වගේ දුවන්න තරං සතුටක් ආවෙ. ඒක එච්චර අමාරුවෙන් කලේ යකෝ.


ඊටපස්සෙ බිත්තර මිෂන් එක. කිව්වට මොකද සීයා බිත්තර එකින් එක අරන් කවරෙන් තිබ්බා ආයි මුකුත් නෑ කිකිළි දැක්කනං ඌත් පුදුම වෙනව. ඒ තරං පරිස්සමෙන්. මං බයේ හිටියෙ දැන් කුකුල් පැටව් එළියට එයි කියල. ඒ තරං ස්ලෝ යකෝ. මගෙ කරුමෙට මං බිත්තර දහයක් ඉල්ලුවට මේ තියන ස්පීඩ් එකෙන් මට බිත්තර දෙක තියෙන කොට ඇති කියල නවත්තන්න හිතුන. එහෙම නවත්තල ගෙදර ගිහිං ඒ බිත්තර දෙක තම්බං කාල ආයි ආවත් දහවෙනි බිත්තරේ කවරෙන් තියන්න වෙන්නෑ මේ යකාට.


මොනාකරන්නද මං දැන් නවත්තන්න කිව්වත් මේකට ඒක ඇහෙන්නෙ තව බිත්තර දෙකක් විතර තිබ්බම. එතකොට කොහොමත් එකයිනෙ. මගේ අත කට ඇතුලට දාගෙන ඇඟිලිටික හපාගෙන කෑගැස්සෙන් නැතිවෙන්න ඉවසන් හිටියෙ වැඩිහීකමට ගරුකරන නිසා. 


එයාගෙ වේගෙට බිත්තර 10 දාලා කවරෙ මගෙ අතට දුන්නෙ කභි කුෂි කභි ගම් එකේ ෂාරුක් අම්ම ලඟට දුවන් එනවටත් වඩා සුපර් ස්ලෝ මෝෂන් එකේ. කවරෙ ඇදල ගත්තු මං ඊට පැය භාගෙකට විතර කලින් අතට ගත්තු රුපියල් 1000 සීයට දික්කරා. ඒක ගැන වගක් නැතුව ආයෙමත් වටමේස සංචාරය පටන් ගත්තු සීයා මුදලාලි පුටුවට එනකල් විනාඩි 8යි තත්පර 42ක් මං අත දික්කරන් හිටියෙ සල්ලි ටික දැන් ගනියි දැන් ගනියි කියල හිත හිත. කොහොමින් කොහොමහරි පුටුව ලඟට ගියපු සීයා හම්මේ ගාගෙන පුටුවෙ වාඩිවුන පාර මට හිතුනෙ පොරගෙ පිලමන්ට් එක ගියා තමයි කියල. හිමීට ලංකරල බැලුවම යංතං හුස්ම වැටෙනව වගේ දැකපු නිසා තව ටිකක් ලංවෙලා 1000 කොලේ අතේ ගෑවෙන්න ලංකරාම හෙමීට ඒක අතට ගත්තම තමයි, මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. 


කරුමෙ කියන්නෙ. බිත්තර ටිකට 220යිනෙ. දැන් මේකා මට 780ක් ගැනල දෙනකල් ඉන්නෝනි කියල මතක් වුනාම අර දුන්නු 1000 ඇදල අරගෙන, බිත්තර ටිකත් අරන් හොරෙක් වෙලා, පාරෙ දුවං ගිහිං පොලිස් ජිප් එකකට නැගල, ලොකප් වෙන්න හිතුන හත්තිලව්වෙ.


බිත්තරයක් හිංද එච්චර චාටර් වෙන්න බැරිනිසා ඉවසං හිටිය. උඹලට කියන්න මිත්‍රවරුනි රුපියල් 780ක් රුපියලේ කාසි වලින් ගැනල දෙන්න යන වෙලාව වගේ තුන්ගුනයක් විතර ගත්ත බං ඒකට. මට බිත්තර එකෙන් එක අරගෙන මේකගෙ ඔලුවෙ ගහන්න තරං කේන්තියෙන් හිටියෙ.


උත්තර දෙන විදියෙන්නං පොර අපිට වඩා ආලෝක වර්ෂ ගාණක් එහායින් ජීවත් වෙන එකෙක් වගේ. සෑහෙන්න වෙලාවක් ගිහිංනෙ ඇහෙන්නෙ. "සීයෙ යන්නං" කියල ආවට මොකද පොර ඕකට උත්තර දෙද්දි ෂුවර් එකටම මං ගෙදරත් ගිහිං. දෙයියනේ කියල ඉතුරු සල්ලි අතට ගත්ත මං කඩෙං එළියට ආවෙ එළිවෙලාද දන්නෑ කියල බයෙන් බයෙන්.


මං දන්නව උඹලට මේක කියවද්දි හරිම අමාරුයි ඉවර වෙන්නෑනෙ කියල. යකෝ මේක කියවන උඹලට ඒක මෙච්චර අමාරුනං එතන සීය දිහා බලාගෙන මේ සේරම අත්විඳපු මට කොච්චර අමාරු ඇද්ද? නිකමට හිතල බලපල්ලා..