Menu

Thursday, October 14, 2021

නරියෙක් කතා කරයි..


 නරියෙක් කතා කරයි..


මිනිහාට අපිත් එක්ක මොන ඇරියස් එකක් තියෙනවාදැයි අපි තාමත් නොදනිමු. ඉපදිච්ච දවසේ ඉඳං අපි ගැන කියන්න පුලුවන් හැම ජහජරා කතාවක්ම කියා ආයි කොහෙදි හරි දැක්කත් රෙද්දක් ඇඳං මූණ දෙන්න බැරි ගානට ඔලුව වෙනස් කරන්නෙ මොන පලියක් ගන්නදැයි අපේ කිරිකෑමුත්තාවත් දන්නේ නැත. අපිට ඇත්තේ කපටි කෛරාටික ගති බව කියන්නේ උපන් දවසේ සිට එකිනෙකා කෙළවගනිමින්, අංචි අදිමින්, ගේම ගසනා මිනිසාමය. නුඹලා තරම් හීන් නූලෙන් පට්ට චාටර් වැඩ කරනා සතෙකු තවත් නැත. ඉතිං අපි ඒ අතින් අහිංසකය.


මිදි ගෙඩියක් තියා ලොවිත් නෑ ලොවි ගහෙත් නැති වෙන්නම කෙලවෙලා ඉන්න අපි මිදි තිත්තයි කිව්වා යැයි කියා රට හැමතැනම කියවන එක මහ බලු වැඩකි. මුං ඇට කිරිබත් තියා මොන ඇටයක්වත් කන්නැති අපේම පස්සෙ පොල්මුඩු ගසන්නට එන්නේ මොන මඟුලකටදැයි මටවත් නොතේරේ. මේවා අහන කැලේ අනිත් සතුන් අපි මලපෙරේත බඩජාරීන් ගාණට දමා නෝන්ඩි කරන්නේ අපේ ළමයෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි ගානටය. 


අපිට කුකුල්ලු බාර දෙන්න බැරි එක ඇත්තය. ඒත් ඔය කියන එකෙක්වත් අපිට කවදාවත් එහෙම බාර දී නැත. බාර දුන්නොත් එක් කුකුලෙකුටවත් අත තියන්නෙ නැතුව රස්සාව කරගෙන ඉන්නට දන්නා නරියන් ඕනතරම් ඇත. බල්ලාව විතරක් ලොකුකරගෙන දඟලන මිනිස්සු අපි ගැන දන්නේ නැතිය. ආදිකාලෙ එක නරියෙක් දෙන්නෙක් කරපු බලු වැඩක් නිසා මුලු නරි සංහතියටම නිග්‍රහ කිරීම හෙනගහන වැඩකි. නිල් බාල්දියට වැටුනු එකා නිසාද අපි කතා අසා ගත්තෙමු. හැබැයි ලඟකදී එහෙම මුට්ටි වලට වැටුනු නරියෙක් තියා බල්ලෙක්වත් හොයාගන්නට නැත. කේජු කන්නට කපුටෙක් රවට්ටන්නට තරම් අපි දෙකයි පනහට වැටී නැත. එහෙව් පරණ කතා ආයි ආයි අදිමින් මේ පිරිමහන්නේ මොන වෛරයක්දැයි නොදනිමු. 


හූ කීම අපේ භාෂාවයි. අපි ආතල් එකට හූ නොකියයි. කාටහරි පණිවිඩයක් කියා ගැනීමට, කෙල්ලෙක් ටෝක් කරගැනීමට, නිකං කතා බහ කරන විට සමහර අවස්ථා වල අපි හූ කියයි. එහෙම නැතුව අපි දවස තිස්සෙම හූ කිය කියා ඉන්නේ නැත. එහෙව් හූවට දැං දී ඇති තැන අප්‍රසන්නය. ආතල් එකට හූවක් කියන්නත් දැං බැරිය. සිංදු කියන තැන්වලත් හූ කියයි. දේශපාලන රැස්වීම් වලදීත් හූ කියයි. ඇඳුමක් ගැලවනත් හූ කියයි. වැරැද්දක් වුනත් හූ කියයි. ඒ විරක්නං මදැයි.. තමන්ගේම සිංදු වලට හූ කියන්නැයි උං උංම ඉල්ලයි. හූවක් ඕනේ.. තව හූවක්.. කෝ කෝ හූව.. වැනි හූ සංකල්ප වල ඇත්තේ මොන හුයන්නක්දැයි හූව මූලික නරි ප්‍රජාව තවමත් සොයමින් සිටී.


අපේ හූව දැං මිනිස්සු පාවිච්චි කරන්නේ මහ කැත විදියටය. අපි නිකං හූ කිව්වත් සත්තු උන්ගේ අහවල් එක වසාගන්නට කැලේට දුවයි. අපේ හූව අපිටම එපා වී ඇත. ආලෝක වර්ෂ ගාණක් ඇතින් ඇති තරු දිහා නැත්තං හඳ දිහා බලාගෙන හූ කියන්නට අපිට කැසිල්ලක් නැත. මිනිස්සුන්ට වගේ හඳේ මහලොකු ආතල් එකක් අපිට නැත. 


නරි නාවන්නෑ කියා කියන්නේ කවදාවත් අපිව නාවන්න තියා අපිව දැකලවත් නැති ඇච්ච කොල්ලන්ය. ඒක මොන එහෙකට එහෙම කියනවාදැයි උංවත් දන්නවා විය නොහැක. මොකද කවුරුවත් ඇවිත් අපිව නාවනකල් අපි බලං ඉන්නේ නැත. අපිට ඕනනං අපි නානවාය. නැත්තං නිකං ඉන්නවාය. ඒකටත් කතා හදන්න එපාය. 


රටේ ලෝකෙ ඕනෑතරං සත්තු ඉද්දි අපිව අල්ලගෙන මෙහෙම කොං කරන එකනං අජූතය. ඉල්ලන්නට ඇත්තේ මෙපමණකි. දෙයියංගෙ නාමෙං අපිට පාඩුවෙ ඉන්නට ඉඩදීම වටී. ඉස්සර ගමක් ගමක් ගානේ කඩා පැන හොරා කෑම අපේ මුතුන් මිත්තන්ගේ හැටි විය හැක. ඒත් අපිටනම් එහෙම අමාරුවක් නැත. අතට අහුවෙන සතෙක්, කවුරුහරි කාලා දාපු සතෙක් , එහෙමත් නැත්තං පොඩි දඩයමක් වගේ දේකින් අපි බඩකට පුරවගෙන ජීවත් වෙනවා හැර තවදුරටත් අපි නරි වැඩ කරන්නේ නැත. කලත් ඔය කියන බලු වැඩ අපි හිතන්නේවත් නැත. දැන්වක් අපිට අපහස කර අපව අපහසුතාවයට පත්කිරීම නැවතීම යහපති. අපිත් කාගෙ හරි නරියෙක්. දැන්වත් ඕක නවත්තපියව්..


මීට ශෝකයට පත්..

අහිංසක නරියෙක්..

Sunday, September 12, 2021

ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..


 ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..


අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය. 


ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්‍රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත. 


දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.


කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.


මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි. 


මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ  පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.


හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.


ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..

Monday, July 5, 2021

කඳුපාර ඈත අයිනේ හොල්මං සිංදුවක්... 🧟‍♀


කඳුපාර ඈත අයිනේ හොල්මං සිංදුවක්... 🧟‍♀


මිල්ටන් මල්ලවාරච්චි කියන අත්භූත (Horror) ෂානරයට අයත් වෙන ගීතයක් ගැන අහල තියෙනවද? බැලූ බැල්මට මේ සරල ආදර ගීතයක්. ඒත් ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කලොත් මේකෙ ගුප්ත කතාව එළියට ගන්න පුලුවන්. අපි මුල ඉඳන් පටන් ගමු. මේක කියවන්න කලින් ටිකක් මං දාලා තියෙන පිංතූර ටික පොඩ්ඩක් බලල ඉන්න. මොකද ඔෆිස් එකක, බස් එකක, ඇඳක් උඩ, ගහක් උඩ ඉන්න ගමන් නිකංම මේ horror ගතිය ඇඟට එකපාරම දැනෙන්නෑ. මේ ෆොටෝ ටික බලල තව බලල තියෙන horror ෆිල්ම් ටිකක මතක හිටපු සීන් ටිකකුත් මතකෙට අරගන්න. Shutter වගේ ෆිල්ම් එකක්නං වඩාත සුදුසුයි. මොකද මේක romance horror එකක්. ඒ වගේම අවවාදයක් දෙන්නං. ⚠ ඔයා තනියම නිදාගන්න රෑට හීනෙන් බයවෙන කෙනෙක්නං ඉතුරුටික කියවන්න එපා.. 


කදුපාර ඈත අයිනේ

සද රෑක ඈ සිනාසේ

වේදනා සිතාරයේ

ඒ ගීත රාවේ ඈසේවා

ජීවිතේ පුරා...


ටිකකට හිතන්න කඳුසහිත පලාතක පාලු පාරක තනියම වාහනේ යන තරුණයෙකුට ඇහෙනව කාන්තාවකගෙ හිනා හඬ. මූසල තනිකම රජකරන කට්ට කලුවර වටපිටාවක වේදනාවෙන් වැයෙන සිතාරයක හඬත් එක්ක ඇය කැමතිම ගීතයක ලතෝනිය ඇයගේ හඬින්ම කන ලඟ කොඳුරනව ඇහෙනව. ඔව් දැන් ඈ නෑ. ඇගේ මතකය ජීවිතේ පුරාවටම ඔහුගේ මනසේ හොල්මං කරනව. මේ ගීතය කියන්නෙ අන්න එහෙම රාත්‍රියක තනිවම ගමන් කරන තරුණයෙක්.


වාහනයේ තනියම ගමන් කරන වෙලාවක තමන්ගෙ එහා පැත්තෙ සීට් එකේ ඉඳගෙන, හිටියට වඩා ටිකක් සුදුමැලි වෙච්ච මුහුණකින්, බෙල්ලත් ලාවට ඇදකරගෙන, තමන් දිහා වටේ අඳුරුපැහැ වුනු තද කලුපාට ඇස් වලින් තියණු විදියට බලාගෙන, ලාවට හිනාවෙලා එයා කැමතිම සිංදුව වෙනදට වඩා බොහොම හෙමින් මුමුණන ඇය තමයි ඔහුගෙ පෙම්වතිය...


යාලුවී දෙවටේ එදා

කී කතා අසා...

පාළුවී හෑඩුවා සදා

මාරුතේ පවා...


මේ තරුණය තමන්ගෙ වාහනේ නවත්තනව පාර අයිනෙ තවත් පාලු පාරකට හැරෙන තැනක. ගරාවැටුනු ලී වැටක් ඒ පාරෙ තැනින් තැන තියෙනව පෙනුනෙ යංතමට වගේ. පරිසරය හරිම අඳුරුයි. හඳ එළිය විතරයි. ඒ පාර දැක්කම මේ තරුණයට මතක් වෙනව මේ දෙන්න යාලුවෙලා හිටපු කාලෙ මේ වගේ පාරක අත් අල්ලං ගියපු හැටි. ඒ අඳුර මැද්දෙං ඇයගේ ඡායාව හෙමින් හෙමින් කලුවර පැත්තට ඇදීගෙන ගියේ ඒ පරණ පුරුදු මතකය ආයිත් හිතට මතක් කරල දීල. දෙන්න කතාකරපු ආදර දෙබස් එක්කම දෙන්නගෙ ආදරණීය හිනා හඬ පරිසරයේ ඈතින් ලාවට ඇහෙන්නවත් එක්කම ඒ මහ කලුවර මැද්දෙන් ආපු සීතල හුලං පාරකින් ඔහුගේ මුලු ඇඟම හිරිවැටුනෙ කන ලඟම ඇහුනු ඉකිබිඳින හඬක දෝංකාරයකින් මුලු හිතම තිගස්සන ගමන්.


ගං ඉමේ මාදං කෑලේ

පාසෑලේ පුරා...

මා සොයා ආවා වගේ

වෙන්වෙලා ගියා...


ඒ හැඬුම ඔහුව ඒ පාලු පාර දිගේ ඇවිද්දුවෙ ඉබේටම වගේ. හෙමින් හෙමින් කැලැව ඇතුලට යන මේ තරුණයට තමන්ගෙ ගමේ මාදං කැලේ සිහියට ආවේ ඒවත් එක්ක දෙන්නගෙ මතකය මේ පරිසරය ආයිත් මතක් කරල දෙන නිසා. මේ කැලේ ටිකක් එහාට වෙන්න ගරාවැටුනු ගොඩනැඟිලි කීපයක් දකින මේ තරුණය ඒ පැත්තට යන්නෙ ඔහුට ඔහුගෙ පාසැල මතක් වුනු නිසා වගේම කවුද කෙනෙක් ඒ දොර ගාව ඉන්නව දකින නිසා. මේ වගේම කැලෑබද පැත්තක තිබුනු පාසැලක මේ වගේම පංති කාමරයක එල්ලිලා මැරුණු ඔහුගේ පෙම්වතියව හොයාගෙන යන මේ තරුණය ලඟට එන ඒ සුදුපැහැ ඇඳගත් සුදුමැලි මුහුණක් තිබුනු රූමත් තරුණිය ඔහුගේ මුහුණ යංතමින් අල්ලනවත් එක්කම අතුරුදහන් වෙලා ගියේ පලාතම මූසල අඳෝනාවක දෝංකාරයකින් වසාගනිමින්..

මා සොයා ආවාවගේ..

ඈ..

වෙන්වෙලා ගියා..

Friday, July 2, 2021

ළමයි හම්බවෙන්න කලිං..පස්සෙ..


ළමයි හම්බවෙන්න කලිං..

බලන්නකො අප්ප අර ළමයි හදන හැටි. කෑගහනව සත්තු වගේ. මේ බලන්නකො විනාස කරනවනෙ ගෙදරම. හැමතැනම චිත්‍ර ඇඳල.. මංනං ඔහොම නටන්න දෙන්නෑ. බලන්නකො..


හම්බවුනාට පස්සෙ..

ළමයි ඉතිං කෑ නොගහ වාඩිවෙලා ඉන්නවනං ලෙඩක්නෙ. මෙහෙම තමයි ළමයි කියන්නෙ. මේවනං ඉතිං අස්කරගන්න බැරියැ.. බිත්ති වල අඳින එක නවත්තන්න හොඳනෑලු. මනස වර්ධනය අඩුවෙනවලු. ළමයි වුනාම දඟලල කරල ඉන්න එපැයි.


**********************************************


ළමයි හම්බවෙන්න කලිං..

අර ලමයි වත්ත වටේ ඇවිද ඇවිද කවන්නෙ. අර.. මොනතරං ජරාවද අප්පා මේ ළමයි නිකං ලෙඩකරනව විසබීජ කවලා. එකතැනක වාඩිකරවල කන්න පුරුදු කරන්න එපැයි පොඩි කාලෙ ඉඳන්ම. ප්‍රැක්ටිස් එකක් විදියට හැමදාම එකම පුටුවක එකම තැනක කෑවනං ළමයි වුනත් පුරුදු වෙනව අප්ප. ළමා විසේසඥයො කොච්චර කියනවද. මං ඊයෙත් ටීවී එකේ දැක්ක.. අපරාදෙ මේ ළමයි.. පව්..


හම්බවුනාට පස්සෙ..

මේ මං උඹට කියන්නෑ. කනවනං කාපං. මේක මල කරුමයක්නෙ. එක තැනක ඉන්න බැරිද..

මොනාහරි කරල මුන්ට කවන්නත් ඕන. නැත්තං මුංගෙ අඬවැඩියාව ඉවරයක් නෑනෙ. (හිතිං)

දුවලනං බේරෙන්න හදන්නෙපා පුතෝ කොහෙගියත් මං මේ ටික කවල තමයි පස්ස බලන්නෙ.. යකෝ මෙච්චර තියෙන පෝසන සේරම දාලා දෙන්න පුලුවන් හොඳම විදියට මහන්සිවෙලා හදන කෑම එක විසිකරන්න පුලුවන්ද.. මෙහෙ එනවද මං ඔතනට එන්නද?? ආ...


**********************************************


ළමයි හම්බවෙන්න කලිං..

ඇත්තටම ළමයින්ට ෆෝන් දෙනව කියන්නෙ කරන්න පුලුවන් අන්තිම නරක වැඩක්. තනිකරම කුඩු ගැහුව වගේ ඇබ්බැහිවෙනවලු නේ. මොලේ විකාර වෙනව ඕව බැලුවම. බලන්නකො තියෙන ඒව ඒවගෙ.. දෙන්නෙනං නෑ මං කොහොමවත්. මගෙ ෆෝන් එකත් අයින් කරානං හරිනෙ. එතකොට ළමයි එහෙම එකක් දකින්නෙවත් නෑනෙ..


හම්බවුනාට පස්සෙ..

මේක දුන්නොත් විතරනෙ මේකා ටිකක් හරි වාඩිවෙලා ඉන්නෙ. යක්සාවේස වෙලා වගේ ගේ වටේ දුවනව දුවනව. මාත් මනුස්සයෙක්නෙ අප්පා. ෆෝන් එක දුන්නම ඉන්නව හෙලවෙන්නැතුව. ඔය කියනතරං අවුලක් නෑ. හොඳට බලල හොඳම ඒව විතරක් බලන්න දුන්නම හරිනෙ. මං ලඟ ඉන්නවනෙ. අනික ඉතිං මුං මෙල්ල කරන්න මීටවඩා එකකුත් නෑනෙ. අනේ මේ ෆෝන් හොයාගත්ත එකානං බුදුවෙන්නෝන..


**********************************************


ළමයි හම්බවෙන්න කලිං..

බලන්න අර සමන්තිගෙ ලමයිනං මරවනව අප්පා. හැමදාම ක්ලාස් ක්ලාස් ක්ලාස්.. එක නාඩියක් නිවනක් නෑ. එහෙම කරන්න හොඳනෑනෙ අප්ප ළමයින්ට. ඒ ළමයිංගෙ ලමාකාලේ කාමර අස්සෙම ගෙවිල යනව. කිසිම සෙල්ලමක් පිටස්තර දෙයක් නෑ. පව් අප්පා.. මංනං ජීවිතේට මගෙ ළමයින්ට එහෙම කරන්නෑ..


හම්බවුනාට පස්සෙ..

මේ කොහෙද දුවන්නෙ. මෙන්න මෙතන වාඩිවෙලා මේක කරනව. කොච්චරවත් දුවන්නමයි හදන්නෙ. ලොකුවුනාම ගැරේජ් එකක් කරන්නද හිතාගෙන ඉන්නෙ. තව ටිකකින් ක්ලාස් එකක් තියෙනව නේද. ඒකෙ වැඩ ටික බලාගත්තද. ඊයෙ 10ට ඉවර වුනු එකේ පොත බලාගන්න. සර් කිව්වනෙ උදේම පංති කියල. අධ්‍යාපනයෙ වටිනාකම ඔයාලට තේරෙන්නෑ දැන්ම. අවුරුදු 13යිනෙ තියෙන්නෙ. ඒ ටික මහන්සි වෙලා කරන්නෝන. නටන්නනං බැරියැ කවදහරි..


**********************************************


ළමයි හම්බවෙන්න කලිං..

අයියෝ පුදුම වදයක්නෙ අර ලමය දෙන්නෙ. දකින දකින එක ඉල්ලල අඬනව. මගෙ එහෙමනං දෙනව ආයි. ඇයි අප්ප. විලි ලැජ්ජයිනෙ. මිනිස්සු ඉස්සරහ. හුරතල් කරනවනෙ එයාලත්. පුදුම මුරණ්ඩුයිනෙ ඒ ළමයා.. 


හම්බවුනාට පස්සෙ

හරි හරි අඬන්නැතුව ඉන්න ඉතිං. අරං දෙන්නං. ඔයාට අපි හැමදේම දෙනවනෙ පුතේ. කෑගහන්නැතුව කියන දේ අහන්නකො. 

ඇයි ගෙදරත් මේකම තියෙනවනෙ මගෙ පුතේ.. (රහසින්)

බුදු අම්මේ සද්දෙ.. කෑගහන්නෙපා.. ලැජ්ජාවෙ බෑ.. ඉන්න ඉන්න අරං දෙන්නං.. ආ මේකද.. ආ ආ.. දැං හරිද..


**********************************************


ළමයි හම්බවෙන්න කලිං..

අර බලන්නකො අර ලමයා කොච්චරවත් චොක්ලට් කන එකමයි වැඩේ. දෙමව්පියොත් දැනගන්න එපැයි අප්පා. දත් ටිකත් ඉවර ඇති. කොච්චරවත් kfc, පීසා හට් එකෙං කකා පුදුම වසනෙ අප්පා. ගෙදරක හදල හොඳට කාලම නැතුව ඇති ඔය ලමයි. විස කවල අනේමංද පව් ඒ ලමයි..


හම්බුනාට පස්සෙ..

අදත් මොනාහරි අරං යන්නෝන. ඊයෙ ගෙනිච්ච චොක්ලට් ටික කෑවෙ පැනගෙන.. පව්.. අද පීසා එකක්වත් ගෙනියන්නෝන. පව්නෙ අප්පා අර ගෑණි හදන ජරාව කකා හැමදාම ඕකුංගෙ දිවවල් කුණුවෙනව ලඟදිම. ඉඳල හිටලවත් රස කෑමක් කෑවෙ නැත්තං පව් ඒ ළමයි..


Based on true events

අවාසනාවට ඇත්ත කතාවක්.. 😬