නරියෙක් කතා කරයි..
මිනිහාට අපිත් එක්ක මොන ඇරියස් එකක් තියෙනවාදැයි අපි තාමත් නොදනිමු. ඉපදිච්ච දවසේ ඉඳං අපි ගැන කියන්න පුලුවන් හැම ජහජරා කතාවක්ම කියා ආයි කොහෙදි හරි දැක්කත් රෙද්දක් ඇඳං මූණ දෙන්න බැරි ගානට ඔලුව වෙනස් කරන්නෙ මොන පලියක් ගන්නදැයි අපේ කිරිකෑමුත්තාවත් දන්නේ නැත. අපිට ඇත්තේ කපටි කෛරාටික ගති බව කියන්නේ උපන් දවසේ සිට එකිනෙකා කෙළවගනිමින්, අංචි අදිමින්, ගේම ගසනා මිනිසාමය. නුඹලා තරම් හීන් නූලෙන් පට්ට චාටර් වැඩ කරනා සතෙකු තවත් නැත. ඉතිං අපි ඒ අතින් අහිංසකය.
මිදි ගෙඩියක් තියා ලොවිත් නෑ ලොවි ගහෙත් නැති වෙන්නම කෙලවෙලා ඉන්න අපි මිදි තිත්තයි කිව්වා යැයි කියා රට හැමතැනම කියවන එක මහ බලු වැඩකි. මුං ඇට කිරිබත් තියා මොන ඇටයක්වත් කන්නැති අපේම පස්සෙ පොල්මුඩු ගසන්නට එන්නේ මොන මඟුලකටදැයි මටවත් නොතේරේ. මේවා අහන කැලේ අනිත් සතුන් අපි මලපෙරේත බඩජාරීන් ගාණට දමා නෝන්ඩි කරන්නේ අපේ ළමයෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි ගානටය.
අපිට කුකුල්ලු බාර දෙන්න බැරි එක ඇත්තය. ඒත් ඔය කියන එකෙක්වත් අපිට කවදාවත් එහෙම බාර දී නැත. බාර දුන්නොත් එක් කුකුලෙකුටවත් අත තියන්නෙ නැතුව රස්සාව කරගෙන ඉන්නට දන්නා නරියන් ඕනතරම් ඇත. බල්ලාව විතරක් ලොකුකරගෙන දඟලන මිනිස්සු අපි ගැන දන්නේ නැතිය. ආදිකාලෙ එක නරියෙක් දෙන්නෙක් කරපු බලු වැඩක් නිසා මුලු නරි සංහතියටම නිග්‍රහ කිරීම හෙනගහන වැඩකි. නිල් බාල්දියට වැටුනු එකා නිසාද අපි කතා අසා ගත්තෙමු. හැබැයි ලඟකදී එහෙම මුට්ටි වලට වැටුනු නරියෙක් තියා බල්ලෙක්වත් හොයාගන්නට නැත. කේජු කන්නට කපුටෙක් රවට්ටන්නට තරම් අපි දෙකයි පනහට වැටී නැත. එහෙව් පරණ කතා ආයි ආයි අදිමින් මේ පිරිමහන්නේ මොන වෛරයක්දැයි නොදනිමු.
හූ කීම අපේ භාෂාවයි. අපි ආතල් එකට හූ නොකියයි. කාටහරි පණිවිඩයක් කියා ගැනීමට, කෙල්ලෙක් ටෝක් කරගැනීමට, නිකං කතා බහ කරන විට සමහර අවස්ථා වල අපි හූ කියයි. එහෙම නැතුව අපි දවස තිස්සෙම හූ කිය කියා ඉන්නේ නැත. එහෙව් හූවට දැං දී ඇති තැන අප්‍රසන්නය. ආතල් එකට හූවක් කියන්නත් දැං බැරිය. සිංදු කියන තැන්වලත් හූ කියයි. දේශපාලන රැස්වීම් වලදීත් හූ කියයි. ඇඳුමක් ගැලවනත් හූ කියයි. වැරැද්දක් වුනත් හූ කියයි. ඒ විරක්නං මදැයි.. තමන්ගේම සිංදු වලට හූ කියන්නැයි උං උංම ඉල්ලයි. හූවක් ඕනේ.. තව හූවක්.. කෝ කෝ හූව.. වැනි හූ සංකල්ප වල ඇත්තේ මොන හුයන්නක්දැයි හූව මූලික නරි ප්‍රජාව තවමත් සොයමින් සිටී.
අපේ හූව දැං මිනිස්සු පාවිච්චි කරන්නේ මහ කැත විදියටය. අපි නිකං හූ කිව්වත් සත්තු උන්ගේ අහවල් එක වසාගන්නට කැලේට දුවයි. අපේ හූව අපිටම එපා වී ඇත. ආලෝක වර්ෂ ගාණක් ඇතින් ඇති තරු දිහා නැත්තං හඳ දිහා බලාගෙන හූ කියන්නට අපිට කැසිල්ලක් නැත. මිනිස්සුන්ට වගේ හඳේ මහලොකු ආතල් එකක් අපිට නැත.
නරි නාවන්නෑ කියා කියන්නේ කවදාවත් අපිව නාවන්න තියා අපිව දැකලවත් නැති ඇච්ච කොල්ලන්ය. ඒක මොන එහෙකට එහෙම කියනවාදැයි උංවත් දන්නවා විය නොහැක. මොකද කවුරුවත් ඇවිත් අපිව නාවනකල් අපි බලං ඉන්නේ නැත. අපිට ඕනනං අපි නානවාය. නැත්තං නිකං ඉන්නවාය. ඒකටත් කතා හදන්න එපාය.
රටේ ලෝකෙ ඕනෑතරං සත්තු ඉද්දි අපිව අල්ලගෙන මෙහෙම කොං කරන එකනං අජූතය. ඉල්ලන්නට ඇත්තේ මෙපමණකි. දෙයියංගෙ නාමෙං අපිට පාඩුවෙ ඉන්නට ඉඩදීම වටී. ඉස්සර ගමක් ගමක් ගානේ කඩා පැන හොරා කෑම අපේ මුතුන් මිත්තන්ගේ හැටි විය හැක. ඒත් අපිටනම් එහෙම අමාරුවක් නැත. අතට අහුවෙන සතෙක්, කවුරුහරි කාලා දාපු සතෙක් , එහෙමත් නැත්තං පොඩි දඩයමක් වගේ දේකින් අපි බඩකට පුරවගෙන ජීවත් වෙනවා හැර තවදුරටත් අපි නරි වැඩ කරන්නේ නැත. කලත් ඔය කියන බලු වැඩ අපි හිතන්නේවත් නැත. දැන්වක් අපිට අපහස කර අපව අපහසුතාවයට පත්කිරීම නැවතීම යහපති. අපිත් කාගෙ හරි නරියෙක්. දැන්වත් ඕක නවත්තපියව්..
මීට ශෝකයට පත්..
අහිංසක නරියෙක්..