Menu

Tuesday, October 11, 2022

බර කිරිල්ල..


 බර කිරිල්ල..


ලමයින් විවිධාකාරය. එකාට එකෙක් වෙනස්ය. එහෙව් ලමයින්ව එකම මිනුම් දණ්ඩකින් මැනීම ගොං වැඩකි. දරුවාගෙ බර මනින දවස යනු ගෙදරක අම්මෙක්ට උසස් පෙළ විභාගයටත් එහා ගිය කඩඉමකි. මිඩ්වයිෆ්ගේ කටට රතිඤ්ඤ දාන්න හිතෙන මට්ටමට කතන්දර කෝටියක් අසාගෙන ගෙදර එන්නට වෙන බව සිහි වූ විට අම්මලා ඉන්නේ පට්ට ස්ට්‍රෙස් එකකය.


ඇත්තටම මිඩ් වයිෆ්ලගෙ මේ ජොබ් එක මටනං පුදුමාකාරය. යකෝ කන්නැති ලමයෙක්ට ගහක බැඳල කවන්නයැ. උං කන්නැත්තං කන්නෑමය. කන වෙලාවට පස් වුනත් කනවය. එහෙම මේ බර මනින්න කිට්ටු වෙද්දි දෙකොන දිගඇරෙන්න කන්න තරම් දැනීමක් පොඩි උන්ට නැත. මිඩ් වයිෆ් නෝනලාට අනුව මේ ප්‍රස්ථාර යා යුත්තේ උඩටමය. බැරිවෙලාවත් පහලට ආවොත් ඌ කපෝතිය. ජහජරාව කවල කිසිම පෝෂණයක් නැතුව ලමයි හදනව. කොස් බතල මයියොක්ක ටිකක් දීලා ලමයෙක්ව හදන්න දන්නෑ. කඩචෝරු කවල කවල ළමයින්ව මන්දපෝෂණය හදවනව. කියමින් බලාසිටියා වාගේ කියනවාය. ඇත්තටම ගෙදරදි මුන්ට කවන්නට ඔට්ටු වෙන ඔට්ටු විල්ල දන්නේ ගෙදර උංය.


සමහර කාල වල ළමයින්ට අසනීප හැදෙයි. සමහර කාල වල උං හිතාමතාම කන්නැතුව ඉඳියි. තවත් කාල වල උන්ට කන්න බෑ. තවත් ලමයි කනව වගේ දෙගුණයක් ක්ෂය වෙන්න දඟලයි. මේ මොනම මඟුලත්වත් ගැන කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අම්මාට කනෙ ඇඟිලි ගහගන්න දෙනෝදාහක් දෙනා මැද දෙස් තැබීමනං අතිශය ප්‍රාථමිකය. මේවාගේ අහිතකර ප්‍රතිඵල විඳින්නට වෙන්නේ අහිංසක ගෙදර ඉන්න මහත්තුරුන්ටය. 


බර කිරපු දවසේ සිට ගෙදර මනුස්සයාට හෙනහුරාය. ඌ කැස්සත් බැනුං අහනවාය. නැගිට්ටත් වැරදිය. නිදාගත්තත් වැරදිය. මිඩ්වයිෆ්ගේ පලිය ගන්නේ අපෙන්ය. ගෙදර ආපු වෙලේ ඉඳන් මූණ එල්ලං ඉන්න බිරිඳගෙන් ඇයි ඇහුවත් වැරදිය. ඇහුවෙ නැතත් වැරදිය. බැරිවෙලවත් උපදෙසක් දෙන්නට ගියොත් සොරිම තමයි. ලක්ෂ්මී දෙවඟනට මෝහිනී ආවේස වෙලා මායා එනවා දඬුවම් දෙනවා ගීතයේ තාලයට නට නට ඇවිත් බොටුව කඩනවා බැලීමට ආසනං කතාකලාට කම් නැත. ඒ නිසා සතියක් විතර යනකල් වෙනදේ බලා ඉඳීම නුවණට හුරුය. 


අනෙක අතට අර පොඩි එවුන් පව්ය. බෙල්ල මිරිකල හරි උන්ට කවන්න දහ අට සන්නිය නටන්නේ මිඩ් වයිෆ්ගේ ගෙදර අයව මතක් වෙන නිසා විය යුතුය. ඒත් ඉතිං අරුං මර ලතෝනි දෙමින් දහ අතේ දුවන්නේ මෙලෝ හසරක් දන්නැතුවය. ඇත්තටම උන්ට කන්න බැරුව ඇති. කෑවෙ නැත්තං ඇඳක ගැටගහල සේලයින් බෝතල් තුන හතරක් හරි දෙන ලෙවල් එකෙන් ඉන්න අම්මලාට ළමයාව පේන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන ඉතියෝපියාවෙ දරුවෙක් ගාණටය.


එහෙම හිතෙන ගාණට දරුවන්ව අම්මාව දෙකයි පනහට දාලා තවුසන් ටෝක් දෙන මිඩ්වයිෆලානං පාපයකි. අපේ ළමයි ගැන අපිටවත් නැති බොරු කැක්කුමක් ඇඟට අරන් නොහොබිනා බැනුම් බනිමින් අම්මාව පාච්චල් කර ඔවුන් පිටකරන්නේ ඔවුන්ගේ රැකියාවේ ආතතිය වි යුතුය. මෙය අතිශය ප්‍රාථමිකය. ළමයින්ට කැවීම කල යුතු බව අප දනී. ඒක ඇත්තය. හැබැයි කිසිම "සාමාන්‍"ය දෙමව්පියෙක් තම දරුවාව හිතාමතා බඩගින්නේ තියන්නෙ නැත. තමන්ට තියෙන එකත් පුලුවන්නං උන්ට කවයි.


තමන්ගෙ ජොබ් එකේ ඇරියස් අපිට අදාල නැත. අනෙකාට ගරු කිරීමට පුරුදු විය යුතුය. කවුරු වුනත් මේ ඇවිත් ඉන්නේ අම්ම කෙනෙකි. කාගෙවත් අතපල්ලෙන් වැටුනු බෙහෙත් හිඟමනේ යන යාචකයෙක් නොවේ. මෙය අප රටේ නීතියට අනුව අපට උරුම අයිතිවාසිකමකි. එය ඉටු කිරීම ඔබේ වගකීමකි. එය තමන්ගේ කරුමයක් ලෙස නොසිතා කටයුතු කරන්නේනම් ඉතාම හොඳය. අප ඔතනට පැමිණෙන්නේ කාගෙවත් ලොකු සීන් බැලීමට නොවෙමු. අපට අපගේ දරුවාගේ මට්ටම දැනගැනීමට අයිතියක් ඇත. එය පෙන්වා දීම ඔබ සතු වගකීමක් ලෙස සලකා එය සටහන් කරදී කල හැකි දේවල් වටහා දෙන්න. අම්මලාව බලු ගානට දමා පහත් කොට කෑමොර දීම ඔබේ රැකියාවේ කොටසක් නොවේ. විද්‍යාත්මකව පවසන උපදෙස් දුන්නාම ඇතිය. අපේ ළමයි ගැන ඉතුරුහරිය අපි බලාගන්නං.. මොකද ඒ ළමයි අපේ...