Menu

Monday, April 3, 2023

නි-වාඩු දවස්

 නි-වාඩු දවස්



බොසාට වැඳල යංතං ගන්න නිවාඩු දවස් වල ගෙදරට වෙලා ආතල් ගන්නව නේද කියල තමයි ගොඩක් උං හිතන්නෙ. ඉස්සරනං නිවාඩු දවසක් කියන්නෙ ඇතිවෙන්න නිදාගෙන හිතෙන වෙලාවට කාලා ෆිල්ම් එකක් බලල මැච් එකක් ගහල ෂපාන් එකේ නින්දට යන දවස්. ඒකට දැං..


වෙනද වැඩට යන්න ඉද්දි 5ට විතර ඇහැරෙන නිසා එලාම් එක කලින්දාම ඕෆ් කරල දහසක් බලාපොරොත්තු ඇතුව නිදාගන්නවා. ආයි ඉතිං හූන කියන්න වගේ චික් චික් ගාලා කිව්වෑකි පහුවදා පොඩි සනුහරේ නැගිටිනව ආයි තුනටවත්. එකෙක් කන ලඟ හොරණෑව පිඹිද්දි අනිකා ළමාමහපෙලහැර පාන්නෙ තරඟෙට වගේ. එකෙක් කරේ තියාගෙන අනිකව අතේ වඩාගෙන සුබ මොහොතින් ඇඹරෙන දවස ගැනනං ඉතිං කියන්න වචන නැත.


හා හා පුරා කියල කුකුලත් අතේ අරන් ගේ වටේ ගියත් නෝනව හොයනව බොරු. අනිත් හැමදාම තමං විඳින දුක එකදවසින් තේරුං කරවන්න හිතාගෙන වගේ උන්දැටත් අද යමරෙට වැඩ. රෙදි හෝදනව. ගේ හෝදනව. බඩු අස්කරනව. මිදුල සුද්ද කරනව. මකුලු දැල් කඩනව. රටේ නැති වැඩ. අවුරුද්දෙම මගෑරුනු සේරම අද දවසට දාගෙන වගේ මුකුත් අහන්නත් බෑ. වැඩනෙ.


එහෙ මෙහෙ බලල කරකියාගන්න දෙයක් නැතුව මුං දෙන්න දිහා බැලුවාම හිනාවෙලා ඇට්ටර මූණ දාන් හිටියට මොකද ඉස්සරහට එන්න තියෙන පැය ගාණට දවස පුරා මට වෙන්න යන වින්නැහිය උංගෙ ඇස් වලිං මට පෙනෙද්දි මගෙ ඇස් වලට කඳුලු පැන්න. මේ ආරම්භ වුනේ ත්‍රාසය භීතිය පිරි හාන්ස් ක්‍රිස්ටියන්ගෙ සුරංගනා කතාවක් කියල හිතාගෙන හිටපු පොතේ පටාචාරා පරිච්ඡේදයයි. වුනේ නෑ කියල කියන්න තියෙන්නෙ මාව උකුස්සෙක් අරං ගිය නැති එකයි, ගඟේ ගහගෙන ගිය නැති එකයි විතරයි. අහිංසක මං මේවා කොහොම දරාගත්තද කියල නිකමට හිතපල්ල.


එකෙක් බඩ උඩ නැගල පපුවෙ මයිල් අදිනගමන් උඩ පනිනව. අනිත් එකා ස්කූටියක් පැදං කකුල් උඩිං යනව. එකෙක් නලවන්න මං ජහුටා නටද්දි අනික මගෙ කලිසම ගලවන්න ට්‍රයි කරනව. එකෙක් කොණ්ඩෙට ගේ හරියෙ තියෙක සේරම වර්ගයේ කටු ගගහ ස්ටයිල් දාද්දි අනිත් එකා ගෙදර පුරා වතුර හල හල පූල් එකක් හදන්න හදනව. 


ටීවී දාලා ෆෝන් දීල කොහොම ආම්බාම් කරන්න හැදුවත් මුන් නෙවෙයි ඒ එකකින්වත් සෑහෙන්නෙ. ටීවී එකේ ගිහිං ඉවර වෙච්ච එකක් ආයි දාලා දෙන්න කියල අඬනව. ෆෝන්නෙක හයියෙන්ම පොලොවෙ ගහන එකාව හොයන්න හදනව. මට නිකං මංඤංද පොල්කොල වගේ. ලයිට් පත්තු වෙනව පේනව. කුරුල්ලො කෑ ගහනව පේනව. ඇස් නිලංකාර වේගෙන එනව. බැරිම තැන ගියා වයිෆ්ට ලඟට ලමයව දීල ටිකක් නිදහස් වෙන්න. 


මං යද්දි උන්දැ බිම වාඩිවෙලා කල්පනා කර කර ඉන්නව. බරපතල වැඩක් වගේ. මේ වෙච්ච දේවල් එක්ක ආයි කරන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙන්න හිතාගෙන ඇහුව. 

"මේ.. මේ දෙන්නව පොඩ්ඩක් බලනවද. මට ටිකක් අමාරුයි වගේ.."

"ආ පොඩ්ඩක් ඉන්න මං එන්නං. මේ වැඩේ ඉවර කරල.."

"මොකක්ද වැඩේ බබා.."

"නෑ මේ පොඩි වැඩක් තියෙන්නෙ. මේ ගිණි පෙට්ටි වල ගිණි කූරු කීයක් තියෙනවද බලල, ඒකෙන් දවස් කීයක් උයන්න පුලුවන්ද බලන්නෝන. අර ගෑස් එකේ බරෙන් ඒක ඇතුලෙ තියෙන ගෑස් ප්‍රමාණය හොයාගෙන ඒ ගෑස් වලින් දවස් කීයක වැඩ කරගන්න පුලුවන්ද බලන්නෝන. ඒකට හරියන්න බඩු ගෙදර තියෙනවද බලල අඩුපාඩු ලිස්ට් එකක් හදාගන්නෝන. ඒකට කීයක් විතර යයිද දන්නෑනෙ. අනිත් වැඩ ටිකනං ඉවරයි. ඔයත් අද ගෙදරනෙ. මේව නැත්තං කරන්න වෙන්නෑ.. ආ තව දර ටිකක් හොයාගන්නත් ඕන. ඉක්මණට එන්නං.. තව පොඩ්ඩක් බලාගන්න.."

මං හා කිව්ව නෙවෙයි කියවුනා. මං බේබීස් ඩේ අවුට් එකේ හොර නායකය වගේ අසරණ වෙච්ච මූණකින් සාලෙට එද්දි "තාත්තෙ කැච්" කියල ෆෝන් එක විසි කලා පඩිපෙල පහලට. ඒක අල්ලගන්න හැරෙද්දි කකුල තියවුනේ අනිත් එකා බිම පුරා හලල තිබුනු බේබි ඔයිල් ටික උඩ. එච්චරයි මතක.. සිහිය එද්දි ෆෑන් එකක් කැරකෙනව. සෝක් නිවාඩුව...