Menu

Monday, March 28, 2022

කැවිල්ල


 කැවිල්ල 👶🏻


කෑම කෑමට කුඩාකාලයේදී මේ තරම් අප්‍රිය එකම සතා මිනිසා වියයුතුය. පොඩි උං කන්න මෙච්චර අප්පිරියාවක් දක්වන්නෙ මොකක් නිසාදැයි මටනං හිතාගන්නට බැරිය. මේ ලෝකෙ මවපු මොකාහරි අපි කවන්නට කරන කෙලි, විඳින දහදුක් දන්නවනං හුස්ම ගන්නව වගේම කෑමත් ඉබේම ඇඟ ඇතුලට යන්න සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම මවනු ඇත. ඕනෑම සතෙක් ජීවිතයේ හැමදේම කරන්නේ කාලා බීල ඉන්නය. එහෙව් එකේ මුන්ට කරන්නම බැරි වැඩේ ඒකය. අනික් හැම සතාම නොකා නොබී මැරෙන්නට බැරුව ලතෝනි දෙද්දී මිනිස් පොඩි උං කන්නේ නැතුව ලතෝනි දී මැරෙන්නට හදයි.


පොඩි කාලේ සිටම අපිට අම්මලා ලෝකෙ නැති කතන්දර කියමින් කවයි. ගෝනි බිල්ලන්, මකරුන්, යක්ෂයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන් පමණක් නොව හැකිනම් මහසෝන ගැන හරි කියා බියවද්දා කටක් දෙකක් බඩට යැවීම සාමාන්‍ය ලාංකේය සිරිතයි. ටික දවසක් යන විට අපේ පොඩි උං මහසෝන ඇත්තටම ඇවිත් කන්න කිව්වත් හිනා වී "අනෙ පලයං බං යන්න" කියන ලෙවල් එකට බය නැතිවෙයි. ඉන් පස්සෙ උං කන්නෙ උන්ට ඕන වෙලාවටය. පුදුමය නම් උන්ට එහෙම බඩගින්නක් එන්නැති එකය. සාමාන්‍යයෙන් වැඩුනු නිරෝගී මනුස්සයෙකුට හරියමං ආහාර වේලක් නැතුව දවස් 8ක් 10ක් ජීවත් විය හැකි වුවත් මේ අරුමපුදුම දරුවන් නොකා නොබී මාසයක් වුවද ඉනු ඇත. මොනා නැතත් අයිස් ක්‍රීම්, බිස්කට්, චොක්ලට් දුටුව සැනින් ලොවෙත් නැති බඩගින්නක් එනඑකනං මාර වැඩකි.


ළමයි හදන්නට පෙර ළමයින්ට කැවිය යුතු ආකාරය ගැන යම් යම් දෑ කියවා සිටියෙමි. එකම මේසයක තබා කෑමට පුරුදු කරවීම, එකම වේලාවකට කෑමට හුරුකරවීම, කෑමට පෙර පසු අත සේදීම, කෑම කෑමට බල නොකිරීම, කැවීමට ෆෝන් නොදීම, කෑම ප්‍රතික්ෂේප කල විට කැවීම නවතා කන වෙලාවක කැවීම වැනි උපදෙස් ඉන් කීපයකි. මුලදීනම් මේවා අකුරටම කිරීමට මාර ට්‍රයි එකක් දුන්නද පහු පහු වෙනකොට උපදෙස් දෙපිටිං ගොස් උං ඔලුවෙං හිටගෙන කෑවත් කවන තත්වයට පත්විය. ගේ වටේ දුවමින්, කතා කියමින්, වාහනේ රවුම් ගසමින්, බල්ටි ගසමින්, තරු ගනිමින්, පොලොවේ පස් කමින් කැව්වද උං කන්නේ කටවල් දෙක තුනකි. ටීවී එක, ෆෝන් එක දීම පමණක් නොව කිව්වොත් ප්‍රෙට්‍රල් දමාගෙන ගිනිතියාගැනීමට පවා දෙපාරක් නොසිතෙන ගානට හෙම්බත් වෙන මේ කෙරුවාව දවසට තුන් වතාවක් කිරීමට ඇති බව මතක් වීමත් අට වසරෙදි තනියම මහරෑ රාස් බැලුවට වඩා භයානක හැඟීමක් ඇතිකරයි.


රටේ නැති සියලුම ගුණදායක පෝෂණීය දෑ මුසු කරමින්, පත අට එකට සිඳවා, වෙදපප්පා අරිශ්ටෙ හදනවටත් වඩා සූක්ෂම ක්‍රම සහ විධි භාවිතා කරමින් යූ ටියුබ්, අර ටියුබ්, මේ ටියුබ් සේරම පීරමින් අපෙ අම්මා සිට පබිලිස් සිල්වා දක්වා වැනි සෑම සූපවේදියකුගේම උපදෙස් මත කෑමවේල පිළියෙල කරගන්නේ ඇන්කර් පීඩියා ප්‍රෝ වල ඇති යකඩ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් වලට මෙන්ම සමපෝෂ යහපෝෂ ත්‍රීපෝෂ සියල්ලේ ධාන්‍ය පෝෂක වලට හැරෙන්නවත් බැරිවෙන්නය.


පට්ට ගේමක් දී හදන කෑමෙන් කටක් දෙකක් කෑවත් කෑම වල ගුණ අගුණ සැර තිත්ත ගැන අවලාද කියමින් කටට දැමූ කටත් ගේ මැද බිම දාන්නේ පශ්චාත් කැවීමේ කාර්යයන්ද එකතු කරමින් ළමයගෙ අම්ම මුත්ත මතක් කරමින්ය. යන යන තැන කෑම හැලීම, කවනා කටෙන් බාගයක් පිඟානට දැමීම, කකා ඉන්න කටවල් කිසි හිරිකිතයක් නැතුව අතට දැමීම, වතුර එක හලාගැනීම අති සාමාන්‍ය දේවල්ය. අමාරුවෙන කටට දමන කෑම කටද පැය දෙකක් වුවත් කටේ තියාගෙන ඉන්නේ රිළවුන් උගේ කටේ කෑම ස්ටොක් කරගන්නා ක්‍රමය තාමත් ජාන වල ඇති නිසා වියහැකිය. 


ආච්චිලා සීයලා ඉස්සරහ කැවීම යනු හෙනමම වෙනමම රිස්ක් එකකි. ඒ ගැන කියලා වැඩක් නැතිය. කියන්නටනං දේ බොහෝය. ළමයින්ට ඇත්තේ චූටි කටවල්ය. චූටි බඩවල්ය. කෑම කන්නේ ලොකු වෙන්නටය. ලොකු වෙන්න කන්න ඕනය. කෑවත් නැතත් ලොකු වෙනවාය. එහෙමයි කියා නොකවාත් බැරිය. මේ ප්‍රශ්ණයටනං මට ඇත්තටම තාමත් උත්තරයක් නැතිය. ඇත්තටම ළමයි කන්න මෙච්චර අකමැති ඇයිදැයි උං ලොකු වුනාම අහලා බැලිය යුතුය. එතකල් කැවිය යුතුය.