Menu

Wednesday, December 13, 2023

සිහින මවන්නැති


සිහින මවන්නැති කියන සේනක බටගොඩගෙ සිංදුව ඇත්තටම ස්වභාවික ගීතයක්. මට ඒක අද ඔප්පු වුනා.


අද මං කොළඹ මිද්දෙනිය බස් එතකට නැග්ගෙ ගෙදර එන්න හිතාගෙන. ඒකෙ උතුරන්න සෙනඟ. සෙනඟ මැද්දෙං මං අමාරුවෙං උඩ මැද පොල්ලෙ එල්ලිලා ඉස්සරහට යද්දි මට යංතං ඇහෙනව..


සිහින මවන්නැති අහස උසට තනියම.. කියල


හෙන ගේමක් දීල මැද යංතං කකුලක් තියාගන්න පුලුවන් ගෑණු දැරිවියෙක් ඉන්න තැනක ඉඩකට කිට්ටු වෙන්න හදද්දි ඇහෙනව..

ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර..


අරෙහෙං කොන්ද කෑ ගහනව, ලඟපාත එවුං කකුල් උස්ස උස්ස බැන බැන දඟලනව බස් එක ඇතුලෙ එකම කෙලියයි..

ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද... 


මගේ බෑග් එකේ බරට මට හෙලවෙන්නවත් බැරුව දඟලද්දි තමයි

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. කියල ඇහුනෙ..


බෑග් එක පොරවල් දෙන්නෙක් මැද්දෙ හිරවෙලා අදිනව අදිනව එන්නෑ.. මට හෙලවෙන්නවත් බෑ.. රේඩියෝ එකේ..


සිරවෙලා.. නැවතිලා.. නැතිනං.. සීමාවක.. ගාලා යටිගිරියෙං බෙරිහං දෙනව.


ෆුල් වෙරදාලා මං ඇදල ගත්ත බෑග් එක උං දෙන්නට බම්බුගහගන්න කියල. කරුමෙට බස් එක දඩාර බ්‍රේක් එකක් ගැහුවා. බෑග් එකත් ඇදිල ඇවිත් මං විසිවෙලා ගිහිං අර ඉඩ තිබුනු හරියෙ හිටපු උංගෙ ඇඟට හේත්තු වෙලා වැටෙන්නැතුව බේරුනේ..


නිදහසේ.. ඉගිලිලා යමු.. එක රෑනක කෑල්ල අහගෙනමයි..


නැවතිච්ච බස් එකේ පිටිපස්සෙ ඉඳන් එකෙක් 

හෝ හෝ හෝ හෝ හෝ හෝ ගාගෙන කෙලගෙන අපි සේරම පෙරලගෙන ඉස්සරහ දොරෙං බැහැලා ගියේ සේනක බටගොඩ වෝව් වෝව් වෝ ගාද්දි...


සෑමදේම නිමවුනා ඒ නිමේෂයෙන් පස්සෙ. මට සීට් එකක් හම්බුනා..

Wednesday, May 10, 2023

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ..


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ..

ඔන්න දවසක් අසංක බස් එකට නැග්ගලු. මං නෙවෙයි බං අසංක ප්‍රියමන්ත. නැගල ගිහිං වාඩිවුනාලු කෙල්ලෙක් ලඟ. කෙල්ල ටැටූ එකක් ගහල කොණ්ඩෙ පාටකරල ලස්සනට ඉන්න නිසා පොඩ්ඩක් ඇහැ දාලා බැලුවලු. මොන කිසිම ප්‍රතිචාරයක් නෑලු. වැඩේ හරියන්නෑ. බලං ඉඳල ඉඳල බැරිම තැන මෙහෙම ඇහුවලු..


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ.. සුපුරුදු ලෙස පෙනුනා..


කෙල්ල හැරිල බැලුව. හෑ.. පිස්සෙක්.. කියල ආයිමත් වීදුරුවෙන් එලිය බලාගත්තලු.


අසංකත් අරින්නෑ..

කෙදිනක හෝ විඳ පුරුදු ඇති.. සුසුම් සුවඳ දැනුනා...


අනෙ අයියෙ මේ.. පාඩුවෙ යනවකො.. මගුල් කියවන්නැතුව. දැකල තියෙනව. මතකයි මතකයි වගේ. මාව මතක තියෙන්න මං ජුහී චවුලද.. සුසුම් සුවඳ.. රෙද්ද තමා..


ටිකක් සද්ද නැතුව ඉඳල එකපාරම..


දැනුනා..... මට සුසුම් සුවඳ දැනුනා....

කියවුනා විතරයි නංගි හැරිල බැලුවලු නිකං මායා එකේ රංජන රාමනායක වගේ.. අතිං හරි හරි කියල ෂේප් එකක් දාගෙන පොඩි වෙලාවක් හිටියලු.


හිටියට ඉන්න බෑලු. කල්පනා කරල කරල දෙන්නං වැඩේ කියල...


පෙර කිසිදා ඔබ හමුවී ඇති බව ඉඳුරා කියත හැකි..

මොන රෙද්දක්ද බං මේ.. ඉඳුරා.. ඉඳුරා නෙවෙයි හැල වඳුර.. කටවහනවද නැද්ද.. කියත නෙවෙයි අම්මප පිහි කෑල්ලක් නෑනෙ මේ යකාට දමල අනින්න.. චිඃ විතරක්.. පෙරේතයා..


හමුවී ඇත්නං ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති..


අයියෝ බං.. පෙර සසරෙ.. යකෝ පෙර සසරෙක පතං එන්න තමුසෙ සිද්දාර්තද?? පාඩුවෙ ඉන්නවකො.. ලස්සන කෙල්ලෙක්ට පාර බැහැල යන්න නෑනෙ අම්මප. චිඃ.. අක්කල නංගිල නැද්ද..


සද්ද නැතුව ඉඳල එකපාරම..


යුගයක... වෙන්න ඇති...

කිව්ව විතරයි කෙල්ල උඩ ගිහිං නැගිට්ටුනා.. කලබලේට වචනත් පැටලිලා ඇඟිල්ල දික් කරල. කට හොල්ලල මොනාද ටිකක් කියන්න වගේ හදල ආයි වාඩි වුනාලු. 

මඟුලක් කියෝනවනෙ.. කිවගයල අනිත් පැත්ත බලාගත්තලු.


ටික වෙලාවක් ඩීසන්ට් පිට හිටපු අසංකට තව අදහසක් ආවලු.


භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ..

අයියෝ... මොන වදයක්ද බං. එකමනෙ කියන්නෙ. සසරෙන් සසරලු භවයෙන් භවයලු. ඇයි බං ඕම.. ගෑණු දැකල නැද්ද.. පතාගෙන නෙවෙයි ඔතාගෙන යන්න දෙනව දැං මං තොට කුඩෙං..


ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ..


තමුසෙට සයිකොද බං. ඔලුව කොහෙ හරි වැදුනද. ඒ ගමන ඉසුරුමුණියක් ගැන කියොනව. රකින්න තෝ කිකිළියෙක්ද. ඇයි බං. මං මේ වැඩ ඇරිල ගෙදර යනගමන්. රෙද්දක් රකින්න කතා කරනව. මං මේ බස් එකට නැග්ග. තෝත් ඒකටම නැග්ග. මගෙ කරුමෙට තෝ ඇවිත් මෙතන වාඩිවුනා. ඒ නිසා හම්බුනා මිසක් මඟුල් දැහැනක් ගැන කියවන්නෙපා. පිං සිද්දවෙයි කටපියං ඉන්නවකො..


කිව්ව විතරයි..

අපි මෙහි හමුවීදෝ... කිව්වලු..


කුඩේ අතට අරගෙන කෙල්ල නැගිට්ටලු. පංසලේ ගණ්ටාරෙ ගහනව වගේ ටාං ටාං ගාලා දෙක තුනක් වැදුනලු. කෙල්ල නැගිටල ගිහිං වෙන තැනක වාඩිවුනාලු..


අසංක ඊලඟ හෝල්ට් එකේ බැස්සලු..

Monday, April 3, 2023

නි-වාඩු දවස්

 නි-වාඩු දවස්



බොසාට වැඳල යංතං ගන්න නිවාඩු දවස් වල ගෙදරට වෙලා ආතල් ගන්නව නේද කියල තමයි ගොඩක් උං හිතන්නෙ. ඉස්සරනං නිවාඩු දවසක් කියන්නෙ ඇතිවෙන්න නිදාගෙන හිතෙන වෙලාවට කාලා ෆිල්ම් එකක් බලල මැච් එකක් ගහල ෂපාන් එකේ නින්දට යන දවස්. ඒකට දැං..


වෙනද වැඩට යන්න ඉද්දි 5ට විතර ඇහැරෙන නිසා එලාම් එක කලින්දාම ඕෆ් කරල දහසක් බලාපොරොත්තු ඇතුව නිදාගන්නවා. ආයි ඉතිං හූන කියන්න වගේ චික් චික් ගාලා කිව්වෑකි පහුවදා පොඩි සනුහරේ නැගිටිනව ආයි තුනටවත්. එකෙක් කන ලඟ හොරණෑව පිඹිද්දි අනිකා ළමාමහපෙලහැර පාන්නෙ තරඟෙට වගේ. එකෙක් කරේ තියාගෙන අනිකව අතේ වඩාගෙන සුබ මොහොතින් ඇඹරෙන දවස ගැනනං ඉතිං කියන්න වචන නැත.


හා හා පුරා කියල කුකුලත් අතේ අරන් ගේ වටේ ගියත් නෝනව හොයනව බොරු. අනිත් හැමදාම තමං විඳින දුක එකදවසින් තේරුං කරවන්න හිතාගෙන වගේ උන්දැටත් අද යමරෙට වැඩ. රෙදි හෝදනව. ගේ හෝදනව. බඩු අස්කරනව. මිදුල සුද්ද කරනව. මකුලු දැල් කඩනව. රටේ නැති වැඩ. අවුරුද්දෙම මගෑරුනු සේරම අද දවසට දාගෙන වගේ මුකුත් අහන්නත් බෑ. වැඩනෙ.


එහෙ මෙහෙ බලල කරකියාගන්න දෙයක් නැතුව මුං දෙන්න දිහා බැලුවාම හිනාවෙලා ඇට්ටර මූණ දාන් හිටියට මොකද ඉස්සරහට එන්න තියෙන පැය ගාණට දවස පුරා මට වෙන්න යන වින්නැහිය උංගෙ ඇස් වලිං මට පෙනෙද්දි මගෙ ඇස් වලට කඳුලු පැන්න. මේ ආරම්භ වුනේ ත්‍රාසය භීතිය පිරි හාන්ස් ක්‍රිස්ටියන්ගෙ සුරංගනා කතාවක් කියල හිතාගෙන හිටපු පොතේ පටාචාරා පරිච්ඡේදයයි. වුනේ නෑ කියල කියන්න තියෙන්නෙ මාව උකුස්සෙක් අරං ගිය නැති එකයි, ගඟේ ගහගෙන ගිය නැති එකයි විතරයි. අහිංසක මං මේවා කොහොම දරාගත්තද කියල නිකමට හිතපල්ල.


එකෙක් බඩ උඩ නැගල පපුවෙ මයිල් අදිනගමන් උඩ පනිනව. අනිත් එකා ස්කූටියක් පැදං කකුල් උඩිං යනව. එකෙක් නලවන්න මං ජහුටා නටද්දි අනික මගෙ කලිසම ගලවන්න ට්‍රයි කරනව. එකෙක් කොණ්ඩෙට ගේ හරියෙ තියෙක සේරම වර්ගයේ කටු ගගහ ස්ටයිල් දාද්දි අනිත් එකා ගෙදර පුරා වතුර හල හල පූල් එකක් හදන්න හදනව. 


ටීවී දාලා ෆෝන් දීල කොහොම ආම්බාම් කරන්න හැදුවත් මුන් නෙවෙයි ඒ එකකින්වත් සෑහෙන්නෙ. ටීවී එකේ ගිහිං ඉවර වෙච්ච එකක් ආයි දාලා දෙන්න කියල අඬනව. ෆෝන්නෙක හයියෙන්ම පොලොවෙ ගහන එකාව හොයන්න හදනව. මට නිකං මංඤංද පොල්කොල වගේ. ලයිට් පත්තු වෙනව පේනව. කුරුල්ලො කෑ ගහනව පේනව. ඇස් නිලංකාර වේගෙන එනව. බැරිම තැන ගියා වයිෆ්ට ලඟට ලමයව දීල ටිකක් නිදහස් වෙන්න. 


මං යද්දි උන්දැ බිම වාඩිවෙලා කල්පනා කර කර ඉන්නව. බරපතල වැඩක් වගේ. මේ වෙච්ච දේවල් එක්ක ආයි කරන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙන්න හිතාගෙන ඇහුව. 

"මේ.. මේ දෙන්නව පොඩ්ඩක් බලනවද. මට ටිකක් අමාරුයි වගේ.."

"ආ පොඩ්ඩක් ඉන්න මං එන්නං. මේ වැඩේ ඉවර කරල.."

"මොකක්ද වැඩේ බබා.."

"නෑ මේ පොඩි වැඩක් තියෙන්නෙ. මේ ගිණි පෙට්ටි වල ගිණි කූරු කීයක් තියෙනවද බලල, ඒකෙන් දවස් කීයක් උයන්න පුලුවන්ද බලන්නෝන. අර ගෑස් එකේ බරෙන් ඒක ඇතුලෙ තියෙන ගෑස් ප්‍රමාණය හොයාගෙන ඒ ගෑස් වලින් දවස් කීයක වැඩ කරගන්න පුලුවන්ද බලන්නෝන. ඒකට හරියන්න බඩු ගෙදර තියෙනවද බලල අඩුපාඩු ලිස්ට් එකක් හදාගන්නෝන. ඒකට කීයක් විතර යයිද දන්නෑනෙ. අනිත් වැඩ ටිකනං ඉවරයි. ඔයත් අද ගෙදරනෙ. මේව නැත්තං කරන්න වෙන්නෑ.. ආ තව දර ටිකක් හොයාගන්නත් ඕන. ඉක්මණට එන්නං.. තව පොඩ්ඩක් බලාගන්න.."

මං හා කිව්ව නෙවෙයි කියවුනා. මං බේබීස් ඩේ අවුට් එකේ හොර නායකය වගේ අසරණ වෙච්ච මූණකින් සාලෙට එද්දි "තාත්තෙ කැච්" කියල ෆෝන් එක විසි කලා පඩිපෙල පහලට. ඒක අල්ලගන්න හැරෙද්දි කකුල තියවුනේ අනිත් එකා බිම පුරා හලල තිබුනු බේබි ඔයිල් ටික උඩ. එච්චරයි මතක.. සිහිය එද්දි ෆෑන් එකක් කැරකෙනව. සෝක් නිවාඩුව...

Saturday, March 18, 2023

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ


 රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ


නෑ.. නෑ නෙවෙයි. තෝ බීලා බීලා ඒ සේරම බැංකුවට පුදල දැං එනවද ඤෑ ගාන්න. අනේ අපෙ අම්මල අරන් දුන්නු කරාබු දෙකත් මේ යකා කාටද දීල කටගොන්නක් බීගෙන ආවනෙ දැං ඉතිං මගෙ කනේ එල්ල ගන්න වෙන්නෙ තොගෙ #ට දෙක තමයි.. අනික ආයි තමුසෙ මට ඔය නමනං කියාගෙන එන්නෙපා.. අඹේනියා ඇඹේනියා ගාන්න තමුසෙට ලැජ්ජ නැද්ද.. කාලකණ්ණියා..


රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ


අනේමේ.. තමුසෙ මගෙන් කුණුහරප අහගන්න එපා.. යකෝ රහට උයන්න බඩු තියෙන්න එපැයි. මුහුදු කටේ හිටියට මොකද ලුණු කැටයක් නෑ ගෙදර හරියෙ. එලෝලු දෙකක් එක්ක බත් කටක් කාපු දවසක් මතක නෑ. රහට උයල කවන්න නල්ලමලේ මනුස්නයනෙ. කකුල් දෙකෙන් හරියට පිලිවෙලකට මේ ගෙදරට අඩිය තියපු දවසක් තමුසෙට මතකද කියනවකො.. ආව මෙතන රසමසවුලු හොයන්න..


කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ


ආ.. හරි ෂෝක්.. දැං තමුසෙට මේ පාර හොයාගන්න බැරි මුහුදෙ පාරවල් නැති නිසා. යකෝ මොකාද වගේ බීගත්තම පාරවල් තියා මොන මගුලක්වත් පේනවයැ. මට ඇන්තනිය කිව්ව දවසක් උන්දැගෙ වාඩියට වෙලා කනමදය වගේ බීගෙන ආයි මුහුදු යනව කියල ගිහිං වට පිටේ සේරම ගෙවල් වල රෙදි වැලවල් ඇද ඇද හොයියා හොයියා ගගා නටපු නාඩගම. අනේ හැබෑටම තමුසෙටත් ලැජ්ජාවක් නෑනෙ. මං දැක්කනං දනී තමුසෙට කරන දේ..


අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ..


ඔව් ඔව්.. උඹට ඉතිං හැමදේටම තියෙන්නෙ ඔය උත්තරේ තමයි. බීගත්තම උතුර දකුණ මාරු වෙනවනෙ කොහොමත්. පුදුමයි තමුසෙට ගෙවල් තියෙන පැත්තහරි යංතං මතක් වෙනව.. මගසලකුණු තිසා අඩිසලකුණුවත් තියෙනවද බලනවකො එන විදියට..


ඔරු කඳ ලත වෙනවා මාදැළ හිනැහෙනවා


යකෝ තෝ ග#ජත් ගහනවද. මා දැල හිනැහෙනව නෙවෙයි යකෝ ඒකට පණ තිබුණනනං තොගෙ බෙල්ල වටේ එතිල හිරකරල තමුසෙව බාල්ලෙ එල්ලල නවතින්නෙ. ඔරු කඳ නෙවෙයි ගිහිං කණ්නාඩියෙන් බලනව තමුසෙගෙ කඳ දිහා. නයි නලාව වගේ තඩි බඩකුත් තියාගෙන කොණ්ඩ රැවුල් වවාගෙන මදිවට මාස ගාණකින් නාලත් නෑ. ලඟිං යන්න බෑ හපුටු ගඳයි. මාලු අල්ලනව කෙසේවෙතත් මාලු හෝදපු වතුර එකක බැහැල තම්බපු එකෙක් වගේ ඉන්නෙ.. හැටි බලනව තමුසෙගෙ..


අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා


අනේ ඔව්. ඒ ටිකනං කරනව. උදේම යනව.. හතරගාතෙන් හවස එනව. ගෙදර මිනිස්සු උන්නද මලාද කාලද මුකුත් දන්නෑ. යකෝ ගෑණියෙක් ගෙනාවනං උංගෙ ඕන එපාකම් ටිකක් බලල දරුමල්ලො බලාගෙන ඉන්නවකො පිලිවෙලකට. උදේ ආවට ආයි රෑ වෙනකල් තමුසෙ කරන්නෙ වෙරි බහිනකල් නිදාගන්න එකනෙ.. තව කෙරුවාවත් කියෝනව..


රළු කරදිය වැල් වෙලා.. එළොවක සිහිනේ බලා

ඝණ අඳුරේ අප සැමදා වෙලීලා


ඒ හරියත් මට ආරංචියි. මාලු අහුවෙන්නැතුව හොරෙංම ගොඩට ඇවිත් එක එකාගෙ ගෙවල් වලට රිංගගෙන ජහජරා වීඩියෝ බල බල බිබී ඉන්නව කියල. බී ගත්තම කොහොමත් තමුසෙ අර ඇන්තනියව බදාගත්තු ගමන්මනෙ. එළිවෙනකල් ඌව බදාගෙන ගෑණියි මිනිහයි වගේ හතර විලිලැජ්ජ නැතුව ඇමිනිලා තව ඒවත් කියන ලස්සන බලහල්ලකො..


නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ


ආ ඇත්තද.. සේරම තොපේ.. අපිට මුකුත් නෑ. යකෝ තෝ ගේන කජ්ජක් නැති නිසා මං මේ මහන්සි වෙලා එක එකාට වැඳල කරල මොකක්හරි දෑතෙ රස්සාවක් කරල කීයක්හරි ගේන එකෙන් තමයි මේ පඩිපෙල වගේ හදපු දරුවො ටික ජීවත් කරවන්නෙ. තමුසෙ කලේ මාව ගෙනාපු ගමන් නින්දක් නැතුව දාඩිය දාගෙන කරේ අහවල් එක කරල ළමයි ගොඩගහපු එකනෙ. මං එපැයි දැං උංගෙත් කරුමෙ ගෙවන්නත්.. සේරම තොපේ තමයි නැතුව.. ඇන්තනියගෙයැ..


මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ


තමුසෙගෙ කපන එක මං කියන්නෑ. කාසියෙන් නෙවෙයි අර මාලු කපන පිහියෙං දවසක මං තොගෙ මසුරන් මසුන් වල්ල කපල දාන්නෙ. දැනගං. ආයි එහෙම එන්නෑ මගෙ ඇඟට අත තියන්න. තමුසෙට කොහොමත් පැදුර පෑගුනත් ඇතිනෙ...


රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා

ඝණ අඳුරේ අප සැමදා වෙලීලා


අනේ නවත්තගනිං මිනිහෝ ඔය සිහින බල බල වැලලිල්ල. අදත් ආවද බීගෙන. මෙහෙම ගියොත් කොහොමත් ලයිට් කපල සදහටම ඝණ අඳුරෙ තමයි අපිට ඉන්න වෙන්නෙ. අන්න එදාට වරෙංකො මං කවුද මේ ලුසියා කියල පෙන්නන්නං..

Wednesday, March 15, 2023

ගෙවල් හැදිල්ල


 ගෙවල් හැදිල්ල 🏠


අපේ විදියට ගෙවල් හැදිල්ල ලොව ඇති ගොංම වැඩේ බව අපට වැටහෙන්නේ ඒක හැදුවාට පස්සෙය. දාන්න පුලුවන් කැටයම් ඔක්කොම දමා චිරාත් කාලයක් ජීවත් වන්නට සාදන නිවසේ ටික දවසකින් සිදුවන මලහත්තිලව් අත්වින්ඳාම ලොවම එපාවී ලොවම කලකිරී දැවී දැවී හිඳිනාවේලේ වෙයි. ඇත්තටම බැලුවොත් ගෙදර කිසිම දෙයක් හරියට කරල නැති බව වැටහෙද්දි අපි අම්බානක පරක්කුය. කෙලවෙන්න ඕන නට්ටටම කෙලවෙලාය. 


සාමාන්‍යයෙන් ගෙයක් හදාගෙන යනකොට මුහුණදෙන සිද්දිනං හෙන පොදුය. එකම ටයිල් එක නැතිවීම, ගේන ටයිල් මදිවීම, ගඩොල් බාගෙට බාගයක් චොරවීම, වැහි පිට වැහි වැසීම, බලං ඉද්දි බඩු මිල වැඩිවීම, බාස්ගේ පවුලට බබා හම්බවීම, ගහෙං වැටුනු මිනිහට ගොනා ඇනීම, වක්කඩේ හකුරු හැංගීම, ගඟට ඉනිකැපීම මින් කීපයකි. මේ හැමදේම මැද ගෙවල් හැදුවත් අන්තිමට හැම මකබාස්ම කරපු ගොංකං හැම එකක්ම අර කලින් කිව්ව චිරාත් කාලයක්ම අපිට පලිසංදීමනං කරුමයකි. අපිනං ගෙයක් හදන්නේ පලවෙනි වතාවටය. බාස්ලා එහෙම නෙවෙයිය. උං පුරුදු වෙන්නට ගෙවල් හදනවා නෙවෙයිය. හැබැයි ගෙදර අවසන් කර එලියට ගොස් බැලූවිට මට හිතුනෙම මූනං මේක පුරුදු වෙන්න හදපු එකක්ද කොහෙද කියාය. එච්චරට කෙලවලාය.. 


හදන්න ගත්ත මුල් දවස් වලනං ලඹේ කාලා මට්ටං ලෑලි ගිලපු පොරක් ගානට වැඩේ පටන් ගත්තට මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙයි. බලං යද්දි උං දන්න මඟුලක් නැත. පලවෙනි ගේ හදා ඇනගත්තු මට ඊටවඩා දැනුමක් ඇත. කිලෝමීටරේට අඟලක බැස්මක් එන්න ඇලි හදපු රටක අඩි 10x10 බාත්රූම් එකක වතුර පූල් එකක ගානට පිරුනාම එලියට එන්න වෙන්නෙ පීනලාය. ඒතරං තාක්ෂණේ දියුණු වෙලාය. බෙල් එක ගැහුවම ලයිට් පත්තු වෙයි. ෆෑන් එක දැම්මම බෙල් එක වදියි. ලයිට් දැම්මම ලිප පත්තුවෙයි. සමහර ෆ්ලග් වලට කරන්ට් එක එන්නේ ඇඟ හරහාය. බිත්ති නිර්මාණ කර ඇත්තේ පීසාහි ඇලවෙන කුලුණේ තාක්ෂණයටය. සමහර බිත්ති රික්ටර් පරිමාණ බරගාණක භූමිකම්පා වලට අහුවෙලා වගේ පුපුරලාය. වොෂ් රූම් වලට අල්ලපු කාමර වලින් ජල උල්පත් මතුවෙනවාය. එකම කෙලියකි. පලවෙනි ගෙදර මෙහෙම දේවල් නොවෙනවානං ඒක අටපට්ටමට කියන්නට වටිනවාය. 


ආතල්ම කෑල්ල වෙන්නෙ නක්ෂත්‍ර ජෝතිශ්‍ය වාස්තු විද්‍යා විභූෂණ චක්‍රවර්තීන් ගෙදරට ආවාමය. උං කියන විදියට මේ බිත්තිය මෙතනට අපලය. අර ජනෙලෙ අතනට දුබලය. පඩිපෙල මෙහෙම දැම්මාම කිලිය. වහලෙ මෙතන ලීය තියෙන එක මාරකය. ඇහුවාම ඇඬෙනවාය. හැබැයි ඒ විදියට ගේ හැදුවොත් ඉස්සරහ දොරිං ඇතුලුවෙන එකාට පිටවෙන්න වෙන්නෙ වහලෙ උලු අයිං කරලය. ඒ තරං කෑලි අයිං කරල අලුතින් එකතු කරන්නට වෙනවාය.


අනිත් ආතල් එක අපේ ගෙවල් වල බඩු කන්දරාවය. නිකමට හිතුවොත් අපේ සාලෙක සෙටි දෙකක්, වීදුරු කබඩ් එකක්, ටීවී ස්ටෑන්ඩ් එකක්, ප්ලාස්ටික් පුටු කීපයක් මොකකටවත් නැති මේසයක් පැවතීම සාමාන්‍යය. බඩු සේරම තිව්වාම සාලෙ හරහා යන්නට ගුවන් පාලම්, වැලමිට වංගු, රවුන්ඩ් අබවුට් විතරක් නෙවේ එල්ලී පැනීමට වැල්ද හයි කරන්නට වෙනවාය. අපි මෙහෙම ගෙවල් හැදුවට සුද්ද එහෙම ගෙවල් හදන්නේ නැත. උං හදන්නෙ හෙන තාවකාලික වාසස්ථානය. ගොඩක් වෙලාවට ලීය. ඒවා ඕනවෙලාවට කැඩීමටත් හැදීමටත් උං දෙපාරක් හිතන්නේ නැත. අතේ තියෙන සේසතම යටකර හදන ගෙවල් ආයි ආයි කඩනවා තියා හිතන්නවත් අපිටනං වත්කමක් නැත.


කෙලමවෙන්නේ අවසානයටය. ගෙදර ඉන්න අයට වෙන ඕනෑම දේකට පලි මේ අහිංසක ගඩොල් ගොඩය. මං කිව්වනෙ අර දොර ගලවන්න කියල. ඇහුවෙ නෑනෙ. කොහෙද ඉතිං පඩිපෙල දකිද්දි මං කිව්ව. දැං හරිනෙ. නානාප්‍රකාර කමෙන්ට්ස්ය. හොඳක් වුනාම මේ එකක්වත් නැත. මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් වැදගත්ම තැනක් ගන්නා වාසස්ථානවලට අපි දී ඇති තැන වෙනස් කිරීමට නුදුරු අනාගතයේ අපට සිදුවනු ඇත. එතකල් අපි කැදැල්ල බලා පට්ට ගෙවල් හදමු.

Saturday, March 4, 2023

මදුරුවා 🦟


 මදුරුවා 🦟


ලෝකයේ සිටින නිර්භීතම සත්වයා මදුරුවාය. උට ඇති ගට මේ ලෝකෙ කිසිම සතෙකුට නැත. අලියා පහර දෙන්නේ උට පොඩි සත්තුන්ටය. කොටියත් එහෙමය. මී මැස්සො සර්පයො වගේ උං පහර දෙන්නෙ උන්ට හිංසාවක් කලොත් විතරය. මූ එහෙම නෑය. මුට කිසිම වරදක් නොකරන ඔහේ ටීවී බලාගෙන ඉන්න මිනිහෙක්ට මූ දමල අනින්නේ කිසිම හේතුවක් නැතුවය. පොඩි ළමෙක් වුනත් ඌ වගේ දහස් ගුණයකින් ලොකුය. එහෙව් සතෙකුට උගෙ ඇඟ විතර උලකින් අනින්නට හිතෙනවා කියන්නෙම ඌ මාර පොරකි.


මදුරුවන්ගේ ප්‍රධානතම ආදර්ශ පාඨය අනින්න පෙර සිතා බලනුය. ලොව ආතල් එකේම ඉන්න පිරිමි සතුන් වන්නේද මදුරු පිරිමිය. උන් බොන්නේ මල්පැණිය. ගැහැණු මදුරුවන් ජීවිතය පරදුවට තබා හෙන ඇඩ්වෙන්ච ගේම් දී එන තුරු උන් ආතල් එකේ මල්පැණි බිබී ගෙදරට වෙලා ඉඳියි. ඒක නිකං ගෑණිව වැඩට යවා ඒ සල්ලි වලින් ගෙදරට වෙලා ආතල් එකේ බිබී ඉන්න සැමියෙක් වගේ සීන් එකකි. උන්ගෙ තත්වෙ හිතාගත හැකිය. ලේ බී බඩ පුරවාගෙන නොමැරී ගෙදරට එන මදුරියන්ගේ කන්දොස්කිරියාව මොනවගේදැයි කීමට අවශ්‍ය නැත. ඇත්තටම ඒ තරං දරුණු ගේම් දෙන වැම්පයර් බිරින්දෑවරුන් සමඟ ඉන්නවාට උන්ට වෙනම සම්මාන දෙන්නට වටී.


මදුරුවන්ටත් ඇත්තේ වෙන ප්‍රශ්ණයකි. උන්ට ලිමිට් නැත. බොන්න පටන් ගත්තම බීගෙන බීගෙන යයි. බඩ පැලෙනකල්ම බොයි. ඉගිලෙන්නට තියා ඇවිදගන්නටවත් බැරිවෙන්නම බොයි. බේබද්දන් හා මදුරුවන් අතර බොහෝ සමානකම් ඇත. සමහර මදුරුවන් උදේ බලන විට නෙට්ටෙකේ එල්ලී ඉන්නේ කරන්නටම දෙයක් නැතිකමටය. උන්ට ගහන්නට ඕන නැත. පිම්බත් ඇතිය. ඇඳ උඩට වැටුනත් පුපුරා මියයනු ඇත.


ඉවසීම අතින් ඉහලම සතුන් කොටසක් ලෙස මදුරුවා දැක්විය හැකිය. නෙට් එකක් ඇතුලට වී නිරුපද්‍රිතව සැපට නිදියන තම රාත්‍රී භෝජනය දෙස එළිවෙනකල් වුනත් බලාසිටින්නට වූ අවස්ථා ඕනෑතරම් මදුරුවෙකුට තිබිය හැකිය. එක ලේ බිංදුවක් බොන්නැතුව දවස් ගණන් අතක් කකුලක් නෙට්ටෙකේ වදිනකල් ඉන්නවා කියන එක ලේසි නැත. අපි කන්න ආසම කෑමක් මේසය මත තියා කන්නැතුව බලං ඉන්නට වුනොත් මදුරු දුක අපිට දැනෙනු ඇත. හොඳ හැටි සප්පායම් වී බල්බ් සයිස් බඩවල් එක්ක උදේ වෙනකල් හෙලවෙන්න බැරුව ඉන්න මදුරුවන්ට සෑම උදයකම සුලබය. උන්ට ඇතුල් පැත්තෙන් කැරම් පාරක් ගැසූ විට බිත්තියේ වැදී මල්වෙඩි මෙන් පුපුරා අවසන් ගමන් යන්නේ අපිවද ප්‍රීතියට පත්කරවමිනි. ඒක මරුය.


ඒ වුනත් මදුරුවා පව්ය. මාලුවා නහින්නේ කට නිසා කිව්වාට ඒක වැරදිය. මාලුව නහින්නේ කටු නිසාය. මදුරුවානං නහින්නේ කට නිසාය. ෂේප් එකේ ලේ ටිකක් බී පාඩුවේ ගියානම් ගොඩක් මදුරුවො තාමත් ජීවත් වෙනවාය. බේබද්දන් බිව්වාම සිංදු කියන්නට යනවා වගේම මදුරුවන්ද වරද්දගන්නේ එතනය. මා ලියූ කෙටිම රචනාව මා ලිව්වේ මදුරුවා ගැනය. කූං කූං කූඌ..... චටාස්.. ක්ඌ...... පටාස්.. ඒ එම රචනාවයි. ලකුණු හම්බුනේ නැතත් මං ලිව්ව රචනාවට ඕන මදුරුවෙක් ලකුණු 100%ම දෙනු ඇත.


අත්පොලසන් නාදයක් මැද හරසරින් අවසන් ගමන් යන එකම සතාද මදුරුවාය. අපි අත්පුඩි ගහන්නේ ආතල් එකට කියා හිතන මදුරුවා ආයි ආයිත් එන්නේ අපිව සතුටු කරන්නට විය හැකිය. අත්පුඩි වර්ග ගැන වෙනම පාඩමක් මදුරු සිලබස් එකට ඇතුලත් කර මදුරු කීටයන්ගේ ඉඳන් පුරුදු කරගැනීමෙන් අකල් මදුරු මරණ අවම කරගත හැකිය. අත්පුඩියකින් මරපු සතාව පොඩි පට්ටම් කර අතුල්ලා චොරු පට්ටම් කර ආත්ම දෙක තුනක්ම අහිමි කරවීමනං තරයේ හෙලා දකිමි.


සමහර මිනිසුන්ව මදුරුවන්ට මිනිස්සුන්ව සීරියල් කිලර්ස්ලා වගේ පේනවා ඇත. "අන්න අරූ තමයි අපේ මාමගෙ පුතාට ෂොට් එක දුන්නෙ. අපේ සීය මැරුවෙත් මූ. අර ඉන්නෙ අපේ අයියව බිත්තියට හේත්තු කරල මරපු එකා. ඔය මිනිහ දවසක් මොකක්ද ගැජට් එකකින් අපි කට්ටියම කතාකර කර හිටපු තැනකට ගැහුව. දුං දාගෙන වැටුන බං චට චටස් ගාගෙන. හතක් අටක් එතනමයි. මං අනූනමයෙන් බේරුනේ. අරූ ලඟටනං යන්න එපා. එහෙම ගිහිං ආපු එකෙක්වත් නෑ. ඕක දවසක් අපෙ පුතාව මැරුව. මරල අඹරල සුන්නද්දූවිලි කරල දැම්ම. පොඩි කෑල්ලක්වත් ඇහැට දකින්න හම්බවුන්නෑ බං.." වගේ සංවේදී කතා මදුරුවන් අතර නිතර සිදුවනවා නොඅනුමානය.


"මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න..

මල්පැණි බී බඹරු වගේ රෑට නිදන්න"


දීපාල් සිල්වාට නොහැකි වූ දේ කරගත්තොත් මේ මදුරු කරදරෙන් බේරීමට අපට පහසු වනවා විතරක් නෙවේය. උන්ටත් චිරාත් කාලයක් ජීවත් වීමට ඉඩ ලැබෙනු ඇත. එසේ පුනරුත්ථාපනය වූ මදුරුවන් බිහිවන අනාගතයක් දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි.

Thursday, March 2, 2023

CookOut කරන අෂාන් ඩයස් අපේ ගෙදර ආවොත්..


 CookOut කරන අෂාන් ඩයස් අපේ ගෙදර ආවොත්..


අශාන් - අද අපි අතිශය සුන්දර පරිසරයකට උරුමකම් කියන ටීක් දිස්ත්‍රික්කයේ ටීක් ටීක් ග්‍රාමයට තමයි අපේ කුකවුට් ප්‍රෝග්‍රෑම් එක අරන් ඇවිත් තියෙන්නෙ.. අපේ යාලුවෙක් හරහා තමයි අපි මේ ගෙදර හොයාගත්තෙ. ඒක ඔවුන්ටත් සප්‍රයිස් එකක් වෙයි.. ගිහිං බලමු මොකද වෙන්නෙ කියල..


අශාන් ගෙදර මිදුලට යයි....

"කොහෙ රිංගනවද මේ පූස් තඩියා.. තොට මං...." කියාගෙන එකවරම ගේ ඇතුලෙන් දැරිවියක් දුවගෙන එයි. අශාන්ව දුටු විගස ගල්ගැසී නවතින ඈ "ආච්චී........." කියා කෑගසයි..

මොකද බං මේ බෙරිහංදෙ..... කියාගෙන ආච්චි එලියට එයි.. අශාන්ව දකී. අශාන් තක්බීර් වී බලා සිටී. 

ආච්චි - ආ මේ පුතානෙ.. එන්න ඇතුලට..

අශාන් - ආච්චි අම්මෙ.. කොහොමද ඉතිං.. අපි කුකවුට් ප්‍රෝග්‍රෑම් එකෙන්.. අඳුරගත්ත නේ..?

ආච්චි - පුකවුට්.. ඒ මොකක්ද බං..

අශාන් - නෑ නෑ අම්මෙ මේක උයන වැඩසටහනක්. ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල උයන ඒව හදන හැටි පෙන්නනව. බලල නැද්ද?

ආච්චි - අනේ නෑ බං. දැකල පුරුදුයි. මං හිතුවෙ සිරිපාල මලයගෙ පුතා කියල.. හරි හරි ඇතුලට වරෙංකො..


දැරිවිය තාමත් විරිත්තමින් අශාන් දෙස බලා ඇඹරෙමින් එහෙට මෙහෙට යමින් සිටී..

අශාන් - හරි.. ඔන්න එහෙනං අද අපේ වැඩසටහන පටන් ගන්න හදන්නෙ. අපි කෙලින්ම යමු කුස්සියට..

ආච්චි - කොහෙට.. කුස්සියට ගියොත් බොට පිස්සු හැදෙයි බං.. යමංකො ඕන්නං.. අපේ ලේලිගෙ කෙරුවාව බලාගතෑකි..


අශාන් - හරි අපි යං.. අම්ම ඉස්සරවෙන්නකො..


අශාන් - ෂඃ මේ මොකක්ද මේ.. හිරමනේද? ගානට මේසෙට හයිකරල කරකවන්න තියෙන්නෙ... නියමයි නියමයි.. අම්මද හොයාගත්තෙ..


ආච්චි - අනේ නෑ බං ඕක මේ අපේ එක්කෙනා හයිකලේ.. ඕදිරිස් හිරමනනෙ.. පුතා දැකල නැතෙයි..


අශාන් - ආ ඕදිරිස් කියන්නෙ ගමේ මාමා කෙනෙක් වෙන්නැති නේ.. නියමයි.. අද මොනාද ස්පෙෂල් තියෙන්නෙ උදේට..


ආච්චි - ස්පෙසල්නං මොනාද මංද පුතේ මේ කොළ කැඳ එකක්නං තිබ්බ මං බිව්වෙ නෑ..


අශාන් - පට්ටනෙ.. කෝ බලමු.. මේකද..?


එක උගුරක් කටට ගෙන කට ඇඹුල් කරගෙන අමාරුවෙන් ගිලදමයි.. 

අශාන් - ෂඃ මරුනෙ.. මොනාද ආච්චි මේ.. ජීවිතේට මංනං මෙහෙම එකක් බීල නෑ..


ආච්චි - මොනාද බං ඕක කටේ හරියක තියන්න බෑ අපේ ලේලිනෙ හදන්නෙ.. මං ඕක හවස් වෙනකල් තියල බල්ලෙකුට බොන්න දානව.. කිව්වට විශ්වාස කොරපං උංවත් කටේ තියන්නෑ..


ලේලි කුස්සියට එයි..


අශාන් - ආ අක්කා.. කොහොමද ඉතිං.. අපි මේ ආවා ඔයාලගෙ කුස්සියටම.. අද මෙතන තමයි අපේ කුකවුට් ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ.. එන්න එන්න..


ලේලි - අනේ ඇත්තද හරි ෂෝක්නෙ.. මෙයානං හරිම ආසයි ඔයාට.. කියමින් ලේලි දුවද සමඟ කුස්සිය ඇතුලට පැමිණේ..


අශාන් - ආ ඇත්තද තැන්ක්‍යු.. අද මොනාද අක්කෙ දවල්ට කන්න තියෙන්නෙ.. මටනං ඉවසිල්ලක් නෑ දැනගන්නකල්..


ලේලි - ආ.. දවල්ට උදේ හදපු සම්බෝලයක් තියෙනව.. තව දැන් මේ හදන්න කියල ආවෙ..


අශාන් - සම්බෝල.. මරුනෙ.. මගෙ ෆේවරිට්.. කියමු බලන්න.. තව මොනාද හදන්නෙ..


ලේලි - කටු පිටිං කොහිල වෑංජනයක් හදනව.. මෙහෙ ඉන්න අයගෙ කොහොමත් ටිකක් අර්ශස් අමාරුව තියෙනවනෙ. හොස්ස ලඟින් මැස්ස යන්න බෑනෙ.. (නැන්දම්මා දිහා වරින් වර බලමින් කියයි)


අශාන් - කටු පිටිං කොහිල. නියමෙට තියෙයි.. මං කාලම නෑනෙ.. තව තව..


ලේලි - තව ඉතිං තෙඹු කොළ මැල්ලමක් හදනව. දවස තිස්සෙම පාං කකා වැඩිකරගන්න සීනි අඩු කරවන්නත් ඕන මංනෙ.. මේව ඉතිං හොඳ ඖෂධීය කෑම.. මල්ලිට හරියයිද දන්නෑ..


අශාන් - අනේ නෑ මං ආසයි ගමේ කෑම වලට.. තෙඹු නේ.. බලමු බලමු.. තව..


ලේලි - තව ඉතිං මේ ගෙදර පරිප්පුනං වරදින්නෑ.. ඒකත් එක්ක ගෙදර පොඩි උංට සොසේජස් ටිකක් බැදල දෙනව.. මහ උංදැලටනං මේ මදැයි..


අශාන් - අම්මෝ ඇති ඇති.. අපි එහෙනං හදමුද.. කවුද දැං අම්මද අක්කද හදන්නෙ..


ලේලි - අම්ම.. (සිනාසෙමින්) මං තමයි ඉතිං හදන්නෙ.. හැබැයි හැදුවම වැරදි කියන්නනං සේරම ඉන්නව.. 


අශාන් - අම්මෝ අක්ක විහිලුත් කරනවනෙ.. බලමුකො.. කෑවම මාත් කියන්නං අවුල් ටික..


සියල්ල අසා සිටි ආච්චි ලේලිට ඔරවා "කෝකටත් පුතේ අසමෝදගං එකකුත් එක්ක කන එකක් කාපං.. ඕං මං නොකිව්වයි කියන්නපා.." කියමින් කුස්සියෙං පිටවෙන්නට යයි..


ලේලි - අම්ම මොකක්ද කිව්වෙ.. අනේ මේ අම්මෙ.. කවදාවත් කිසිම උදව්වකටවත් එන්නැතුව මෙතන ඇද හොයන්න එන්නෙපා.. ඉවසං හිටියම..


ආච්චි - අනේ මේ බං.. මං මේ පොඩි එවුං ලොකු මහත් කලේ උඹ හදන ඒවා කවලද.. උඹල හැරෙනකොට මට මාලුව හතරක් හදන්න පුලුවන්. ඇඹරි ඇඹරි ඉන්න වෙලේ කෑමක් හදපං මේ ලමයට කන්න..


ලේලි - අනේ අම්මෙ මේ.. අම්ම යනවද.. මං මේක ....


අශාන් - හරි හරි.. අපි දැං වැඩේට යමු.. කතාව පස්සෙ බැරියැ..


ආච්චි - නෑ පුතේ.. උදේ හැමදාම ඇහැරෙද්දි ඉර පස්ස පැත්තට පායල. උදේ මනුස්සය වැඩට යනව නේද කියල වගේ වගක් නෑ..


ලේලි - අනේ අම්මෙ මේ.. දවසෙම අමාරුයි කියල නිදාගෙන.. උදේ නින්දයන්නැතුව ඇහැරිලා තේ හදල මට කතා කියන්නෙපා... පුදුම වැඩක්නෙ මේක..


අශාන් - නෑ නෑ අපි දැං වැඩේ කරමු නේද අක්කෙ..


ලේලි - නෑ නෑ මල්ලි.. හැමදාම කට පියාගෙන ඉද්දි එනව ඇඟට නගින්න.. මල්ලිලත් මේව දැනගන්නෝන.. මං මේ විඳින දුක මංනෙ දන්....


ආච්චි - අනේ උඹෙ දුක.. යකෝ මං මේ බෙහෙත් බිබී.. දවස තිස්සෙ ගෙවල් අතුගගා මකුලු දැල් කඩ කඩ.. අස්පස් කරල වැඩ සේරම....


අශාන් - අයියෝ අම්මෙ මකුලුදැල් නෙවෙයි මේක උයමුකො..


ලේලි - අපොයි ඔව්.. කඩනව මකුලු දැල්.. 


අශාන් - හෝව් හෝව්.. දැං ඇති.. 

රංඩුව නැවතීමට හදයි..


ආච්චි - කඩනව තමයි.. කියනව බලන්න කවද්ද අන්තිමට මකුලුදැල් කැඩුවෙ කියල.. ලමයි දෙන්නව ඉස්කෝලෙ යවන්න ඇහැරවන්නෑ පුතේ මේ ගෑණි මොන නැකතකින් ඉපදිලාද මංද..


ලේලි - ඔව් ඔව්.. අම්ම වෙන්නැතිනෙ ඒ දෙන්නව ලෑස්ති කරන්නෙ...


අශාන් - ආ ඇති ඇති දැං.. මේක කරමු.. කෝ ඉතිං..


ආච්චි - මගෙ එකා අහුවුනානෙ මේ ගෑණිට.. අම්මප අර සෙනෙවිරත්න මහත්තයගෙ දෝනි රත්තරං ඒ අතිං..


ලේලි - අහුවුනා.. රෙද්ද තමා.. මං මේ පරණ පවකට කරගැහුවනෙ.. නැත්තං මටත් හිටිය නියම කොල්ලෙක් ඉස්සර...


අශාන් - දැන් ඇති නේ අම්මෙ.. කියමින් රංඩුව බේරිමට එහෙට මෙහෙට දඟලයි.


ආච්චි - මොකක්ද උඹ කිව්වෙ.. හිටිය කොල්ලෙක්.. මං කිව්ව අපේ එකාට.. දැං හරිනෙ.. උඹ අපේ එකාව රැවැට්ටුව.. ඉඳපං උඹට...


කියා ලඟ තියෙන හට්ටියකින් දමා ගසයි.. වලිය බේරීමට දඟලන අශාන්ගේ ඔලුවේ හට්ටිය වැදී එතනම සිහිසුන්ව බිම ඇද වැටේ.. තිදෙනාම ගල්ගැසී කැමරාකරු දෙස බලයි..


ලේලි - ගැහුව නේද.. අයියෝ.. මල්ලි.. 


දුව - අනේ අයියේ.. 


ආච්චි - අඤේ අඤේ ගාන්නැතුව වතුර ටිකක් ඉහපං..


දුව නැගිට වතුර ටිකක් මූණට ඉසියි. යංතංමින් ඇස් අරින අශාන් "මං මේ කොහෙද.. ආ.. නංගි.. කවුද මේ.."


කැමරාකරු - මචං.. පැකාප්.....

Sunday, January 15, 2023

ඩිස්ටි ඩිඩිං..


 ඩිස්ටි ඩිඩිං.. 

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 😜⚠


සුවහසක් විවාහක හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා සිය දූදරුවන්ගෙන් දිනපතා ඩිස්ටි ඩිඩිංකරණයට සිදුවන අසීමාන්තික බාධා කම්කොටලු හිරිහැර පිළබඳව බලාගෙන ඉන්නට බැරිම තැන මෙසේ අකුරු කරමි. මෙය මාගේ පමණක් නොව මාගේ මිතුරන්ගේ හතුරන්ගේ වැඩිහිටියන්ගේ අඩුහිටියන්ගේ ඇසගැටුනු නෙතගැටුනු හිතගැටුනු අතිශය සංවේදනාත්මක අත්දැකීම් පදනම්කොටගෙන ලියවී ඇති බව අවධාරණය කිරීම වටී.


බැඳපු එකෙකුට හිතූ සැනින් තමාගේ බිරිඳ සමඟ හැසිරීමට නොහැකි වීම ඛේදවාචකයකි. එයට 200%ක්ම වගකිව යුත්තේ ඔවුන්ගේම දරුවන්ය. දහ අතේ නලවා නිදිකරවා දහසක් බලාපොරොත්තු ඇතුව ලයිට් ඕෆ් කර අදාල ස්ථානගතවීම් සිදුකලද තබනු ලබන පළමු ස්පර්ශයෙන්ම අරුන්ට කරන්ට් එක වැදී මෙන් ඇහැරී කෑගැසීම පුදුමසහගතය. උන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පියන් සිහිකරමින් නැවතත් දහඅට සන්නිය නටා නිදිකරවා පැමිණ මැගී නූඩ්ල්ස් එකක් හදන වෙලාවටත් කලින් රෙඩා පොට් කරන්නේ ආයිත් අරුං ඇහැරුනොත් සියල්ල මුලසිට ඇරඹීමට වඩා එය හොඳ නිසාය.


හැමදාම මෙලෙස හැසිරීමට නොහැකි නිසා කලින් කතාකරගත් දිනයක් යම් සූදානමක් ඇතුව රෝමාන්තිකව ගතකිරීමට යොදාගැනීම බොහෝ වෙලාවට සිදුකරයි. එලෙස සැලසුම්කරගත් කිසිම දිනයක කුඩා වදකාරයින්ට නිදිමතක් එන්නෙ නැත්තේ මොන කරුමයක් නිසාදෝ මම නොදනිමි. ඔවුන් එදාට රෑ 10ටත් බැලුං පුම්බයි. කිරි කිරි බොලේ කරයි. කොපර කොපර පිපිංඤා කරයි. ජිල් ගසයි. පුදුම වැඩ ගොඩකි. අම්මා තාතතාගේ කැමති ක්‍රීඩා ගැන උන්ට කිසිම ගාණක් නැත. නිදිපෙත්තක් හරි දී මුංව නිදිකරවීමට සිතෙන්නේ මේ වෙලාවටය. මෙවැනි දෙමව්පියන් බොහොමයක් වෙහෙසකර දවසකින් පසුව රෑ කල නින්දට යන්නෙ හිස් අතින් තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන සර්වකාලීන බව සිතමින්ය.


ජනගහනයේ සීඝ්‍ර වර්ධනයට සෘජුවම අකුල්හෙලන මේ පොඩි වදකාරයින් ගෙදරට පැමිණිමට පෙර සිටි යුගය ගැන මතක් වෙන විට ඇසට කඳුලක් නැඟෙනු ඇත. චාමික කරුණාරත්න මැච් එකක් දිනවනවාටත් වඩා කලාතුරකින් සිදුවන දෙමව්පිය එක්වීම් යෝගී ඉරියව් වලින් බට්ටො පනිනවාටත් වඩා අමාරු වැඩකි. සිදුවන ඕනෑම සද්දයක් සෙලවීමක් කැළඹීමක් පොඩි එවුන්ට දැනෙන්නෙ අහස කඩා වැටෙනවා කියාය. පොඩ්ඩ ගැස්සුනොත් පොඩි උං උඩගොස් ඇහැරී අසනා ප්‍රශ්ණ වලට උත්තර දීම රෙදි ගැලවෙන වැඩකි. මේ තත්වයට පත්කරගත්තේ තමන්ගේම පෙර වැරදි නිසා බව මතක් වෙනවිටත් දුක හිතේ. 


බඳින්න පෙර ට්‍රිප් එකක් ගියාම පට්ට ආතල්. කන්න ඕන වෙලාවට බඩ පැලෙන්න කනවා, නිදියන්න ඕන වුනාම නිදියනව, බොන්න ඕන වුනාම බොනව. ඒකට දැන්. කන් බොන්න තියා ඇඳේ නිදියන්න ඉඩක් තියෙන්නේද කලාතුරකිනි. අහවල් රාජකාරි සිදුකිරීම ගැන හිතන්නවත් වෙන්නෙ නැත. මේ තත්වය ඉතාම ශෝචනීයය. මෙහෙම අවධානමක් සහිතව හැසිරීමෙන් වැඩිකල් නොගොස් කලින් දවසෙ රෑ තාත්තා අම්මාගේ පිටසක්වල ජීවී හැසිරීම් අමු සිංහලෙන් පැමිණෙන අමුත්තන්ගේ කනේ තැබීම සිදුවීම වැලැක්විය නොහැක. සමහර අවස්ථා වල අදාල කාර්යයේ නිරතවී සිටින අතරතුරම ගල්ගැසීමට සිදුවන්නේ එහාපැත්තෙ යස අගේට නිදං හිටපු පොඩි එකා වාඩිවෙලා බලං ඉන්නවා දැකීමෙනි. සමහර දරුවන් මේව දැක්ක කියල හොයාගන්න වෙන්නෙ පහුවදා උං කරන දේවල් නිරීක්ෂණය කිරීමෙනි. ඊයෙ අම්මත් එක්ක කරපු සෙල්ලම කරමුකො තාත්තෙ කියල කියනකල් මෙලෝ දෙයක් නොදැන සිටි යාලුවන් මට සිටී.


මෙසේ සිදුවන අකුල්හෙලීම් නිසා දිනෙන් දින කල්යන ශරීර අවශ්‍යතාවයන් නිසා අදාල අවයව අදාල තැන්වල තිබෙනවාද, ඒවා සක්‍රීයව වැඩකරනාවද යන්න ගැනද සැකසහිත බව මගේ යාලුවෙක් දවසක් මට කිවේ ඇඩූ කඳුලිනි. දිගින් දිගටම සිදුවන මෙම තත්වයන් මඟහරවා ගැනීමට යෝජනා කීපයක් ඇත. විවාහක පිරිස් උදෙසාම වෙන්වූ දරුවන් බලාගැනීමට වෙනම ස්ථාන සහිත කාමර පහසුකම් ලබාදෙන හෝටල් ක්‍රමයක් හඳුන්වාදීම වටී. මීට අමතරව විවාහක අයට ට්‍රිප් යාමේදී සිය දරුවන් බාරදී යා හැකි කෙටිකාලීන දරු සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීම සුදුසුය. මේ නිසි බලධාරීන්ටග් අවධානයට ලක්වේවා.. විවාහකයන්ගේ ඩිස්ටි ඩිඩිං අපල දුරුවේවා..