Menu

Sunday, January 15, 2023

ඩිස්ටි ඩිඩිං..


 ඩිස්ටි ඩිඩිං.. 

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 😜⚠


සුවහසක් විවාහක හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා සිය දූදරුවන්ගෙන් දිනපතා ඩිස්ටි ඩිඩිංකරණයට සිදුවන අසීමාන්තික බාධා කම්කොටලු හිරිහැර පිළබඳව බලාගෙන ඉන්නට බැරිම තැන මෙසේ අකුරු කරමි. මෙය මාගේ පමණක් නොව මාගේ මිතුරන්ගේ හතුරන්ගේ වැඩිහිටියන්ගේ අඩුහිටියන්ගේ ඇසගැටුනු නෙතගැටුනු හිතගැටුනු අතිශය සංවේදනාත්මක අත්දැකීම් පදනම්කොටගෙන ලියවී ඇති බව අවධාරණය කිරීම වටී.


බැඳපු එකෙකුට හිතූ සැනින් තමාගේ බිරිඳ සමඟ හැසිරීමට නොහැකි වීම ඛේදවාචකයකි. එයට 200%ක්ම වගකිව යුත්තේ ඔවුන්ගේම දරුවන්ය. දහ අතේ නලවා නිදිකරවා දහසක් බලාපොරොත්තු ඇතුව ලයිට් ඕෆ් කර අදාල ස්ථානගතවීම් සිදුකලද තබනු ලබන පළමු ස්පර්ශයෙන්ම අරුන්ට කරන්ට් එක වැදී මෙන් ඇහැරී කෑගැසීම පුදුමසහගතය. උන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පියන් සිහිකරමින් නැවතත් දහඅට සන්නිය නටා නිදිකරවා පැමිණ මැගී නූඩ්ල්ස් එකක් හදන වෙලාවටත් කලින් රෙඩා පොට් කරන්නේ ආයිත් අරුං ඇහැරුනොත් සියල්ල මුලසිට ඇරඹීමට වඩා එය හොඳ නිසාය.


හැමදාම මෙලෙස හැසිරීමට නොහැකි නිසා කලින් කතාකරගත් දිනයක් යම් සූදානමක් ඇතුව රෝමාන්තිකව ගතකිරීමට යොදාගැනීම බොහෝ වෙලාවට සිදුකරයි. එලෙස සැලසුම්කරගත් කිසිම දිනයක කුඩා වදකාරයින්ට නිදිමතක් එන්නෙ නැත්තේ මොන කරුමයක් නිසාදෝ මම නොදනිමි. ඔවුන් එදාට රෑ 10ටත් බැලුං පුම්බයි. කිරි කිරි බොලේ කරයි. කොපර කොපර පිපිංඤා කරයි. ජිල් ගසයි. පුදුම වැඩ ගොඩකි. අම්මා තාතතාගේ කැමති ක්‍රීඩා ගැන උන්ට කිසිම ගාණක් නැත. නිදිපෙත්තක් හරි දී මුංව නිදිකරවීමට සිතෙන්නේ මේ වෙලාවටය. මෙවැනි දෙමව්පියන් බොහොමයක් වෙහෙසකර දවසකින් පසුව රෑ කල නින්දට යන්නෙ හිස් අතින් තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන සර්වකාලීන බව සිතමින්ය.


ජනගහනයේ සීඝ්‍ර වර්ධනයට සෘජුවම අකුල්හෙලන මේ පොඩි වදකාරයින් ගෙදරට පැමිණිමට පෙර සිටි යුගය ගැන මතක් වෙන විට ඇසට කඳුලක් නැඟෙනු ඇත. චාමික කරුණාරත්න මැච් එකක් දිනවනවාටත් වඩා කලාතුරකින් සිදුවන දෙමව්පිය එක්වීම් යෝගී ඉරියව් වලින් බට්ටො පනිනවාටත් වඩා අමාරු වැඩකි. සිදුවන ඕනෑම සද්දයක් සෙලවීමක් කැළඹීමක් පොඩි එවුන්ට දැනෙන්නෙ අහස කඩා වැටෙනවා කියාය. පොඩ්ඩ ගැස්සුනොත් පොඩි උං උඩගොස් ඇහැරී අසනා ප්‍රශ්ණ වලට උත්තර දීම රෙදි ගැලවෙන වැඩකි. මේ තත්වයට පත්කරගත්තේ තමන්ගේම පෙර වැරදි නිසා බව මතක් වෙනවිටත් දුක හිතේ. 


බඳින්න පෙර ට්‍රිප් එකක් ගියාම පට්ට ආතල්. කන්න ඕන වෙලාවට බඩ පැලෙන්න කනවා, නිදියන්න ඕන වුනාම නිදියනව, බොන්න ඕන වුනාම බොනව. ඒකට දැන්. කන් බොන්න තියා ඇඳේ නිදියන්න ඉඩක් තියෙන්නේද කලාතුරකිනි. අහවල් රාජකාරි සිදුකිරීම ගැන හිතන්නවත් වෙන්නෙ නැත. මේ තත්වය ඉතාම ශෝචනීයය. මෙහෙම අවධානමක් සහිතව හැසිරීමෙන් වැඩිකල් නොගොස් කලින් දවසෙ රෑ තාත්තා අම්මාගේ පිටසක්වල ජීවී හැසිරීම් අමු සිංහලෙන් පැමිණෙන අමුත්තන්ගේ කනේ තැබීම සිදුවීම වැලැක්විය නොහැක. සමහර අවස්ථා වල අදාල කාර්යයේ නිරතවී සිටින අතරතුරම ගල්ගැසීමට සිදුවන්නේ එහාපැත්තෙ යස අගේට නිදං හිටපු පොඩි එකා වාඩිවෙලා බලං ඉන්නවා දැකීමෙනි. සමහර දරුවන් මේව දැක්ක කියල හොයාගන්න වෙන්නෙ පහුවදා උං කරන දේවල් නිරීක්ෂණය කිරීමෙනි. ඊයෙ අම්මත් එක්ක කරපු සෙල්ලම කරමුකො තාත්තෙ කියල කියනකල් මෙලෝ දෙයක් නොදැන සිටි යාලුවන් මට සිටී.


මෙසේ සිදුවන අකුල්හෙලීම් නිසා දිනෙන් දින කල්යන ශරීර අවශ්‍යතාවයන් නිසා අදාල අවයව අදාල තැන්වල තිබෙනවාද, ඒවා සක්‍රීයව වැඩකරනාවද යන්න ගැනද සැකසහිත බව මගේ යාලුවෙක් දවසක් මට කිවේ ඇඩූ කඳුලිනි. දිගින් දිගටම සිදුවන මෙම තත්වයන් මඟහරවා ගැනීමට යෝජනා කීපයක් ඇත. විවාහක පිරිස් උදෙසාම වෙන්වූ දරුවන් බලාගැනීමට වෙනම ස්ථාන සහිත කාමර පහසුකම් ලබාදෙන හෝටල් ක්‍රමයක් හඳුන්වාදීම වටී. මීට අමතරව විවාහක අයට ට්‍රිප් යාමේදී සිය දරුවන් බාරදී යා හැකි කෙටිකාලීන දරු සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීම සුදුසුය. මේ නිසි බලධාරීන්ටග් අවධානයට ලක්වේවා.. විවාහකයන්ගේ ඩිස්ටි ඩිඩිං අපල දුරුවේවා..