නිදි කිරිල්ල...
ලොව ඇති පහසුම කියා පෙනෙන අතිශය භයංකරම කාර්යය මට දැන්නං මේ ළමයි නිදිකෙරිල්ලය. ඇහැරලා ඉන්නවට වඩා නිදි කෙරුවාම දැනෙන නිවන ලබාගැනීමට කරන දුෂ්කර ක්‍රියාවනං කියලා වැඩක් නැත. අතට අහුවෙන ඕනම මඟුලක් කමින්, ප්ලග් පොයින්ට් වල ඇඟිලි ගසමින් සිය දිවි හානි කරගැනීමට පොඩි උං වෙහෙසෙන්නේ සමහර විට කවනවා-නිදි කරනවා-කවනවා-නිදි කරනවා වැනි කිසි තේරුමක් නැති ජීවිතයක් මොකට ගෙවනවාදැයි සිතෙන නිසා වෙන්නට පුලුවන. ඒත් අපිද ජීවත් විය යුතු නිසා උංව නිදි කිරීම අපේ ලොකුම වැඩේ වී ඇත. සමහර වෙලාවට මේක අපේ රටේ අවුලක්දැයි මට සිතේ. වෙනරටවල ළමයි කොට් වල තනියම නිදියනවා යැයි මං අසා ඇත. ඒකනං ලෝක පුදුමයකි.
අමාරුම පාට් එක උං ඇඳට ගැනීමය. රෑ වෙනව දවල් වෙනව එළි වෙනව තියා කාලය ගැන කිසිම හැඟීමක් නැති එකෙක්ව දැන් නිදියමු කියා ගෙනයාමම ගේමකි. කොහොමහරි ගෙනිච්චත් නිදියාමට පෙර උංගේ සියලු අවශ්‍යතා අපි විසින් සපුරාලිය යුතුය. කතානං කතා, සිංදුනං සිංදු, නැටුං නං නැටුං විතරක් නොවේ උං කිව්වොත් අපිට ඔය තුනම එකවර වුවද කිරීමට සිදුවනු ඇත. පට්ට ගෙමක් ගසා යංතං ඇස් පියවීගෙන එනවිට මොකක්හෝ කියා නැවත නැඟිටීම පොඩි එවුංගේ ජන්ම ගතියකි. වතුර තිබහක්, චූ බරක්, බඩගින්නක් හෝ මුකුත්ම නැත්තං මාසෙකට කලින් වැටුනු එකක කැක්කුම දැන් සිහිවීම වැනි රටේ නැති ඕනෑම අවශ්‍යතාවක් එකවර මතක් වී ඉද්ද ගැහුව වගේ කෙලිං වෙන්නෙ උට නින්ද යයි කියා බයටය. ඇත්තටම කිව්වොත් උංව නිදි කරන්නට අපි උන්ට වඳින්නැති ටික විතරය.
මේ වෙලාවට ගෙදර කිසිම වැඩක් සාමාන්‍ය ලෙස කිරීම අපට අවසර නැත. ටීවී බැලීම, අස් කිරීම, පිඟන් සේදීම, ඉඳගෙන සිටීම, ඇවිදීම තියා හයියෙන් කල්පනා කිරීමවත් කල නොහැක. උං එච්චරටම සංවේදීය. ගෙදර සියලු සද්ද නවතා, දාඩියට පිඹිමින්, කකුල් කැඩෙනකල් වනමින්, කට රිදෙනකල් සිංදු කතා කියවමින් නිදිකල පසුව ඌව ඇඳ මත තැබීම මීළඟ මෙහෙයුමයි. මීට පෙර ජීවිතේ කිසිම දවසක එතරම් පරිස්සමෙන් කිසිම වැඩක් කර ඇත. මොකද මූ ඇහැරුනොත් කන්නට වෙන පරිප්පුව දන්නා නිසාය. දශමයක්වත් නොසොල්වා ඇඳ මත තැබීමට හැදුවත් දෙපාරක්වත් ඇහැරී නැවත නිදිකරවීමට වීම සාමාන්‍ය සිරිතය. ඒ මේ අස්සේ එන බෝතල් පත්තරකාරයන්, චූන් පාන් වෑන්, මාලුකාරයන්, මීකිරි කෙල්ලන් වැනි උන්ගේ ලවුඩ්ස්පීකර් සද්දයනං වහකි. යංතං ඇහැ පියවෙනකොටම එකෙක් යයි. දවසක ඕකුන් මගෙන් මැරුම් කන්නෙ පොඩි එකා නිදිකරවා වැදගත් වැඩක් 😜 කරමින් සිටින අතරතුරක ගියොත්ය. අන්න එදාට මීකිරි කෙල්ල මංගැන හරියටම දැනගනු ඇත.
කෙසේ හෝ ඇඳෙන් තිබ්බාම මීලඟ කාර්යය නෙට් එක දැමීමය. ස්පයිඩ මෑන් බිල්බිම උඩ යනව වගේ කකුල් අත් විහිදාගෙන ඇඟේ පොඩ්ඩක්වත් නොගෑවෙන්නට මෙය කිරීමට දඟලන දැඟලිල්ල දැක්කොත් තනි ඇහැට ඇඬෙනවාය. ඒකටත් එක්ක අපේ ඇඳවල් මරුය. අඩියක් තියන තියන සැරයක් ගානෙ ලී ඇඳං වල සද්දයට අරූ උඩ යයි. මං මෙට්ටෙ හපාගෙන කොට්ට බදාගෙන බිමට පැනගන්නේ ආයිමත් සිදූ මුලසිට බැලීමට හිතේ හයියක් නැති නිසාය.
මෙතෙක් වේලා කියපු කරපු සේරම ලෙසටම කලත් ඇඳෙන් බැස යන ටිකට කකුලට උගෙම චීස් බීස් සෙල්ලං බඩුවක් පෑගීම, මේසයක් පෙරලීම, හචිමක් යාම, දොරේ හැප්පීම වැනි දේවල් ඉතාම සුලභ සිද්දිය. ඒවායේ ප්‍රතිඵල නැවත පැයගාණක් අතිවිඳින්නට සිදුවේ. මුකුත්ම නැත්තං කකුලෙ ඇටයක් හරි කැඩෙන සද්දෙට ආයිත් ඇහැරෙන අවස්ථාද එමට ඇත. උංට ඇත්තේ පුදුම කංය. ඇහැරලා ඉන්න වෙලාවට නම කියා දහ අතේ බෙරිහං දුන්නත් කනකට නොගන්න එකාට නින්දේදී අධි සංවේදී කං ලැබෙන්නේ කෙසේදැයි මට තාමත් පුදුමයකි.
කොහොමවුනත් මොනතරම් ගේමක් ගසා ලේ පුච්චගෙන ඇඳෙන් තියා බැස්සත් පසුව ඌ නින්දෙන්ම යංතමින් සිනහවෙන්නේ මෙතෙක් කල කී දෑ සියල්ල දැක මට කෝචොක් එකට වගේය. ඒත් අර අමාරු සේරම අමතක කරවන ඒ හිනාවනං ඉනාවකි.