Menu

Thursday, May 14, 2020

නැලවිලි ගී..

 

මේ දවස් වල ගෙදර වැඩිපුර ඉන්න නිසා කරනන දෙයක් නැති නිසා ගොඩක් වෙලාවට කරන්නෙ ළමය බලාගන්න එක. ඒකටත් ඉතිං තියෙන්නෙ පුදුම හැකියාව් නිසා අඬන එක නවත්තන්න කරන්න පුලුවන් හැම රෙද්දම කරනව. බැරිම වුනොත් ෆෝන් එකේ සිංදුවක් දාලාහරි නලවගන්නෙ කරන්නම දෙයක් නැතිකමට නෙවෙයි කම්මැලිකමට.

කොහොමහරි ඔහොම කරද්දි අපි අහන ඒවා දාලා බෑනෙ. හෙව්වා ළමා ගී ටිකක්. යූ ටියුබ් එකේ. අම්මටසිරි. තියෙනව අම්බානට.සිංහල නං සිංහල. ඉංග්‍රීසි නං ඉංග්‍රීසි. දෙමළ නං දෙමළ. ඕන එකක් තියෙනව. අපේ ළමයි හදන්නෙ ෆුල් සිංහල විදියට. දාන්නෝන සිංහල එකක්.

ඉතිං හොයාගත්ත කියමුකො. දැම්ම පලවෙනි එක. "සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ" ෂඃ මරු. කාටුන් පාරකුත් එක්ක වැඩේ නැගල යනව. පොඩ්ඩටත් හෙන හැපි. යකෝ මැද හරියට යනකොටනෙ තේරුනේ. මේක තනිකරම බාලවයස්කාරයෙක් වැඩට තියාගෙන ඉන්න එකක් ගැන කියන කතාවක්. හෙන නීතිවිරෝධියි. අවුරුදු අටයිලු ගස් නගිනවලු පොල් කඩනවලු පව්යකෝ. එමෙ ඒවා පොඩි එවුන්ට කියල දෙන්න පුලුවන්ද. දඩස් ගාලා ඕෆ් කලා. මෙන්න මේකා ආයි අඬන්න ගත්ත.

ආයි බැලුව එකක්. දැම්ම. "සුරතල් නංගියෙ අපෙ අම්මා" නියමයි. ඒත් පළවෙනි පද දෙක යනකොටම මොකක්හරි අවුලක් තේරුණා. නිකං අම්මගෙයි තාත්තගෙයි කලින් කසාද වල ළමයි දෙන්න අම්මටත් තාත්තටයි රණ්ඩු වෙනව වගේ එකක්. අරූ අම්ම හොඳයි කියනව. කෙල්ල තාත්තා හොඳයි කියනව. පවුල් ප්‍රශ්ණනෙ දෙයියනේ. යකෝ එහෙම ඒව කොහොමද ළමයින්ට අහන්න දෙන්නෙ. අපිත් වසල හමාරයි. භාගයක් යද්දිම නැවැත්තුව ඒකත්. ආයිත් අඬනව කියාංකො.

තව ටිකක් හෙව්වා. දැම්ම තව එකක්. "කොටු වැටිච්ච පුංචි සරම" ටයිට්ල් එකම හරිගියෙ නෑ මට. ඒත් දාලා බැලුව. කොටු වැටිච්ච කිව්ව ගමන් අපිට ඔලුවට එන්නෙ නිකං අර ටීවී එකේ කොටු කොටු දාන ජිංකිජිකා සීන් එකක්නෙ. අහගෙන යද්දි යකෝ හිරිකිතයිනෙ අහං ඉන්න. මල්ලියෙක් හුරතල් කරන මඟුලක් යන්නෙ මං පැනපු ගමන් නැවැත්තුව. චිඃ විතරක් යකෝ ළමා ගී කියලා මේවා දානවද. අපිත් අසරණ වෙනවනෙ. වට පිට බලල හිත හදාගෙන තව එකක් හෙව්වා. පොඩ්ඩ අඬනව හූ තියල.

දම්ම "හිංචි පිංචි හාවා" ඒකෙ බීට් එක මරු. පොඩි එකාටත් ආතල්. අඩෝ මේ මොකක්ද මේ කියන්නෙ. තනිකරම පීඩිත පංතිය තවත් පීඩනයට පත් කරන එකක් ගැන ව්‍යංගාර්ථයෙන් කියනවනෙ. පුලුවන් එකා බැරි එකාට කිංඩිය දාන්නනෙ මේ හදන්නෙ. අපේ රටේ හැමදාම වුනේ මේකනෙ. තියෙන එකාට හැමදේම තියෙනව. නැති එකාට මොන රෙද්දක්වත් නෑ. අනික තමුසෙ වගේ වචන පාවිච්චි කරල අපේ පොඩි උනුත් නරක් වෙනව. ධනපති පංතිය හැමදාම කලේ බැරි එකෙක්ව අල්ලගෙන උන්ටම කෙලවන්න හදන එක. පුලුවන් එකා කරන්න පුලුවන් හැම ජරා වැඩේම කරගෙන අර අසරණයව තවත් පාගන්න තමයි හදන්නෙ. මේව අහන්න දෙන්නෙ කොහොමද පොඩි උන්ට. පොඩි කාලෙ ඉඳන්ම සම අයිතීන් ගැන කියල දෙන්නෝන. හැමෝටම එක විදියට සලකන්න ඉගෙනගන්නෝන. නැවැත්තුව ඒකත්.

මේක ආයිත් අඬනව. යකෝ පොඩි එකෙක්ව හදිස්සියකට නලවගන්න සිංදුවක් නෑනෙ. මෙන්න මේ වෙලාවට තමයි ගෝඨාභය ස'ගෙ බස්වලට දුන්නු සුභාවිත සිංදු සීඩී එකවත් තිබුනනං කියල හිතෙන්නෙ. 

අම්මටසිරි. මේ තියෙන්නෙ බඩු. යූ ටියුබ් එකේ නිකං උඩට පහලට යද්දි හම්බුනා සුපිරියක්. "Rowdy baby".. අන්න සිංදු. දැම්ම නිකමට වගේ. මෙන්න යකෝ මේකා නටනව. පොරට මර හැපි..

Hey... en goli sodavae

En kari kozhambae

Un kutty puppy naan

Take me..

Take me..

ඇහුව දිගටම..

Wednesday, April 22, 2020

අනාගත වීරයන්..

 

නිදහසට කිට්ටු මේ කාලෙ ඒ කාලෙ හිටපු ජාතික වීරයො යුද්ධ කරපු කැරළි ගහපු හෙන වැඩකාරයො ගැන නිතර කියවෙන කාලයක්නෙ.

එහෙම කතා කරද්දි ඇත්තටම ඒ කාලෙ අයගෙ නම් කියද්දිත් නිකං ඇඟේ මවිල් කෙලිං වෙන සීන් එකක්නෙ තියෙන්නෙ. වීර පුරංඅප්පු.. හම්මා.. කොහොමද ගැම්ම. වීර කැප්පෙටිපොළ, ගොංගාලේ ගොඩ බණ්ඩා.. ආයෙ ඉතිං සුද්දන්ට නෙවෙයි අපිටත් චූ බර හැදෙනවනෙ ඒ නම් ඇහුවත්.

නිකමට හිතුනෙ. අඩේ අපේ දැන් නම් එහෙම කිසි ගැම්මක් නෑනෙ. හදිස්සියෙවත් මේ නම් තියෙන එවුන් ඒ කාලෙ ඔය සටන්, කැරලි, අරගල වල හිටියනං සුද්දො හිනාව නවත්තගන්න බැරුව ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු සිංදුව කියාගෙන මුහුදට පැනලා මැරෙන්නෙ.

දැං බලපං.. මගෙ නමම ගත්තත්. වීර අසංක මිහිර.. මොන විලිලැජ්ජ නැති නමක්ද ඕයි ඒක.

නිකමට තමන්ගෙ නමට දාලා බලපල්ලා. මෙලෝ රහක් නෑ.

වීර රංජන් රාමනායක, වීර භාතිය ජයකොඩි, කන්ද උඩරට කුමාර සංගක්කාර, වීර චතුර අල්විස්, මැදමුලනේ රෝහිත රාජපක්ෂ (ඒකනං ලඟදිම ඉතිහාසගතවෙයි වගේ) කිව්වට ගැලපෙන්නෑ වගේම දැන් අලුතෙන් දාන උන්ගෙ නම් එක්ක මේවා දැම්මනං සුද්දො ඒ නම් කියන්න ගිහිං දිවට සමනලගැටේ වැටිලා මැරෙන්නෙ.

වීර ටෙනුක ඩුල්වින්, කුරුණෑගල ජිංතුක ටොමල්ජිත්, කොලොන්නාවේ තිසේන් දින්සර, වීර මෙහෙන්ස ලිත්සුක, ලෝක පූජිත කුමාර සංගක්කාරේ ඖචිත්‍ය කෙම්සර....

හිනාවෙන්නෙපා බං. ඉස්සරහට ඇමරිකන් කාරයන්ගෙන් අපේ රට බේරගත්ත එහෙම ජාතික වීරයොත් බිහිවෙයි. අන්න එදාට මේ නම් කටපාඩම් කරන්න ගියාම තමයි තනි ඇහැට ඇඬෙන්නෙ..

Friday, April 3, 2020

ගෝනුස්සන්ට...

 

පොරක් ගඟක් ගාව ඉද්දි දකිනවා ගඟ දිගේ පහළට ගෝනුස්සෙක් ගහගෙන එනවා. ඌ සැඩ පහරට අහුවෙලා එද්දි අර මනුස්සයා ගාවදි ඉවුරෙන් පාත්වෙලා තිබුනු කොල අත්තක දැවටුනාලු. ඒත් ඌට වතුර පාරෙ සැරකම හිංදා උඩට එන්න බෑ.

මේක දැකපු අර මනුස්සයා නැඟිටලා ඇවිත් අත අර ගෝනුස්සට කිට්ටු කලාලු. බය වෙච්ච ගෝනුස්සා අරූගෙ අතට දශ්ඨ කාලාලු. ඒ වේදනාව කාගෙනම අරූ ආයෙ ආයෙත් ට්‍රයි කරනවලු මේකව අතට අරන් ගොඩින් තියන්න. හැමපාරම අරූ දෂ්ඨ කරනවලු. මූත් වැඩේ අතාරින්නෙම නෑ.

ඔය අතරෙ ඔතනින් යන මිනිහෙක් මේක දැකලා..

"ඒයි මෝඩ මිනිහෝ.. මොකක්ද ඔය කරන්නෙ. මැරෙන්නද හදන්නෙ. පේන්නැද්ද ඕකා ගෝනුස්සෙක්. ඔච්චර කාලත් ඔය වැඩේ නතර කරන්නැත්තෙ තමුසෙට පිස්සුද??" ඇහුවලු.

"මම දන්නවා බං. මේ මේ සතාගෙ හැටි. ඌ උගෙ ස්වභාවික නොමැරී ඉන්න උට උරුම වෙච්ච දේ අනුව දෂ්ඨ කර කර නොමැරි ඉන්න හදනවා.

ඒත් මේ මගේ හැටි. මං මොකටද මූ හිංදා මගේ ජීවිතයක් බේරගන්න අදහස අත්ඇරගන්නෙ.."

ඒ මිනිහා ආයෙත් අත දික් කරන ගමන් කිව්වලු.

Wednesday, March 11, 2020

Exam Results...

A/L results out වෙනවා කියලා දැනගත්ත මට මගේ ජීවිතේ වෙච්ච එක කුජීත සිද්ධියක් මතක් වුනා. කුජීතයි කියන්නෙ ඉතිං වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති චාටර් වැඩක් මේක.

අපේ ගෙදර තිබුන කමියුනිකේෂන් එකක්. දන්නවනෙ ඉතිං විභාග ප්‍රතිඵල නිකුත් වෙන කාලෙට හෝසෙට සෙනඟ. අනිත් කමියුනිකේෂන් වගේම අපේ එකටත් හෙන සෙට් එකක් බහිනවා ප්‍රතිඵල බලන්න. 

ඉතිං මේකයි කතාව. හා හා පුරා කියලා මාත් ලිව්වනෙ උසස් පෙළ. ආයෙ ඉතිං දන්නවනෙ සුපිරියටම පාඩම් කරලා, ටක්කෙටම ෂෝට් නෝට් ගහලා, අම්බානට පාස් පේපස් කරලා විභාග කරන සිරිතක් අපේ නෑනෙ. පංතිනං පංති, ගෙදර නං ගෙදර, ඉස්කෝලෙනං ඉස්කෝලෙ කොහෙ හිටියත් පොතේම ඉන්න එක අපිට දිරවන්නෑනෙ. ඉතිං කෙලියෙම පිස්සු තමයි. කෙල්ලො දිහා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවෙ. ඉගෙනීම ආගමක් විදියට සලකලා දවසට තුන්වරක් දත්මැදලා කරපු පාඩම් වල අති ශෝචනීය ප්‍රතිඵල නිකුත් වෙන්න යනවයි කිව්වම කොයි තරං උනන්දුවෙන්, ආසාවෙන්, ජුජුබ්සාවෙන් බලං හිටියද කියනවනං ආතල් එක කන් දෙකෙන් බේරෙන්න අහගන්න වෙන එක මතක් වෙද්දිත් කකුල් දෙක මැඩ්ලින් ගහන සයිස් එකක් තිබුනෙ.  ඒතරං දරුණු, සිත්ගන්නාසුලු, ශෘංගාරාත්මක ඉගෙනීමේ හැකියාවක් තිබුනු කොල්ලො අපි.


ඔන්න ඉතිං ඒ ඓතිහාසික දවස උදාවුනා කියමුකො. කමියුනිකේෂන් එකේ අයිතිකාර පදවිය හිමි පියාණන්ට පිං සිද්ධවෙන්න ප්‍රතිඵල එළිබැස්ස උදැහැනැක්කෙම කුකුලත් අතෙන් අරන්... ආ නෑ නෑ ඉන්ඩෙක්ස් නම්මරේ අතින් අරන් අම්මයි තාත්තයි කඩේට ගියේ හරිම මුස්පේන්තු හැඟීමකින් කියලා කඩේ හිටපු අනිත් අයටත් තේරුණා මයෙහිතෙ. ඒ තරං සුපිරි ට්‍රැක් රෙකෝඩ් එකක් හිමි පුතයෙක් මං.

අයියා කට්ටිය එතනට ආවට පස්සෙ අම්මගෙන් නම්මරේ ඉල්ලගෙන ඉන්ටනෙට්ටුවේ කී බෝඩ් එකෙන් කොටද්දි මගේ පපුවට කටුවකින් කොටනව වගේ හැඟීමක් කංකාල පේශි හරහා ගියේ මං bio කරපු නිසාම වෙන්නැති.

එන්ටර් එක ගහලා ඒකාලෙ තිබුනු අන්තර්ජාල වේගය නිසාම පේජ් එක ලෝඩ් වෙන්න විනාඩියක් විතර යනවා. එතකං කැරකි කැරකි තියෙන මවුස් පොයින්ටරේ ජීවිත කාලෙම කැරකි කැරකි තිබුනනං කොච්චර ආතල්ද කියලා හිතෙන්න ගන්න කොටම මෙන්න යකෝ ආවා ප්‍රතිඵල.

මට හික් ගෑවුනා. බී දෙකයි සී එකයි. මං ඇස් දෙක පිහදාලා, දෙපාරක් උඩ පැනලා, කන්දෙකත් ගසලා දාලා ආයෙත් බැලුවෙ මට නිට්ටාවටම ඒක මගේමද කියලා අදහගන්න බැරිවෙච්ච නිසා. තාත්තටත් ෆුල් හැපි. අම්මට පහකුත් දාලා වටේ හිටපු අය දිහාත් උජාරුවෙන් බලලා මටත් තට්ටුවක් දාලා "මං හිතුවා" කියලා කියද්දි මට ඇඬෙන සයිස් සතුටක් ආවෙ.

මං කෝකටත් ආයෙත් ප්‍රතිඵල දිහා බැලුවෙ ආයෙත් අංකෙ චෙක් කරන ගමන්. කෙලියා තාප්පෙට කියහංකො. අංකෙ මගේ එක නෙවෙයි. කලිං ප්‍රතිඵල බලපු එකෙක්ගෙ එකක් ආයෙත් ලෝඩ් වෙලා. මං ඒක දැක්කට මොකද කියාගන්න කට ඇරගන්න තියා මෙච්චර කල් කතාකලේ කටෙන්ද කියලවත් හිතාගන්න බැරුව හිටියෙ. ඕන කෙහෙල්වත්තක් පාරෙ යන්න කියලා හිතාගෙන ලැජ්ජාව පැත්තකින් තියලා මං කිව්වා නම්මරේ වැරදියි නේද ආයෙත් චෙක් කරලා බලන්න කියලා.

අම්මටසිරි අයියත් දඩ බඩ ගාලා ඒක මකලා අම්ම දුන්නු නම්මරේ ආයෙත් කොටද්දි මට දැනුනෙ මොනවගේ හැඟීමක්ද කියලා කියන්න වචන තාම හොයාගෙන නෑ. කලින් විනාඩියක් ගත්ත ඉන්ටනෙටුත් මට කෙලවන්න හිතාගෙන පේජ් එක ලෝඩ් වුනේ හූ කියාගෙන.

අන්න ප්‍රතිඵල. ඒකනං මගේමයි කියන හැඟීම මගෙ පුංචි මොළේට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එෆ් දෙකයි එස් එකයි. මොන එහෙකට ඒ එස් එක ආවද කියලා මං දහ අතේ කල්පනා කරද්දි අපේ තාත්තා වොලී බැස්ටියන්ගෙන් පටන් අරන් බයිලා සැන්ටි වෙනකල් විතරක් නෙවෙයි මිල්ටන් මල්ලවාරච්චිගෙ පවා රැප් ගායනා සිහි කරා විතරක් නෙමෙයි මං කල කී නොකී දෑ ගැන මල් සිංදු මගෙ දෙසවන් සිසාරා රැව් පිලි රැව් දෙන්න සැලැස්සුවා.

කුජීත දෙයක් දෙයක් පට්ට කුජීතව ප්‍රකාශ කරන ආකාරය ගැන ප්‍රායෝගිකව කියාදුන් අයියාට හද පතුලෙන්ම ස්තූති වන්ත වෙන ගමන් එතනින් චුත වුනු මට ආයෙ හිටපු ඉස්කෝල, ගියපු පංති විතරක් නෙවෙයි හිටපු යාලුවොත් සේරම අලුතෙන්ම හොයාගන්න තැනට වැඩ සිද්ධ වෙන්න සතියක්වත් ගියේ නෑ. මෙවර විභාග ප්‍රතිඵල බලන උන්ට එවන් අකල් චරිත ඝාතන සිදුනොවේවායි මාගේ ඒකායන ප්‍රාර්ථනයයි..

Wednesday, February 5, 2020

වී මල්පබා....

 

ඇත්තටම මේ සිංදුව මොකක්ද? මොකද්ද මේකෙ තේරුම. හරියටම මටත් අද තමයි තේරුණේ. ඇත්තටම මේක මරු සිංදුවක්. අපි පදෙන් පදේ අරන් බලමු මේ කියන්නෙ මොකක් ගැනද කියලා.

"වී මල්පබා..

වෙල ලඟ නළ සමඟ තුටින

රණට දිලෙන දමක ලෙසින

තුරුණු වියට උරුම කියන 

මල්පබා.."

මේ මුලින්ම කියන වී මල්පබා කියන එක ගොඩක් අය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. මෙතන සිංහල ඉංග්‍රීසි දෙකම බොහොම සියුම්ව නොතේරෙන්න භාවිතා කරලා තියෙනවා. වී කියන එක ඇත්තටම අපි දන්නවා ඉංග්‍රීසි වචනයක්. We කියන්නෙ "අපි" කියන අර්ථ ඇතුව මෙතනදි කියන්නෙ "අපි මල්පබා" කියන එක. එතකොට කවුද මේ මල්පබා. බලමු තව ටිකක් ඉස්සරහට.

"වෙල ලඟ නළ සමඟ තුටින" කියන්නෙ වෙලක් අසල සුළං පාරත් එක්ක සීතල මැද්දෙ බොහොම සංතෝෂයෙන් තියෙන හෝ ඉන්න කෙනෙක් හෝ දෙයක් ගැන. "රණට දිලෙන දමක ලෙසින" කියන දෙයින් අදහස් කරන්නෙ යම්කිසි කණ්ඩායමක් ගැන. හරියට යුද්ධෙට යන්න වගේ ලෑස්ති වෙලා ආයුධ අතැතිව (පස්සෙ මේක තව පැහැදිලි වෙයි) එකාවගේ ඉන්න කණ්ඩායමක් ගැන තමයි මේ කියන්නෙ. තුරුණු වියට උරුම කියන කියන එකෙන්නං පැහැදිලි වෙනවා මේ අයට තාරුණ්‍යයට බොහොම සම්බන්ධදෙයක් කරන පිරිසක්. තුරුණු බව උරුමකර දෙන කතාවකුත් යන්තමින් කියවෙනවා. ඒක වැදගත් පොයින්ට් එකක්. තාම හරියට තේරෙන්නෙ නෑ මේ මල්පබා කවුද/මොකක්ද කියලා. ඒ තරම් සූක්ෂම විදියට මේ රචකයා මේක ඉතාම සංයමයකින් ලියලා තියෙන බව පේනවා.

"එකිනෙක ගෙන.. තාලයකට

රන් නටුවක අමුණාගෙන"

මේ ඉතාම සෞන්දර්යාත්මක විදියට මොකක්ද කියන්නෙ. මෙතනදි තමයි රචකයා හරියටම මේ මල්පබා මොනාද කරන්නෙ කියලා එළියට දාන්නෙ. මං පැහැදිලි කරන්නං. මෙතන රන් නටුව කියන එක ඇත්තටම උපමාවක්. ඒකෙන් කියවෙන්නෙ පනාවක් ගැන. කොණ්ඩ කැරලි එකින් එක අල්ලමින් පනාවෙන් පිළිවෙල කරගනිමින් කරන වැඩක් ගැන තමයි මෙතන කියවෙන්නෙ. 

"සුළං සැරෙන් පීරාගෙන

We මල්පබා.."

මෙතනනං දැන් හැමෝටම පැහැදිලි ඇති. සුලං සැරෙන් පීරාගෙන කියන්නෙ hair dryer එකෙන් කොණ්ඩෙට අල්ලමින්, පීරමින් කොණ්ඩ කපන තැනක් තමයි මේ මල්පබා කියන්නෙ. හොඳට ඇහවොත් මෙතනදි සංගීතවත් කරද්දි hair dryer එකක ශබ්දය පවා එකතු කරලා තියෙනවා. තව දුරටත් කිව්වොත් saloon එකේ නම තමයි "මල්පබා".

අපි තව ඉස්සරහට බලමු.

"වප් මඟුලට බුද්ධ බෝග

හැම අටුකොටු පිරීයාන්.. ආ..."

මෙතන තියෙන්නෙ ප්‍රාර්ථනයක්. හැමෝගෙම කොණ්ඩ සරුසාරෙට වැවීයන් කියන එක ඉතාම සංඛේතාත්මකව උපහැරණයකින් බොහොම ලස්සනට කියලා තියෙනවා වගේම ඒකෙන් මොවුන්ට ලැබෙන ප්‍රතිලාභ එහෙමත් නැත්නං වාසිය ගැන ඊලඟ පද පෙලින් කියනවා.

"වසන්තයට ගී ගයන්න

කොවුල් රැලට අඬගහන්න"

කියලා මේ අය අරාධනා කරනවා හැමෝටම එන්න කියලා මේ අපූරු saloon එකෙන් කොණ්ඩෙ කපන්න. ඒවගේම එහෙම ආවම ඔවුන්ට වසන්තය උදාවෙන බව ව්‍යංගව කියන්නත් රචකයා දක්ෂ වෙලා තියෙනවා. දැන් අර මුලින් කිව්ව ආයුධ අතැතිව ඉන්න තරුණ කණ්ඩායමේ කතාවත් තව ටිකක් පැහැදිලි ඇති. ඒ ආයුධ කිව්වෙ කඩු කිනිසි නෙවෙයි කතුරු දැලිපිහි trimmer වගේ දේවල්. ඇත්තටම අති විශිෂ්ට ලිවීමක්.

අපි "මල්පබා"...

බලන්න ඒක කොයිතරම් අපූරු යෙදවීමක්ද කියලා. මං හිතන්නෙ ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. අදින් පස්සෙ මේ සිංදුව ඇහෙද්දි හොඳට අහලා බලන්න. ඇත්තටම මේ සුන්දර "මල්පබා" Saloon ගීතය කොයිතරම් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. කොයිතරම් වෙනස් විදියට මේක කියලා තියෙනවද කියනවනං ඇත්තටම වෙහෙරලියද්ද මහත්මයාවත් මේකෙ සැබෑ තේරුම දන්නෙ නැතුව ඇති..

ප.ලි. මේක නෙවෙයි මේකෙ තේරුම කියලා කියන උන් දෙතුන් පාරක්වත් මේක අහපල්ලා. ඇත්ත කතාව ඕක තමයි