Menu

Wednesday, March 11, 2020

Exam Results...

A/L results out වෙනවා කියලා දැනගත්ත මට මගේ ජීවිතේ වෙච්ච එක කුජීත සිද්ධියක් මතක් වුනා. කුජීතයි කියන්නෙ ඉතිං වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති චාටර් වැඩක් මේක.

අපේ ගෙදර තිබුන කමියුනිකේෂන් එකක්. දන්නවනෙ ඉතිං විභාග ප්‍රතිඵල නිකුත් වෙන කාලෙට හෝසෙට සෙනඟ. අනිත් කමියුනිකේෂන් වගේම අපේ එකටත් හෙන සෙට් එකක් බහිනවා ප්‍රතිඵල බලන්න. 

ඉතිං මේකයි කතාව. හා හා පුරා කියලා මාත් ලිව්වනෙ උසස් පෙළ. ආයෙ ඉතිං දන්නවනෙ සුපිරියටම පාඩම් කරලා, ටක්කෙටම ෂෝට් නෝට් ගහලා, අම්බානට පාස් පේපස් කරලා විභාග කරන සිරිතක් අපේ නෑනෙ. පංතිනං පංති, ගෙදර නං ගෙදර, ඉස්කෝලෙනං ඉස්කෝලෙ කොහෙ හිටියත් පොතේම ඉන්න එක අපිට දිරවන්නෑනෙ. ඉතිං කෙලියෙම පිස්සු තමයි. කෙල්ලො දිහා නෙවෙයි ඇහැක් ඇරලා බැලුවෙ. ඉගෙනීම ආගමක් විදියට සලකලා දවසට තුන්වරක් දත්මැදලා කරපු පාඩම් වල අති ශෝචනීය ප්‍රතිඵල නිකුත් වෙන්න යනවයි කිව්වම කොයි තරං උනන්දුවෙන්, ආසාවෙන්, ජුජුබ්සාවෙන් බලං හිටියද කියනවනං ආතල් එක කන් දෙකෙන් බේරෙන්න අහගන්න වෙන එක මතක් වෙද්දිත් කකුල් දෙක මැඩ්ලින් ගහන සයිස් එකක් තිබුනෙ.  ඒතරං දරුණු, සිත්ගන්නාසුලු, ශෘංගාරාත්මක ඉගෙනීමේ හැකියාවක් තිබුනු කොල්ලො අපි.


ඔන්න ඉතිං ඒ ඓතිහාසික දවස උදාවුනා කියමුකො. කමියුනිකේෂන් එකේ අයිතිකාර පදවිය හිමි පියාණන්ට පිං සිද්ධවෙන්න ප්‍රතිඵල එළිබැස්ස උදැහැනැක්කෙම කුකුලත් අතෙන් අරන්... ආ නෑ නෑ ඉන්ඩෙක්ස් නම්මරේ අතින් අරන් අම්මයි තාත්තයි කඩේට ගියේ හරිම මුස්පේන්තු හැඟීමකින් කියලා කඩේ හිටපු අනිත් අයටත් තේරුණා මයෙහිතෙ. ඒ තරං සුපිරි ට්‍රැක් රෙකෝඩ් එකක් හිමි පුතයෙක් මං.

අයියා කට්ටිය එතනට ආවට පස්සෙ අම්මගෙන් නම්මරේ ඉල්ලගෙන ඉන්ටනෙට්ටුවේ කී බෝඩ් එකෙන් කොටද්දි මගේ පපුවට කටුවකින් කොටනව වගේ හැඟීමක් කංකාල පේශි හරහා ගියේ මං bio කරපු නිසාම වෙන්නැති.

එන්ටර් එක ගහලා ඒකාලෙ තිබුනු අන්තර්ජාල වේගය නිසාම පේජ් එක ලෝඩ් වෙන්න විනාඩියක් විතර යනවා. එතකං කැරකි කැරකි තියෙන මවුස් පොයින්ටරේ ජීවිත කාලෙම කැරකි කැරකි තිබුනනං කොච්චර ආතල්ද කියලා හිතෙන්න ගන්න කොටම මෙන්න යකෝ ආවා ප්‍රතිඵල.

මට හික් ගෑවුනා. බී දෙකයි සී එකයි. මං ඇස් දෙක පිහදාලා, දෙපාරක් උඩ පැනලා, කන්දෙකත් ගසලා දාලා ආයෙත් බැලුවෙ මට නිට්ටාවටම ඒක මගේමද කියලා අදහගන්න බැරිවෙච්ච නිසා. තාත්තටත් ෆුල් හැපි. අම්මට පහකුත් දාලා වටේ හිටපු අය දිහාත් උජාරුවෙන් බලලා මටත් තට්ටුවක් දාලා "මං හිතුවා" කියලා කියද්දි මට ඇඬෙන සයිස් සතුටක් ආවෙ.

මං කෝකටත් ආයෙත් ප්‍රතිඵල දිහා බැලුවෙ ආයෙත් අංකෙ චෙක් කරන ගමන්. කෙලියා තාප්පෙට කියහංකො. අංකෙ මගේ එක නෙවෙයි. කලිං ප්‍රතිඵල බලපු එකෙක්ගෙ එකක් ආයෙත් ලෝඩ් වෙලා. මං ඒක දැක්කට මොකද කියාගන්න කට ඇරගන්න තියා මෙච්චර කල් කතාකලේ කටෙන්ද කියලවත් හිතාගන්න බැරුව හිටියෙ. ඕන කෙහෙල්වත්තක් පාරෙ යන්න කියලා හිතාගෙන ලැජ්ජාව පැත්තකින් තියලා මං කිව්වා නම්මරේ වැරදියි නේද ආයෙත් චෙක් කරලා බලන්න කියලා.

අම්මටසිරි අයියත් දඩ බඩ ගාලා ඒක මකලා අම්ම දුන්නු නම්මරේ ආයෙත් කොටද්දි මට දැනුනෙ මොනවගේ හැඟීමක්ද කියලා කියන්න වචන තාම හොයාගෙන නෑ. කලින් විනාඩියක් ගත්ත ඉන්ටනෙටුත් මට කෙලවන්න හිතාගෙන පේජ් එක ලෝඩ් වුනේ හූ කියාගෙන.

අන්න ප්‍රතිඵල. ඒකනං මගේමයි කියන හැඟීම මගෙ පුංචි මොළේට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එෆ් දෙකයි එස් එකයි. මොන එහෙකට ඒ එස් එක ආවද කියලා මං දහ අතේ කල්පනා කරද්දි අපේ තාත්තා වොලී බැස්ටියන්ගෙන් පටන් අරන් බයිලා සැන්ටි වෙනකල් විතරක් නෙවෙයි මිල්ටන් මල්ලවාරච්චිගෙ පවා රැප් ගායනා සිහි කරා විතරක් නෙමෙයි මං කල කී නොකී දෑ ගැන මල් සිංදු මගෙ දෙසවන් සිසාරා රැව් පිලි රැව් දෙන්න සැලැස්සුවා.

කුජීත දෙයක් දෙයක් පට්ට කුජීතව ප්‍රකාශ කරන ආකාරය ගැන ප්‍රායෝගිකව කියාදුන් අයියාට හද පතුලෙන්ම ස්තූති වන්ත වෙන ගමන් එතනින් චුත වුනු මට ආයෙ හිටපු ඉස්කෝල, ගියපු පංති විතරක් නෙවෙයි හිටපු යාලුවොත් සේරම අලුතෙන්ම හොයාගන්න තැනට වැඩ සිද්ධ වෙන්න සතියක්වත් ගියේ නෑ. මෙවර විභාග ප්‍රතිඵල බලන උන්ට එවන් අකල් චරිත ඝාතන සිදුනොවේවායි මාගේ ඒකායන ප්‍රාර්ථනයයි..

Wednesday, February 5, 2020

වී මල්පබා....

 

ඇත්තටම මේ සිංදුව මොකක්ද? මොකද්ද මේකෙ තේරුම. හරියටම මටත් අද තමයි තේරුණේ. ඇත්තටම මේක මරු සිංදුවක්. අපි පදෙන් පදේ අරන් බලමු මේ කියන්නෙ මොකක් ගැනද කියලා.

"වී මල්පබා..

වෙල ලඟ නළ සමඟ තුටින

රණට දිලෙන දමක ලෙසින

තුරුණු වියට උරුම කියන 

මල්පබා.."

මේ මුලින්ම කියන වී මල්පබා කියන එක ගොඩක් අය තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. මෙතන සිංහල ඉංග්‍රීසි දෙකම බොහොම සියුම්ව නොතේරෙන්න භාවිතා කරලා තියෙනවා. වී කියන එක ඇත්තටම අපි දන්නවා ඉංග්‍රීසි වචනයක්. We කියන්නෙ "අපි" කියන අර්ථ ඇතුව මෙතනදි කියන්නෙ "අපි මල්පබා" කියන එක. එතකොට කවුද මේ මල්පබා. බලමු තව ටිකක් ඉස්සරහට.

"වෙල ලඟ නළ සමඟ තුටින" කියන්නෙ වෙලක් අසල සුළං පාරත් එක්ක සීතල මැද්දෙ බොහොම සංතෝෂයෙන් තියෙන හෝ ඉන්න කෙනෙක් හෝ දෙයක් ගැන. "රණට දිලෙන දමක ලෙසින" කියන දෙයින් අදහස් කරන්නෙ යම්කිසි කණ්ඩායමක් ගැන. හරියට යුද්ධෙට යන්න වගේ ලෑස්ති වෙලා ආයුධ අතැතිව (පස්සෙ මේක තව පැහැදිලි වෙයි) එකාවගේ ඉන්න කණ්ඩායමක් ගැන තමයි මේ කියන්නෙ. තුරුණු වියට උරුම කියන කියන එකෙන්නං පැහැදිලි වෙනවා මේ අයට තාරුණ්‍යයට බොහොම සම්බන්ධදෙයක් කරන පිරිසක්. තුරුණු බව උරුමකර දෙන කතාවකුත් යන්තමින් කියවෙනවා. ඒක වැදගත් පොයින්ට් එකක්. තාම හරියට තේරෙන්නෙ නෑ මේ මල්පබා කවුද/මොකක්ද කියලා. ඒ තරම් සූක්ෂම විදියට මේ රචකයා මේක ඉතාම සංයමයකින් ලියලා තියෙන බව පේනවා.

"එකිනෙක ගෙන.. තාලයකට

රන් නටුවක අමුණාගෙන"

මේ ඉතාම සෞන්දර්යාත්මක විදියට මොකක්ද කියන්නෙ. මෙතනදි තමයි රචකයා හරියටම මේ මල්පබා මොනාද කරන්නෙ කියලා එළියට දාන්නෙ. මං පැහැදිලි කරන්නං. මෙතන රන් නටුව කියන එක ඇත්තටම උපමාවක්. ඒකෙන් කියවෙන්නෙ පනාවක් ගැන. කොණ්ඩ කැරලි එකින් එක අල්ලමින් පනාවෙන් පිළිවෙල කරගනිමින් කරන වැඩක් ගැන තමයි මෙතන කියවෙන්නෙ. 

"සුළං සැරෙන් පීරාගෙන

We මල්පබා.."

මෙතනනං දැන් හැමෝටම පැහැදිලි ඇති. සුලං සැරෙන් පීරාගෙන කියන්නෙ hair dryer එකෙන් කොණ්ඩෙට අල්ලමින්, පීරමින් කොණ්ඩ කපන තැනක් තමයි මේ මල්පබා කියන්නෙ. හොඳට ඇහවොත් මෙතනදි සංගීතවත් කරද්දි hair dryer එකක ශබ්දය පවා එකතු කරලා තියෙනවා. තව දුරටත් කිව්වොත් saloon එකේ නම තමයි "මල්පබා".

අපි තව ඉස්සරහට බලමු.

"වප් මඟුලට බුද්ධ බෝග

හැම අටුකොටු පිරීයාන්.. ආ..."

මෙතන තියෙන්නෙ ප්‍රාර්ථනයක්. හැමෝගෙම කොණ්ඩ සරුසාරෙට වැවීයන් කියන එක ඉතාම සංඛේතාත්මකව උපහැරණයකින් බොහොම ලස්සනට කියලා තියෙනවා වගේම ඒකෙන් මොවුන්ට ලැබෙන ප්‍රතිලාභ එහෙමත් නැත්නං වාසිය ගැන ඊලඟ පද පෙලින් කියනවා.

"වසන්තයට ගී ගයන්න

කොවුල් රැලට අඬගහන්න"

කියලා මේ අය අරාධනා කරනවා හැමෝටම එන්න කියලා මේ අපූරු saloon එකෙන් කොණ්ඩෙ කපන්න. ඒවගේම එහෙම ආවම ඔවුන්ට වසන්තය උදාවෙන බව ව්‍යංගව කියන්නත් රචකයා දක්ෂ වෙලා තියෙනවා. දැන් අර මුලින් කිව්ව ආයුධ අතැතිව ඉන්න තරුණ කණ්ඩායමේ කතාවත් තව ටිකක් පැහැදිලි ඇති. ඒ ආයුධ කිව්වෙ කඩු කිනිසි නෙවෙයි කතුරු දැලිපිහි trimmer වගේ දේවල්. ඇත්තටම අති විශිෂ්ට ලිවීමක්.

අපි "මල්පබා"...

බලන්න ඒක කොයිතරම් අපූරු යෙදවීමක්ද කියලා. මං හිතන්නෙ ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. අදින් පස්සෙ මේ සිංදුව ඇහෙද්දි හොඳට අහලා බලන්න. ඇත්තටම මේ සුන්දර "මල්පබා" Saloon ගීතය කොයිතරම් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවද කියලා. කොයිතරම් වෙනස් විදියට මේක කියලා තියෙනවද කියනවනං ඇත්තටම වෙහෙරලියද්ද මහත්මයාවත් මේකෙ සැබෑ තේරුම දන්නෙ නැතුව ඇති..

ප.ලි. මේක නෙවෙයි මේකෙ තේරුම කියලා කියන උන් දෙතුන් පාරක්වත් මේක අහපල්ලා. ඇත්ත කතාව ඕක තමයි

Thursday, October 3, 2019

නටඹුන් - Ancient Ruins




නටඹුන් කියන්නෙ මාර වැදගත් දෙයක්. ඒව හරහා පුලුවන් ජාතියක රටක ඉතිහාසය නැවත කියවන්න. මේක මරු වැඩක්. වෙනම subject එකක්. හැබැයි මේකෙදි මට මෙහම අදහස් දෙකක් තියෙනවා. ටිකක් විතර පිස්සු ඒත් වෙන්නත් පුලුවන් විදි දෙකක්.

එක..
නටඹුන් කියන්නෙ පට්ටපල් බොරු මවාපෑමක් කියලා කිව්වොත්. දැන් හිතුවොත් අපි මේ ඉතුරු වෙලා තියෙන ගල් කණු, මැටි කෑලි, චිත්‍ර, සෙල්ලිපි වගේ මොනවමහරි දේවල් වලින් අපි හදනවා හෙන ස්ටෝරි එකක්. ඉතිහාසය කියලා. ඒකෙ මේ හැම ගලකටම චිත්‍රෙකටම මාර තැනක් දීලා හෙන පෞඬ මෙව්ව එකක් ක්‍රියේට් කරනවා. ඒක හරිද?

හරි හරි වැරදි හරි මෙහෙම බැලුවොත්. ඒ කාලෙ හිටපු එක රජෙකුට පුලුවන් අනාගතේදි ඒ history එක read කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. රටත් හොඳට යනවා. යුද්ධ නෑ. මිනිස්සුත් සතුටින් ඉන්න කාලෙක රජතුමාට කරන්න දෙයක් නැති කමට පොර හිතනවා ටිකක් අමුතු වැඩක් කරන්න. ඒකට පොඩි ආතල් ක්‍රියේටිව් ගතියකුත් තියෙන්න ඕන. ඒ කාලෙත් නැතිවයැ එහෙම උන්.
පොර තීරණය කරනවා ඒකාලෙ රටේ හිටපු වැඩකාරයො ටිකක් දාලා රට වටේම තැනින් තැන අමුතු තැන් වල ගල් කණු හිටවන්න. අමුතු හැඩයේ ගල් කණු ටිකක් අත්භූත පෙනුමක් තියෙන විදියට හිටවලා තියන්න. මහා පර්වත වල ඔහේ මොකක්හරි absurd කැටයම් ටිකක් කොටවන්න. පට්ට කැලෑ අස්සෙ එක එක නම් දාලා සෙල්ලිපි කොටවන්න. කොටින්ම කිව්වොත් අතීතය විකෘති කරන්න. එහෙමත් නැත්තං හෙන සංකීර්ණ කරන්න.

ඒවයෙ ඇති මඟුලක් නෑ. හැබැයි අවුරුදු දාස් ගාණකින් බලද්දි මොකක්ද යකෝ මේ කියලා හිතෙන්න වැඩේ කරනවා. උදාහරණයක් විදියට කිව්වොත් සීගිරියෙ තියෙන අපි හැමෝම දන්න තරු දොරටුව එහෙම එකක් වෙන්න බැරිද. නිකං ආතල් එකට කිසිම හේතුවක් නැතුව කොටපු එකක්. දැං ඇඟට කඩන් පනින්න එපා. එහෙමමයි කියලා නෙවෙයි කියන්නෙ. Can be නෙ.

දෙක..
මේ අපි කියවන ඉතිහාසය කියවන්න අපිට තියෙන දැනුම හා සාක්ෂරතාවය ඇතිද? මොහොතකට හිතුවොත් මේ හැමදේම read කරන්න වෙනම භාෂාවක් තිබුනා කියලා. ඒක දන්නැතුව මේ එකක්වත් තේරුම් ගන්න බැරිනං. ඇත්තටම අපි කියවලා තියෙන ඉතිහාසෙම පට්ටපල් බොරුවක් වෙනවා.

අර තරු දොරටු කැටයමටම අපි මේක දාලා බැලුවොත්. ඒක එහෙම තිබුණට ඇත්තටම ඒක දැනටමත් සක්‍රීය star gate එකක්නං. අපිට සමාන්තර ලෝක අතර එහෙමත් නැත්තං කාලය හරහා ගමන් කරන්න පුලුවන් එකක්නං. හැබැයි ඒක activate වෙන්න අවශ්‍ය passwords අපි ලඟ නැත්තං. තව විදියකට කිව්වොත් ඒක සට පට ගාලා පණ ගහල එන විදියෙ තන්ත්‍ර මන්ත්‍ර මොනාහර ඒ කාලෙ තිබුණනං. ඒ තාක්ෂණය අපිට දැන් නැති හංදා ඒවට access කරන්න බැරි වෙලා නං.

ඒක නිකං අපි දැන් පාවිච්චි කරණ තාක්ෂණය ගැන මොන බයිලා ගැහුවත් Laptop, i pad, i phone මොන මඟුල තිබුනත් බලශක්තිය කියන දේ සදහටම මේ ලෝකෙන් අතුරුදහන් වෙච්ච යුගයකට මේ හැම උපකරණයක්ම නිකම්ම නිකං යකඩ කෑලි ටිකක් විතරනෙ. අවුරුදු මිලියන ගානකින් i phone එකක පොසලයක් කියන්නෙ ඩයිනෝසර් පොසිලයක් තරංවත් වැඩක් නැති නිකංම නිකං මොකක්ද එකක් විතරයි. ඒක පැහැදිලි කරගන්න අවශ්‍ය දැනුම සාක්ෂරතාවය ඒ වෙද්දි නැතිවෙලා තියෙන්න පුලුවන්.

එහෙම බැලුවොත් ඇත්තටම දැන් අපි ඉතිහාසය කියලා කියවලා තියෙන පොත් පත් වල දාගෙන පාඩම් කරන පුරාවස්තු කියලා දමාගෙන ආරක්ෂා කරන දේවල් ඇතුලත් මේ කතාව එහෙම්පිටින්ම වැඩකට නැති පුස්සක් වෙන්නත් පුලුවන්.

Friday, September 27, 2019

ඇයි අපි මේ ලියන්නෙ..?? (Writing)


මේ බ්ලොග් වල fb එකේ අරෙහෙ මෙහෙ ලියන එක සමහරුන්ට ඇත්තටම ප්‍රශ්ණයක්. උන් කියන්නෙම උඹල ෆේමස් වෙන්න දඟලනව, පොරක් වෙන්න හදනවා වගේ දේවල්.

ඉස්සරවෙලාම බැලුවොත් ලියලා පොරක් වෙන්නෙ කොහොමද කියලා. ලියලා එහෙම පොරවල් වෙච්ච අය ඉන්නවද? ඔව්. ඉන්නවා. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම වගේ ඕනතරම් පොරවල් ඉන්නවා ලියලම නම හදාගත්තු. එතකොට ඒක වැරදිද? ඒඅයටත් මුලදි මෙහෙම ටෝක්ස් දීපු අය ඇති. පස්සෙ කාලෙක ඒ ටෝක්ස් දීපු අයම ඇවිත් අර පොත් කියවලා හෙන විග්‍රහයන් කරන්නත් ඇති.

ඒ ඇත්තටම පොරවල් වෙච්ච අය ගැනනෙ. අපි ලියන්නෙ ඇයි.? ආසාවට. ආතල් එකට. එහෙමත් නැත්තං පෞද්ගලික කැමැත්තට. (සමහරු පොරක් වෙන්න හිතාගෙනත් ලියනවා ඇති) මං හිතන්නෙ බහුතරයක් ලියන්නෙ තමන්ගෙ ආතල් එක ගන්න. 

මේකත් හරියට රහට කෑමක් උයලා කන්න දීලා ඒකෙ ගුණ අගුණ කියන එක දිහා බලලා සතුටු වෙනවා වගේ වැඩක්. මේවා කියවලා දාන කමෙන්ට් වලින් පොඩි හීනි ආතල් එකක් මේ ලියන උන් වගේම මාත් ගන්නවා. එක තමයි මේකෙ ගතිය.
බනින උන් බනිනවා හොඳ කියන උන් හොඳ කියනවා මොනා කිව්වත් මුන් මේක කියවලානෙ කියන පට්ට ෆීලින් එකම ඇති තව එකක් ලියන්න.

බනින උන්ට කියන්න ඉස්සර අහපු කතාවක් තියෙනවා. මේක Zen කතාවක් වගේ තමා මතක.

පොරක් ගඟක් ගාව ඉද්දි දකිනවා ගඟ දිගේ පහළට ගෝනුස්සෙක් ගහගෙන එනවා. ඌ සැඩ පහරට අහුවෙලා එද්දි අර මනුස්සයා ගාවදි ඉවුරෙන් පාත්වෙලා තිබුනු කොල අත්තක දැවටුනාලු. ඒත් ඌට වතුර පාරෙ සැරකම හිංදා උඩට එන්න බෑ.

මේක දැකපු අර මනුස්සයා නැඟිටලා ඇවිත් අත අර ගෝනුස්සට කිට්ටු කලාලු. බය වෙච්ච ගෝනුස්සා අරූගෙ අතට දශ්ඨ කාලාලු. ඒ වේදනාව කාගෙනම අරූ ආයෙ ආයෙත් ට්‍රයි කරනවලු මේකව අතට අරන ගොඩින් තියන්න. හැමපාරම අරූ දෂ්ඨ කරනවලු. මූත් වැඩේ අතාරින්නෙම නෑ.

ඔය අතරෙ ඔතනින් යන මිනිහෙක් මේක දැකලා..
ඒයි මෝඩ මිනිහෝ.. මොකක්ද ඔය කරන්නෙ. මැරෙන්නද හදන්නෙ. පේන්නැද්ද ඕකා ගෝනුස්සෙක්. ඔච්චර කාලත් ඔය වැඩේ නතර කරන්නැත්තෙ තමුසෙට පිස්සුද?? ඇහුවලු.

ඒ මිනිහා ආයෙත් අත දික් කරන ගමන් මෙහෙම කිව්වලු.
මම දන්නවා බං. මේ මේ සතාගෙ හැටි. ඌ උගෙ ස්වභාවික නොමැරී ඉන්න උට උරුම වෙච්ච දේ වෙච්ච දෂ්ඨ කර කර නොමැරි ඉන්න හදනවා.
ඒත් මේ මගේ හැටි. මං මොකටද මූ හිංදා මගේ ජීවිතයක් බේරගන්න අදහස අත්ඇරගන්නෙ..
කිව්වලු.

මටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. බනින උන් බැන්නට මේ අපේ හැටි. ඒක මේ අමුතුවෙන් හදාගත්ත මවාගත්ත ඇතිකරගත්ත එකක් නෙවෙයි. ගංජා ගහලවත් අරක්කු බීලවත් වෙන මොකක්හරි මත්ද්‍රව්‍යයක් ගහලා හරි ලියනවා කියලා හිතනවනං ඒක ඒ අයගෙ මතය. ඒත් මේ අදහස් නැචුරලිම එන්නත් බැරි නෑ. රැඩිකල්ද ට්‍රැඩිෂනල්ද අදාලත් නෑ. එහෙම බැලුවොත් ලෝකෙ දැනට මං අහල තියෙන රැඩිකල්ම ඩයල් එක බුදුහාමුදුරුවො. රැඩිකල් නොවුනානං මේ දර්ශණය අද නෑ. වෙන කෙනෙක්ගෙ විදිය දරාගන්න බැරුව මගේ විදිය වෙනස් කරන්න යන්නැතුව තමන් තමන් විදියටම ඉස්සරහට යන එක තමයි මට අනුව ජීවිතය කියන්නෙ.

බනින උන් බනියි. යන උන් යයි. ඉන්න උන් ඉඳියි.

Tuesday, September 24, 2019

Drama : Koombiyo II (Take 03)


Drama : Koombiyo II (Take 03)
Location : Garage 
Time : 6.11pm

ජෙහාන් : ප්‍රියන්ත ඉක්මනට ඇඳුමක් දා ගනිං පොඩි ගමනක් යන්න
ප්‍රියන්ත : කොහෙ යන්නද අයියෙ
ජෙ : පණ්ඩිත කං කියවන්නෙ නැතුව ඇඳුමක් දා ගනිංකෝ..

Location : Shangri La Hotel
Time : 7.30pm

ප්‍රි : කලිං කියන්න එපැයි අයියෙ අපි පාටියකට යන්නෙ කියලා. කිව්වනං පිලිවෙලට ඇඳං එනවනේ.
ජෙ : අනෙ මේ මගෙන් අහගන්නැතුව හිටපං උඹෙ පිලිවෙල. මොකට ගියත් ඉතිං උඹට ඕකනෙ අඳින්න තියෙන්නෙ.
ප්‍රි : එහෙම කියන්න එපා අයියෙ. බලන්නකො මේ අනිත් අයගෙ ලස්සන...
ජෙ : අනෙ මේ.. මුංගෙ විදියට ඇන්දොත් උඹට අමුඩයක් තමයි අඳින්න වෙන්නෙ.. ටිකක් ඉඳල බලපංකො..

ප්‍රි : අයියෙ.. මෙයා මොනවා කරන කෙනෙක්ද? බලන්නකො තියෙන තේජස..
ජෙ : තේජස.. හ: හරියටම කිව්වොත් මෙයාගෙ ජොබ් එක තමයි අන්දන එක.
ප්‍රි : ඒ කිව්වෙ..??
ජෙ : ඒ කිව්වෙ බං. මුට පුලුවං මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. වැඩිපුරම ගෑණුංව. කොටින්ම කිව්වොත් මුට පුලුවං අවුරැදු ගාණක් ආශ්‍රය කරලා බඳින්න යන ගෑණිව, වෙඩින් එක දවසට, මිනිහටවත් අඳුර ගන්න බැරිවෙන්න වෙනස් කරන්න.
ප්‍රි : ඒක මහ බොරැවක්නෙ අයියෙ..
ජෙ : පිස්සුද බං. මුං ඒ බොරැවට කැමතියි. දැන් ඉටි රෑප වගේ හිටියට, බැරිවෙලාවත් වැස්සකටවත් අහුවෙච්ච වෙලාවක මූණ දැක්කොත් උනුත් උන්ට බය වෙනවා.

ප්‍රි : ඇත්තමයි අයියෙ.. මෙච්චර වියදමක් කරපු එකේ අනාථ නිවාසෙකට කෑම වේලක් දුන්නනං කොච්චර වටිනවද අයියෙ. හෙන ගහනවනෙ මේ වගේ විකාර වියදං වැඩ වලට. රටේම ඉන්න විලිසංගයක්නැති ගෑණු ටික ගෙන්නලා.. බලං ඉන්න අප්පිරියයිනෙ අප්පා..
ජෙ : උඹල වගේ ගොඩයන්ට මේව තෙරෙන්නෙ නෑ බං. මුං මේව කලාට අර වගේ පිං අතේ වැඩත් කරනවද කියලා කවුද දන්නෙ. සල්ලි උගේ නං, පාර්ටියත් උගේ නං, ලැබෙන දෙයක් ලැබෙන්නෙ උටනං, දෙන දෙයක් කාලා වෙනදෙයක් බලං ඉඳලා යමං බං යන්න. අපි උණත් අපේ උපන් දිනේට අපේ ගාණට පොඩි පාටියක් දානවනෙ බං. මේක ඉතිං මුගෙ ගාණ වෙන්නැති.

ප්‍රි : අර අර කවුද අයියෙ කිරි පණුවෙක් වගේ බිම වැටි වැටි ඇඹරෙන්නෙ.
ජෙ : අන්න ඒකෙනං බං පොඩි අවුලක් තියෙනවා. අර බං අපේ පංති වල හිටිය මතකද සර්ල ඉස්සරහ කැපිල පේන්න ඕන ජරා වැඩක් කරන එවුන්. මේකත් ඒකෙම ටිකක් අවුල් වර්ෂන් එකක්. පොඩි කාලෙ මුහුණ දීලා තියෙන දේවල් එක්ක ආපු ගතියක් ඕක. මට උන් ගැන දුකයි බං. උඹට දරාගන්න අමාරැනං අහක බලා ගනිංකො. 

ප්‍රි : දැන් අයියෙ මේ එක එක තරඟ තියලා තෑගි දීලා මොනාද මේ මනුස්සයා බලාපොරොත්තු වෙන්නෙ.
ජෙ : ඒකට කියන්නෙ බං මාකටිං කියලා..
ප්‍රි : අපේ ගමේ නං මේකට කියන්නෙ අතිං කාල හරක් බලනවා කියලා.
ජෙ : අනෙ මේ ප්‍රියන්ත.. උඹ අඩුම ගානෙ පිලිප් කොට්ලර්ව දන්නවද කියපං..
ප්‍රි : පිලිප් කොතලාවල දන්නැත්තෙ මොකද මං. අනේ නිකං යන්න අයියෙ යන්න. අපිත් මේ ගමේ උනාට යමක් කමක් දන්නව හරිද. 
ජෙ : කොතලාවල.. අනේ උඹයි මායි දන්න මාකටිං. වරෙන් යන්න කන්න..
-
--- මතුසම්බන්ධයි....