Menu

Wednesday, August 19, 2020

දෙමළ රට..

 

අපි දෙමළ මිනිස්සුන්ට බය ඇයි. මුස්ලිම් උං ගම් අල්ලන්න හදනව වගේ එකක් හිතෙන්නෙ ඇයි. ඇත්තටම එහෙම එකක් තියෙනවද?

ඇත්තටම දෙමළ මිනිස්සුන්ට වෙනම පැත්තක් නැද්ද. එතකොට ඇයි මේ අපි උන්ට වෙනම රටක් දෙන්න බෑ කියල එක්ක වෛර බැඳගෙන මරාගන්න හදන්නෙ. ඇත්තටම උං ඉන්නෙ වෙනම රටක වගේ තමයි. කතා කරන්නෙ වෙනම භාෂාවක්, අධ්‍යාපනය වෙනස්, දේශපාලන අධිකාරිය වෙනස්, කෑමජාති වෙනස්, පහසුකම් වෙනස්. එකම දේ නීතිය එකයි. ඒක තිබුනම ඇති. යාපනේ එකෙක් කියල මිනිහෙක් මරල පාඩුවෙ ඉන්න බෑ. ඌ දෙමළ කියල නීතියෙන් ගැලවෙන්න බෑ. සමහර උං ගැලවෙනවත් ඇති , එහෙම දේවල් ඉතිං උතුරෙ නෙවෙයි සිංහල පලාත් වලත් වෙනව. ඒක ජාතියෙ ප්‍රශ්ණයක් නෙවෙයි. නීතියෙ ප්‍රශ්ණයක්.

පොඩ්ඩක් හිතුවොත් දෙමළ උං ඉන්නෙ උංටම වෙන් කරපු පැත්තක. මුස්ලිම් උනුත් එහෙමයි. දැන් සරලවම කිව්වොත් ඉලංගෙයි තමිල් අරසු කච්චි කියල වචනයක් උඹල අහන්නෙත් ඡන්දයක් ආවොත්නෙ. එහෙම පක්ෂයක් තියා ලකුණක්වත් අපි දන්නෑ. එතකොට උං ඉන්නෙ වෙනම නෙවෙයිද. තව හිතුවොත්, උං ඉන්න ගම් වල නම් මොනාද. කංකසන්තුරේ, වව්නියා, චෙංකලඩි, කිලිනොච්චි, පුදුකුඩුඉරුප්පු. මොනාද මේ නං. තනිකරම දෙමළනෙ. අපිට කියවන්නවත් බෑනෙ. කෝ උඹල කියන තනි සිංහල රට. එහෙනං එහෙ ගමුත් තල්ගස්ලන්ද, ඇතාවැටුනු වැව, අනඳමෙත්පුර, ජයතොට, හෙට්ටිමුල්ල වගේ අපිටත් තේරෙන නම් තියෙන්න එපැයි.

මේ සේරම තනිකර බොරුවක් මචං. තනිකරම දේශපාලනික නාට්ටියක්. දැන් හිතපං. අපිට ඇයි එහෙම වෙනම ආගමක ජාතියක මිනිස්සු ටිකක් ඉන්න එක අවුල්, අපේ රටේ අපිට නිදහසක් නැති වෙනව වගේ එකක් හදල තියෙන්නෙ. උං ඉන්නෙ උංගෙ පලාත් වල. අපි මෙහෙ. අපිට මොකක්ද දැන් නිදහසට තියෙන බාධාව.

අපිට ගිහිං යාපනේ අපේ ගමේ වගේ සද්ද දාලා, දඟලලා, පාරෙ යන කෙල්ලෙක්ට හූ කියල, කඩවල් වල මුදලාලිලට, මිනිස්සුන්ට සද්ද දාන්න බෑ. දැම්මොත් කන්න වෙනව. ඉතිං යකෝ යාපනේ යන්න ඕන නෑ අල්ලපු ගමට ගිහිං ඔයටික කරල බලපං. කන්න වෙන්නෙ නැව් ගුටි. ඒකට මුස්ලිම් දෙමල සිංහල කියල එකක් නෑ ඒව කලොත් කාට කොහෙ වුනත් කන්න වෙනව. නැත්තං අපි අපේ ආතල් එකක් අරන් වටේ පිටේ උන්ට කරදයක් නැතුව රටේ කොහෙ ගියත් උං නිකං ඇවිත් අපිට "ආ මල්ලී.. ට්‍රිප් යනව නේ.. උඹලෑ අ@$#&... දෙන්නෙ කුඩු වෙන්න. දැනගනිං.. නිකං මැරුං නොකා H#&%€ නැතුව පලයව් යන්න" කියල එලවගන්නෑ. මොකද උන්ට පිස්සු හැදිලයැ.

ඒවා තනිකරම අපිට ඇතිකරපු මනස්ගාත. ඒවා තිබුනාම මේ රටේ මිනිස්සු රවට්ටන්න ලේසියි. යුද්ධෙ වුනත් තනිකරම දේශපාලන වුවමනාවන් නිසා ඇතිකරල, කොටවලා කෙලෝගත්ත මිසක් අපි අපිට ඇතිවෙච්ච ප්‍රශ්ණ, අවශ්‍යතා මත ඇත්තටම සිද්දවුනු දෙයක් නෙවෙයි. විජාතික බලවේග, ජාතිකත්වය, ස්වෛරීත්වය, සිංහලේ ඔලු වලට දැම්මම අපේ උංට මාර ආතල් එකක් යන්නෙ. ඒ ආතල් එක නිසාම උංව දැක්කත් මරන්න හිතෙන ගානට අපේ ඔලු සුද්ද වුනා ඇරෙන්න උන් මේ රටේ ඉන්න එක නිසා අපිට වෙච්ච මඟුලක් නෑ.

#SriLanka #politics #ethnic #drama

Saturday, August 8, 2020

ආගමික විකාර..

 

රටේ තියෙන සියලුම පංසල් පල්ලි එකම standard එකකට, එකම format එකකට හදන්න ඕන. ලොකු පංසල්, පොඩි පංසල් කියන දේ අයින් කරලම දාන්න ඕන. ඒ standard එක ඉතාම චාම් සරල ඉතාම අඩු මුදලකින් හදාගන්න පුලුවන් මට්ටමේ තියෙන්න ඕන. සමස්ථයේ අරමුණ එකක් නිසා හැම තැනකටම ගියාම එකම හැඟීම ඇතිවෙන්න ඕන. ඒවයෙ ඉන්න අයටත් ඒක ප්‍රශ්ණයක් වෙන්න බෑ. මොකද ඒ හැමෝම යම්කිසි අරමුණකින් අධ්‍යාත්මික නිදහස වෙනුවෙන් ගිහි ජීවිත වලින් අයින් වුනු අය. අවම පහසුකම් තියෙන තත්වයක් ඇතිකලොත්, ඒක ඇත්තටම කරන්න ඕන කෙනෙක් මිසක් නිකං පිංබත් හිපාටුවො මහන වෙන එකත් නතර වෙනව.

ඒ වගේම සමහර පංසල් පල්ලි වල අය වෙනම ආතල් එකක් ගන්න එක නතරවෙන්න ඕන. හැම පංසලකම හැමදාම හදන බිල්ඩිමක්, පිළිමයක්, චෛත්‍යයක් නැත්තං ටොයිලට් එකක් හරි තියෙනව. ඒවට දායක වෙන්න ඕනත් ගමේ මිනිස්සු. එහෙම ගමේ මිනිස්සුන්ගෙන්ම පෝෂණය වෙන පංසල් වල සුපිරි මට්ටමේ ගොඩනැඟිලි ඉදිකලාම හොම්බෙන් යන්න වෙන්නෙ ගමේ මිනිස්සුන්ටම තමයි.. බුදුහාමුදුරුවන්ට සැපදෙන්න හිතාගෙන හදන සුපිරි ගොඩනැඟිලි වලින් නියම ආතල් එකගන්නෙ ආගමට මුවාවෙලා ඇවිත් එතන නතරවෙලා ඉන්න මිනිස්සු..

සමහර පල්ලි, පංසල් වලට ගියාම හිතෙනව කොහෙන්ද මුන්ට මෙච්චර සල්ලි කියල.. දැන් වෙනම ආතල් එකක් ඇවිත්. පිළිම 100ක පංසලක්, පිළිම 1000ක පංසලක් වගේ ඉතාම ප්‍රාථමික ආතල් එකකට මිනිස්සුන්ගෙ සල්ලි නිරපරාධෙ වියදම් කරනව. මං කතා කරන්නෙ මං දන්න ආගමට අනුව. අනිත් ආගම් වලත් එහෙම ඇති.

ඇත්තටම ඒ සල්ලි වලින් ගමේ නැති බැරි එකෙක්ට ගෙයක් හදල දුන්නනං එතන තමයි නියම ආගමික යෙදවීමක් වෙන්නෙ..
නැත්තං අර නිකංම නිකං සිමෙන්ති නිර්මාණ තැන්පත් කරන්න හදන මහ විශාල ගොඩනැගිලි වලට, පට්ට සයිස් පිළිම වලට යටකරන සැදැහැවත් මුදල් අපරාදෙ..


Tuesday, July 21, 2020

සුමනෝ..

 

මේ කියන්න යන්නෙ ලඟදි අහපු cover song එකක් ගැන. ඒක ගොඩක් උං අහල ඇති. නැති උන් අහන්නම ඕන එකක්. 

මුල් ගායනව කපුගේ. සිංදුව සුමනෝ.

Original එක අහල තියෙනවනං දන්නව ඇති තනිකරම මළබෙර ගහන සද්දයක් එක්ක තමයි සිංදුව කියලා තිබුනෙ. ඒක වෙනම එකක්. මේක අපි දන්න කියන තරුණ නලුවෙක් වගේම ගායකයෙක් remake කරනව.

ඒ තමයි අමිල සඳරුවන්. නම ඇහුවට දන්නෑ වගේනෙ. අර ජෝන් සීනා සිංදුව කියපු එකා. එහෙමත් නැත්තං අර බොහීමියානුවා එකේ පිස්සෙක් වගේ රැවුල වවන් ඉන්න බුවා. 

ආයි කියන්න දෙයක් නෑ හැංගිල හිටියට වැඩකාරයෙක් තමයි.

මූ මේක ගේනව වෙනම තැනකට. ගිටාර් එකක් විතරක් ගහල විසිල් පාරකුත් එක්ක කරල තියෙන මේ වැඩේ මට ඇහෙන විදියටනං live record එකක් වගේ.

මේක ඇහුවම තමයි ඇත්තටම original එකත් ආයෙත් ඇහුවෙ. ඒකයි මේකයි දෙකක්. මට මේක අරකට වඩා මරු. මේකගෙ කටහඩයි කියන style එකත් එක්ක මේ සිංදුව පට්ට රහ වෙලා තියෙනව. රැයක තනියම සද්ද බද්ද නැති තැනක ඇහුවොත් ඇඬෙන සයිස් ෆීලින් එකක මේක කියල තියෙනව.

මේකෙ වචන රංබණ්ඩා සෙනෙවිරත්න. ඒ වචන ටික. ඇත්තටම මේ සුමනා කවුද. මේ කියන්නෙ කවුද. මොකක් වෙලාද මේ. මැරිලනං කොහොමද. වගේ දේවල් ගොඩක් හංගගෙන කොහොම ලියලද මංදා. මේ සිංදුව පුරාවට තියෙනව මහ කාළකණ්නි ගතියක්. අපේ කවුරුහරි මැරිල ගාණට හෙන මූසල ගතියක් මේ වචනයි, විස්තර කරන දේවල් වලයි තියෙන්නෙ. කිසිදෙයක් පැහැදිලි නෑ. යට මොකක්දෝ ලොකු කතාවක් තියෙනව. ඒත් අපිට ඒක තේරෙන්නෑ. ඒ වුනත් ඒක මොකක්වුනත් අපිට ඒක හොයන්න හිතෙන්න මේක ලියල තියෙනව. ඒ අස්සෙ අමිලය මේක කියනව ඒ මූසල ගතිය තව වැක්කෙරෙන්න. උගෙ තියෙන්නෙත් මහ එපාකරපු මූණක් නිසා ඒකත් මතක් වෙනවා. මේ සේරම නිසාද මංදා මේ ගම මැද්දෙ හෙන අසම්පූර්ණ කතාවක මළගෙයක් මැද අපි අතරමං වෙනව.

සුමනෝ උඹ ඇය නැත්තෙ කියන එක කියන උට විතරක් නෙවෙයි ඇත්තටම අපිටත් හෙනම ප්‍රෙහෙලිකාවක් කරලා අපිව අනාථ කරල එතනින් නවත්තනව.

ඇත්තටම..

සුමනෝ... උඹ ඇයි නැත්තෙ..

හොයන්න හිතෙනව..

https://youtu.be/_-Jw6VHueoY

මේක මරු

Tuesday, July 7, 2020

Kuleshov effect


 Kuleshov effect එක ගැන අහල ඇතිනෙ. එකම විදියට ඉන්න මූණකට පස්සෙ විවිද පිංතූර යොදල ඉන්පස්සෙ ආයිත් ඒ මුහුණම පෙන්නුවම යම්කිසි හැඟීමක් පේන්න ගන්නව කියන එක තමයි මේකෙන් කිව්වෙ. ඔය පළවෙනි පිංතූරෙන් දාලා තියෙන්නෙ මේක හොයාගත්ත සෝවියට් චිත්‍රපටිකාරයෙක් වෙච්ච Lev Kuleshov දීපු උදාහරණ ටික.

ඒක චිත්‍රපටි වල පස්සෙ ගොඩක් යොදාගත්ත. දැනුත් එහෙම කරනව. මේ කියන්නෙ වෙන එකක්. මේ විදියටම එක පිංතූරයක් එක්ක ඒකට කිසිසේත්ම සම්බන්ධ නැති logo එකක් පාවිච්චි කරල වෙනම අදහසක් එළියට දෙන්නත් පුලුවන්. මේකම තව වචන යොදාගෙනත් කරන්න පුලුවන්. මේක ගොඩක් වෙලාවට අත්දැකීම්, මතකයන්, සමාජ මතයන් එක්ක සම්බන්ධ කාරණයක්.

පහළින් දාලා තියෙන්නෙ නික උදාහරණ ටිකක්. අන්තිම එකනං edit නොකරම දාලා තියෙන්නෙ. ඒකටත් වෙනම තේරුමක් තියෙනව... 😂

#hiru #sunny #tvderana #centralbank #sanath #jayasooriya #thanamalvilakollek #chamara #kuleshov #brazzers #anthony #chathura #jananayake #justforfun









Monday, June 22, 2020

Meri maa..

 

මේක අද අම්මාවරුනගේ දිනයද මොකක්ද කියල දැකපු නිසා දාන එකක් නෙවෙයි. ඒක නිසා චැනල් එකක ගියපු සිංදුවක් නිසා ලියන්න හිතුනු එකක්. අම්මාවරුන්ගෙ දිනය ඔය අනිත් දින වගේම හෙන මාකටින් වැඩක් වුනත් අවුරුද්දටම ඒ දවසෙ විතරක් අම්මට සලකන එවුන් ඉන්න නිසා ඒකත් හොඳ දවසක්. 

කොහොමවුනත් අපේරටේ තියෙන අම්මටසිරි වෙන සංස්කෘතික මෙව්ව එක නිසා අම්මව නිකං හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්කරණය කරල වගේ කියල මටනං හිතෙන්නෙ. ඒක ඒ තරංම ගොබ්බයි. මං මේ හැදුවෙ අම්මෙක්ගෙයි දරුවෙක්ගෙයි බැඳීම ගැන විද්‍යාත්මකව පැහැදිලි කරන්න නෙවෙයි. මේ කියන්න යන්නෙ සිංදුවක් ගැන.

හිංදි සිංදුවක් ගැන. මේක කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක සිංදුවක්. ඒක කොයිතරං මගේ හිතට ඇල්ලුවද කියනවනං ඒ මුලින් අහද්දි ආපු ෆීලින් එක ඒ විදියටම අදත් මට පොඩ්ඩක්වත් අඩු නැතුව එනව. ෆිල්ම් එක තාරේ සමීන් පර්. අමීර්ගෙ. ඔව් ඔව් අර දත් ඉස්සරහට ආපු පොඩි එකෙක් ඉන්න පට්ට පරණ හිට් එක. යට පිංතූරෙ ඉන්නෙ ඌ තමයි.

ෆිල්ම් එකේ මූව හොස්ටල් එකේ දාලා යන තැන තමයි මේ සිංදුව යන්නෙ. අම්මල යනවත් එක්ක ඒ යන වාහනේ දිහා බලාගෙන ඉන්න මේ කොල්ල වටේට හෙමින් කැමරාව රොටේට් වෙද්දි තමයි මේ සිංදුවෙ මියුසික් එක පටන් ගන්නෙ. උගෙ මූණ මහ අමුතු එකක්. ඒක මොකක්දෝ මහ හිතාගන්නබැරි හෙනම ගුප්ත කතාවක් එක වචනයක්වත් කියන්නැතුව අපේ මූණට දමල ගහනව. ඒ සිදුවීම ඌව බිංදුවටත් පහලට වට්ටනව වගේම ඒ කඳුලු පනින මොංගල් පෙනුම අපේ ඇඟම හිරිවට්ටනව. මේ ෆිල්ම් එකේ මුලටික පොඩ්ඩක්වත් බලන්නැතුව මෙතන ඉඳන් බලන්න පටන් ගත්තත් උගෙ කතාවම අපිට හිතාගන්න පුලුවන් ඒ මුණෙන්. හොස්ටල් එක පැත්තට හැරල පඩිපෙල බැහැගෙන එන තැනින් තමයි සිංදුවෙ වචන ටික පටන්ගන්නෙ.

එතනින් එහාට මේ පොඩ්ඩා ඇවිදන් යන අඩියක් ගානේ ඌ ඉන්න තත්වෙට අපිවත් කිට්ටුකරනව. උට තියෙන්නෙ මහ කාලකණ්නි පෙනුමක්. ඒ නිසා වෙන්නැති අපිටත් එනව මහ කාලකණ්නි ගතියක්. මෙහෙම ඇවිත් කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න මේ යකාට වටේ වෙන කිසිම දේක ගාණක් නෑ. ඌ ඉන්නෙ වෙනම ලෝකෙක. ඇත්තටම ඌ ඉන්න ලෝකෙ ඌ කලින් දැකපු නැති ලෝකයක්. උට ඒකට මුහුණදෙන්න තියා හිතාගන්නවත් බෑ. මොකද උගෙ අම්ම උගෙ ලඟ නෑ. එතනින් එහාට ඇඳුමක් ඇදගන්නවත්, කෑමක් කාගන්නවත්, සෙල්ලං කරන්නවත් තියා නිදාගන්නවත් උට තේරුමක් නෑ.

ඌ කල්පනා කරන්නෙ දැන් මොකද කරන්නෙ කියල නෙවෙයි මේ මොකක්ද වුනේ කියල. ඇත්තටම ඌ මුකුත් දන්නෑ. ඊට තත්පර ගාණකට පස්සෙ වොෂ්රූම් එකේ තනියම අඬන මේයකා ඇත්තටම අපේ ඔලුව විකාර කරනව.

නිකං ඉද්දිත් හැඟීම් කෝටියක් විතර පෙන්නන මූණකින් බිත්තියක් බදාගෙන ටැප් එකකින් මූණ හෝද හෝද අඬද්දි කොහොමද. හිංදි වචනයක්වත් බැරි වුනත් මේක බලන ගමන් ඒක ඇහුවනං අපිට ඒ හැමවචනයක්ම දැනෙන්න ගන්නව. ඒකතමයි මේ විෂුවල් ට්‍රීට් එකේ තියෙන මැජික් එක. මේ සිංදුව ඉවරවෙනකල් පෙන්නන්නෙ උගෙ මානසික මට්ටම. උට කොච්චර මේක දැනෙනවද කියන එක. ඒත් අනිත් උන් උන්ගෙ පාඩුවෙ නිදි. අනිත් උන්ට මේක වැඩකුත් නෑ. ඒක පෙන්නන්නෙත් නෑ. 

මේකතමයි ඇත්ත. එක එකාට අම්මව තාත්තව දැනෙන විදිය ඒ අයට සලකන විදිය වෙනස්. ඒක ඇත්තටම අනිත් එකාට පොඩ්ඩකවත් නොතේරෙන්න පුලුවන්. ඒක තනිකරම පෞද්ගලික හැඟීමක්. අනිත් එකාගෙ එක අපිට වැඩකුත් නෑ. අපේ එක අනිත් එවුන්ට වැඩකුත් නෑ. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් තමන්ගෙ දෙමව්පියන් ගැන සංවේදියි. ඒක මේ සංස්කෘතිකව අපිට ආව මඟුලක් නෙවෙයි.

හරියට අර පොඩි එකාගෙ අතිශය සංවේදී වේදනාත්මක හැඟීම් අර වොෂ්රූම් එකේ බිත්ති හතර ඇතුලෙ වතුරත් එක්ක දියවෙලා යනව වගේ අපේ හැඟීමුත් අපේ ඔලු ඇතුලෙ හිත් ඇතුලෙ කොටුවෙලා තිබුනාවෙ. මොකද ඒක දැනගත්ත කියල කාටවත් කරන්න පුලුවන් මඟුලක් නෑ.

අර සිංදුවෙ chorus එකේ අන්තිමට මෙහෙම කියනව.

"Tujhe Sab Hai Pata, Hai Na Maa"

"ඔයා සේරම දන්නවනෙ, නේද අම්මෙ"

ඌ කොහොම එකෙක්ද කියල අම්ම දන්නවනෙ කියල අහන්නෙ. ඇත්ත. අම්ම ඒක දැනගත්තම ඇති. ඒත් අම්ම වුනත් ඒක දන්නැත්තං ඒකට කරන්න දෙයකුත් නෑ.

#taresameenpar #aamir #maa #mothersday