Menu

Saturday, January 6, 2024

ආ..මුව

 


ආ..මුව


කොහොමද මගේ මිත්‍රයන්ට අදත් ආයුබොවන් කියල පිලිගන්නව ආ..මුව බුද්ධිමය සංවාදයට. අද අපි කතා කරන්න යන්නෙ චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය අපේ ජීවිත වලට බලපාන හැටි. වචනෙ ටිකක් බරපතල වුනාට බයවෙන්න එපා ඒක ඉතාම සරලව මගේ මිත්‍රයන්ට පැහැදිලි කරන්න හැමදාම වගේ අදත් මං උත්සහකරනව. එහෙනං. වැඩිවෙලා ගන්නැතුව.. මේ මොකක්ද කියල අපි බලමු පට් පට් ගාලා ආ..මුවෙන්..


Intro


ඔව්. වැඩේ පටන්ගන්න කලින් මං පොඩ්ඩක් මතක් කරන්නං මං මගේ මිත්‍රයන්ට කරන නවතම විද්‍යුත් විච්ඡේදන පාඨමාලාව ගැන. හැමෝගෙම ඉල්ලීම නිසාම ඒ විද්‍යුත් විච්ඡේදන පාඨමාලාවේ මීළඟ පියවර විදියට විලම්භීත ආක්‍රමණ පාඨමාලාව ලඟදීම ආරම්භවෙනව කැමති කෙනෙකුට ඒකට සම්බන්ද වෙන්න පුලුවන්. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නං.


හරි.. කොහෙවත් යන්න එපා දැං අපි එමු අපේ මාතෘකාවට. චතුස්තලවාදී පාරිභාෂික උත්කෘෂ්ඨය. මොකක්ද මේ. චතුස්තලවාදී කිව්වම මගේ මිත්‍රයන්ට මතක් වෙන්නෝන මං කරපු "අම්මට සිරිවෙන පද්ධතියට හාච්චියක්" කියන සීරීස් එකේ හතලිස් එක ආ කියන කොටස. එතනදි මං මේ ගැන ඉතාම ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කලා. හෝව් හෝව්. දැං කිව්ව ගමන් ඒක බලන්න යන්නෙපා. බලල නැත්තං මේක බලල ගිහිං ඒකත් පස්සෙ බලන්න.


පාරිභාෂික කිව්වාම අපිට නිකං හිතෙන්නෙ මොකක්ද. මං ඒකට පොඩි උදාහරණයක් කියන්නං. දැං නිකං හිතන්න අපි ලඟ යකඩ ඇණ තුනක් තියෙනව. එක නට් එකක් තියෙනව. බත් පිඟන් තුනයි. මල් වට්ටියයි. හඳුන් කූරු පහයි. අපි දැන් යනව අභය ගිරියට. ඔහොම යද්දි අපිට හම්බවෙනව මල් කඩ. ඒ මල් කඩ වල තියෙනව පොල්තෙල්. අපි එතනින් ඉල්ල ගන්නව පොල් තෙල් නැති වීදුරු බෝතලයක්. දැන් අපිට අර ඇණ තුන ඒ වීදුරු බෝතලේට දාගෙන කතරගම කිරි වෙහෙර වෙනකල් යන්න පුලුවන්. හරිද. පැහැදිලියිනෙ. ඉතාම සරලව මං මේ කිව්වෙ. දැන් මේ වෙලාවෙ රුවන්වැලිමහා සෑය ලඟ භාවනා කරන 8 වසරෙ සමන්ට දැනෙන දේ තමයි පාරිභාෂිකයක් කියන්නෙ. හරි සරළයි.


උත්කෘෂ්ඨය ගැන කියද්දි මගේ මිත්‍රයන්ට ආයිත් මතක් කරන්නෝන මගෙ "තෝර කොල වල පිරමීඩ තාක්ෂණය" කියන කොටස බැලුවනං කුෂ්ඨ ගැන ඉතාම ප්‍රබුද්ධ දැනුමක් ලබාගන්න පුලුවන්. බැලුවෙ නැත්තං ඒකත් බලන්න. හරි අපි දැන් ආයිත් මාතෘකාවට එමු. ආ තව දෙයක්. "කුණ්ඩලීනී ශක්තියෙන් බාබකිව් එකක්" කියන කොටසෙදි මගේ මිත්‍රයන්ට මතක ඇති මං විශ්වගෙ අනිත් ජාන ගැන පොඩි මතක් කිරීමක් කලා. ඇත්තටම විශ්ව කියන්නෙ අපේ පුංචි අම්මගෙ පුතා. ඒකත් කිව්වෙ නැත්තං අඩුවක් කියල හිතුන. මගේ මිත්‍රයො දන්නවනෙ මං කිසිම දෙයක් මගේ හිතේ තියාගෙන බාගෙට දැනුම ලබාදෙන්න කැමති නැති බව. මං හැමවෙලේම උත්සහ කරන්නෙ දැනුමෙන් සන්නද්ධ පිරිසක් එක්ක අත්වැල් බැඳගෙන එක පවුලක් විදියට මේ ගමන යන්න.


හරි දැං ආයිත් අපි හැරෙමු අපේ මාතෘකාවට. දැන් තමයි අපි මේ මාතෘකාවෙ ටිකක් බරපතල දේවල් අතපත ගාන්න හදන්නෙ. මගේ මිත්‍රයො දන්නවනෙ මං ඒ වගේ දේවල් රසවත්ව පොඩ්ඩක් ජොලි විදියට ඉදිරිපත් කරන්න කැමතියි කියල. අපි එහෙම පොඩි රසවත් විදියකට මේක පැහැදිලි කරගම්මු. දැන් හිතන්න අපේ ජිල්ලබකට හංදියෙ වික්‍රම හෝටලේ තියෙනව සීනි බනිස් හයක්. බලන්න හරිම රසවත් නේ. කියද්දිත් කටට කෙල උනනවනෙ. ඒ බනිස් හය උඩ තියෙනව සීනි කැට අට ගාණෙ. මේක උදාහරණයක් විදියට ගන්න. මං දන්නව වගේ බුද්ධිමත් මිත්‍රවරු දැං පෑන් පැන්සල් කොල අරගෙන මේක මාත් එක්ක කරනව ඇති. 


කවුරුහරි ඉන්නවනං මගේ විලම්භීත ආක්‍රමණ පාඨමාලාවට සම්බන්ද වෙන්න කැමති මං පහළින් දාලා තියෙනව ලින්ක් එක ඒක හරහා එන්න. ආයිත් අපි එනව මාතෘකාවට. කොහෙද එක දෙයක් කියාගෙන යන්න බෑනෙ. මට මගෙ මිත්‍රයන්ගෙ දැනුම ගැන පුදුම කැක්කුමක් තියෙන නිසා එවෙලෙට මතක් වෙන දේ කිව්වෙ නැත්තං මට මං ගැන පශ්චාත් නූතනවාදී පරිකල්පනීය ක්ලාන්තයක් වගේ එනව. මං කිව්ව දේ මොකක්ද කියල දැනගන්න ඕනනං මගේ "පශ්චාත් ජුන්ඩාව - සුවඳ නොබලා මැරෙන්නට එපා" සීරීස් එකේ විසි දෙවනි කොටස බලන්න. ජීවිතේට වැදගත් වෙයි.


අපි එමු බනිස් වලට. දැං මේ බනිස් කන්න හිතෙන ත්‍රිකුණාමලේ වික්‍රම හාඩ්වෙයා එක ගාව ඉන්න කමල්ට ඒ හාඩ්වෙයා එකෙන් බනිස් තුනක් ගන්න ගියාම හම්බවෙන්නෙ පොල්තෙල් බෝතලේක දාපු ඇණ තුනක්. බලන්න ඒ සහසම්බන්ධය. අන්න ඒකතමයි මිත්‍රවරුනි සංසාරීය පුනරුත්ථාපනය කියන්නෙ.


මං හිතනව මගේ මිත්‍රයො අද එපිසෝඩ් එක ගැන සෑහීමකට පත්වුනා කියල. යන්න කලින් ආයිත් මතක් කරන්නං මගෙ විද්‍යුත් විච්ජේදන පාඨමාලාව ගැන. එන්න අපි අපේ දැනුම නමැති සාගරයේ යූටියුබ් නමැති බිලී කොක්කක ඇමුනුනු මාලුවෙක් වගේ පිලුණු ගඳගහන වට්ටියකට වැටිල පණ යනකල් දඟලමු.


ගිහිං එන්නං..

ජය


⚠සීරියස් ගැනීමෙන් වලකින්න

Wednesday, December 13, 2023

සිහින මවන්නැති


සිහින මවන්නැති කියන සේනක බටගොඩගෙ සිංදුව ඇත්තටම ස්වභාවික ගීතයක්. මට ඒක අද ඔප්පු වුනා.


අද මං කොළඹ මිද්දෙනිය බස් එතකට නැග්ගෙ ගෙදර එන්න හිතාගෙන. ඒකෙ උතුරන්න සෙනඟ. සෙනඟ මැද්දෙං මං අමාරුවෙං උඩ මැද පොල්ලෙ එල්ලිලා ඉස්සරහට යද්දි මට යංතං ඇහෙනව..


සිහින මවන්නැති අහස උසට තනියම.. කියල


හෙන ගේමක් දීල මැද යංතං කකුලක් තියාගන්න පුලුවන් ගෑණු දැරිවියෙක් ඉන්න තැනක ඉඩකට කිට්ටු වෙන්න හදද්දි ඇහෙනව..

ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර..


අරෙහෙං කොන්ද කෑ ගහනව, ලඟපාත එවුං කකුල් උස්ස උස්ස බැන බැන දඟලනව බස් එක ඇතුලෙ එකම කෙලියයි..

ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද... 


මගේ බෑග් එකේ බරට මට හෙලවෙන්නවත් බැරුව දඟලද්දි තමයි

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර.. කියල ඇහුනෙ..


බෑග් එක පොරවල් දෙන්නෙක් මැද්දෙ හිරවෙලා අදිනව අදිනව එන්නෑ.. මට හෙලවෙන්නවත් බෑ.. රේඩියෝ එකේ..


සිරවෙලා.. නැවතිලා.. නැතිනං.. සීමාවක.. ගාලා යටිගිරියෙං බෙරිහං දෙනව.


ෆුල් වෙරදාලා මං ඇදල ගත්ත බෑග් එක උං දෙන්නට බම්බුගහගන්න කියල. කරුමෙට බස් එක දඩාර බ්‍රේක් එකක් ගැහුවා. බෑග් එකත් ඇදිල ඇවිත් මං විසිවෙලා ගිහිං අර ඉඩ තිබුනු හරියෙ හිටපු උංගෙ ඇඟට හේත්තු වෙලා වැටෙන්නැතුව බේරුනේ..


නිදහසේ.. ඉගිලිලා යමු.. එක රෑනක කෑල්ල අහගෙනමයි..


නැවතිච්ච බස් එකේ පිටිපස්සෙ ඉඳන් එකෙක් 

හෝ හෝ හෝ හෝ හෝ හෝ ගාගෙන කෙලගෙන අපි සේරම පෙරලගෙන ඉස්සරහ දොරෙං බැහැලා ගියේ සේනක බටගොඩ වෝව් වෝව් වෝ ගාද්දි...


සෑමදේම නිමවුනා ඒ නිමේෂයෙන් පස්සෙ. මට සීට් එකක් හම්බුනා..

Wednesday, May 10, 2023

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ..


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ..

ඔන්න දවසක් අසංක බස් එකට නැග්ගලු. මං නෙවෙයි බං අසංක ප්‍රියමන්ත. නැගල ගිහිං වාඩිවුනාලු කෙල්ලෙක් ලඟ. කෙල්ල ටැටූ එකක් ගහල කොණ්ඩෙ පාටකරල ලස්සනට ඉන්න නිසා පොඩ්ඩක් ඇහැ දාලා බැලුවලු. මොන කිසිම ප්‍රතිචාරයක් නෑලු. වැඩේ හරියන්නෑ. බලං ඉඳල ඉඳල බැරිම තැන මෙහෙම ඇහුවලු..


නුපුරුදු ඔබ දුටු පළමු දිනේ.. සුපුරුදු ලෙස පෙනුනා..


කෙල්ල හැරිල බැලුව. හෑ.. පිස්සෙක්.. කියල ආයිමත් වීදුරුවෙන් එලිය බලාගත්තලු.


අසංකත් අරින්නෑ..

කෙදිනක හෝ විඳ පුරුදු ඇති.. සුසුම් සුවඳ දැනුනා...


අනෙ අයියෙ මේ.. පාඩුවෙ යනවකො.. මගුල් කියවන්නැතුව. දැකල තියෙනව. මතකයි මතකයි වගේ. මාව මතක තියෙන්න මං ජුහී චවුලද.. සුසුම් සුවඳ.. රෙද්ද තමා..


ටිකක් සද්ද නැතුව ඉඳල එකපාරම..


දැනුනා..... මට සුසුම් සුවඳ දැනුනා....

කියවුනා විතරයි නංගි හැරිල බැලුවලු නිකං මායා එකේ රංජන රාමනායක වගේ.. අතිං හරි හරි කියල ෂේප් එකක් දාගෙන පොඩි වෙලාවක් හිටියලු.


හිටියට ඉන්න බෑලු. කල්පනා කරල කරල දෙන්නං වැඩේ කියල...


පෙර කිසිදා ඔබ හමුවී ඇති බව ඉඳුරා කියත හැකි..

මොන රෙද්දක්ද බං මේ.. ඉඳුරා.. ඉඳුරා නෙවෙයි හැල වඳුර.. කටවහනවද නැද්ද.. කියත නෙවෙයි අම්මප පිහි කෑල්ලක් නෑනෙ මේ යකාට දමල අනින්න.. චිඃ විතරක්.. පෙරේතයා..


හමුවී ඇත්නං ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති..


අයියෝ බං.. පෙර සසරෙ.. යකෝ පෙර සසරෙක පතං එන්න තමුසෙ සිද්දාර්තද?? පාඩුවෙ ඉන්නවකො.. ලස්සන කෙල්ලෙක්ට පාර බැහැල යන්න නෑනෙ අම්මප. චිඃ.. අක්කල නංගිල නැද්ද..


සද්ද නැතුව ඉඳල එකපාරම..


යුගයක... වෙන්න ඇති...

කිව්ව විතරයි කෙල්ල උඩ ගිහිං නැගිට්ටුනා.. කලබලේට වචනත් පැටලිලා ඇඟිල්ල දික් කරල. කට හොල්ලල මොනාද ටිකක් කියන්න වගේ හදල ආයි වාඩි වුනාලු. 

මඟුලක් කියෝනවනෙ.. කිවගයල අනිත් පැත්ත බලාගත්තලු.


ටික වෙලාවක් ඩීසන්ට් පිට හිටපු අසංකට තව අදහසක් ආවලු.


භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ..

අයියෝ... මොන වදයක්ද බං. එකමනෙ කියන්නෙ. සසරෙන් සසරලු භවයෙන් භවයලු. ඇයි බං ඕම.. ගෑණු දැකල නැද්ද.. පතාගෙන නෙවෙයි ඔතාගෙන යන්න දෙනව දැං මං තොට කුඩෙං..


ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමුවීදෝ..


තමුසෙට සයිකොද බං. ඔලුව කොහෙ හරි වැදුනද. ඒ ගමන ඉසුරුමුණියක් ගැන කියොනව. රකින්න තෝ කිකිළියෙක්ද. ඇයි බං. මං මේ වැඩ ඇරිල ගෙදර යනගමන්. රෙද්දක් රකින්න කතා කරනව. මං මේ බස් එකට නැග්ග. තෝත් ඒකටම නැග්ග. මගෙ කරුමෙට තෝ ඇවිත් මෙතන වාඩිවුනා. ඒ නිසා හම්බුනා මිසක් මඟුල් දැහැනක් ගැන කියවන්නෙපා. පිං සිද්දවෙයි කටපියං ඉන්නවකො..


කිව්ව විතරයි..

අපි මෙහි හමුවීදෝ... කිව්වලු..


කුඩේ අතට අරගෙන කෙල්ල නැගිට්ටලු. පංසලේ ගණ්ටාරෙ ගහනව වගේ ටාං ටාං ගාලා දෙක තුනක් වැදුනලු. කෙල්ල නැගිටල ගිහිං වෙන තැනක වාඩිවුනාලු..


අසංක ඊලඟ හෝල්ට් එකේ බැස්සලු..

Monday, April 3, 2023

නි-වාඩු දවස්

 නි-වාඩු දවස්



බොසාට වැඳල යංතං ගන්න නිවාඩු දවස් වල ගෙදරට වෙලා ආතල් ගන්නව නේද කියල තමයි ගොඩක් උං හිතන්නෙ. ඉස්සරනං නිවාඩු දවසක් කියන්නෙ ඇතිවෙන්න නිදාගෙන හිතෙන වෙලාවට කාලා ෆිල්ම් එකක් බලල මැච් එකක් ගහල ෂපාන් එකේ නින්දට යන දවස්. ඒකට දැං..


වෙනද වැඩට යන්න ඉද්දි 5ට විතර ඇහැරෙන නිසා එලාම් එක කලින්දාම ඕෆ් කරල දහසක් බලාපොරොත්තු ඇතුව නිදාගන්නවා. ආයි ඉතිං හූන කියන්න වගේ චික් චික් ගාලා කිව්වෑකි පහුවදා පොඩි සනුහරේ නැගිටිනව ආයි තුනටවත්. එකෙක් කන ලඟ හොරණෑව පිඹිද්දි අනිකා ළමාමහපෙලහැර පාන්නෙ තරඟෙට වගේ. එකෙක් කරේ තියාගෙන අනිකව අතේ වඩාගෙන සුබ මොහොතින් ඇඹරෙන දවස ගැනනං ඉතිං කියන්න වචන නැත.


හා හා පුරා කියල කුකුලත් අතේ අරන් ගේ වටේ ගියත් නෝනව හොයනව බොරු. අනිත් හැමදාම තමං විඳින දුක එකදවසින් තේරුං කරවන්න හිතාගෙන වගේ උන්දැටත් අද යමරෙට වැඩ. රෙදි හෝදනව. ගේ හෝදනව. බඩු අස්කරනව. මිදුල සුද්ද කරනව. මකුලු දැල් කඩනව. රටේ නැති වැඩ. අවුරුද්දෙම මගෑරුනු සේරම අද දවසට දාගෙන වගේ මුකුත් අහන්නත් බෑ. වැඩනෙ.


එහෙ මෙහෙ බලල කරකියාගන්න දෙයක් නැතුව මුං දෙන්න දිහා බැලුවාම හිනාවෙලා ඇට්ටර මූණ දාන් හිටියට මොකද ඉස්සරහට එන්න තියෙන පැය ගාණට දවස පුරා මට වෙන්න යන වින්නැහිය උංගෙ ඇස් වලිං මට පෙනෙද්දි මගෙ ඇස් වලට කඳුලු පැන්න. මේ ආරම්භ වුනේ ත්‍රාසය භීතිය පිරි හාන්ස් ක්‍රිස්ටියන්ගෙ සුරංගනා කතාවක් කියල හිතාගෙන හිටපු පොතේ පටාචාරා පරිච්ඡේදයයි. වුනේ නෑ කියල කියන්න තියෙන්නෙ මාව උකුස්සෙක් අරං ගිය නැති එකයි, ගඟේ ගහගෙන ගිය නැති එකයි විතරයි. අහිංසක මං මේවා කොහොම දරාගත්තද කියල නිකමට හිතපල්ල.


එකෙක් බඩ උඩ නැගල පපුවෙ මයිල් අදිනගමන් උඩ පනිනව. අනිත් එකා ස්කූටියක් පැදං කකුල් උඩිං යනව. එකෙක් නලවන්න මං ජහුටා නටද්දි අනික මගෙ කලිසම ගලවන්න ට්‍රයි කරනව. එකෙක් කොණ්ඩෙට ගේ හරියෙ තියෙක සේරම වර්ගයේ කටු ගගහ ස්ටයිල් දාද්දි අනිත් එකා ගෙදර පුරා වතුර හල හල පූල් එකක් හදන්න හදනව. 


ටීවී දාලා ෆෝන් දීල කොහොම ආම්බාම් කරන්න හැදුවත් මුන් නෙවෙයි ඒ එකකින්වත් සෑහෙන්නෙ. ටීවී එකේ ගිහිං ඉවර වෙච්ච එකක් ආයි දාලා දෙන්න කියල අඬනව. ෆෝන්නෙක හයියෙන්ම පොලොවෙ ගහන එකාව හොයන්න හදනව. මට නිකං මංඤංද පොල්කොල වගේ. ලයිට් පත්තු වෙනව පේනව. කුරුල්ලො කෑ ගහනව පේනව. ඇස් නිලංකාර වේගෙන එනව. බැරිම තැන ගියා වයිෆ්ට ලඟට ලමයව දීල ටිකක් නිදහස් වෙන්න. 


මං යද්දි උන්දැ බිම වාඩිවෙලා කල්පනා කර කර ඉන්නව. බරපතල වැඩක් වගේ. මේ වෙච්ච දේවල් එක්ක ආයි කරන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙන්න හිතාගෙන ඇහුව. 

"මේ.. මේ දෙන්නව පොඩ්ඩක් බලනවද. මට ටිකක් අමාරුයි වගේ.."

"ආ පොඩ්ඩක් ඉන්න මං එන්නං. මේ වැඩේ ඉවර කරල.."

"මොකක්ද වැඩේ බබා.."

"නෑ මේ පොඩි වැඩක් තියෙන්නෙ. මේ ගිණි පෙට්ටි වල ගිණි කූරු කීයක් තියෙනවද බලල, ඒකෙන් දවස් කීයක් උයන්න පුලුවන්ද බලන්නෝන. අර ගෑස් එකේ බරෙන් ඒක ඇතුලෙ තියෙන ගෑස් ප්‍රමාණය හොයාගෙන ඒ ගෑස් වලින් දවස් කීයක වැඩ කරගන්න පුලුවන්ද බලන්නෝන. ඒකට හරියන්න බඩු ගෙදර තියෙනවද බලල අඩුපාඩු ලිස්ට් එකක් හදාගන්නෝන. ඒකට කීයක් විතර යයිද දන්නෑනෙ. අනිත් වැඩ ටිකනං ඉවරයි. ඔයත් අද ගෙදරනෙ. මේව නැත්තං කරන්න වෙන්නෑ.. ආ තව දර ටිකක් හොයාගන්නත් ඕන. ඉක්මණට එන්නං.. තව පොඩ්ඩක් බලාගන්න.."

මං හා කිව්ව නෙවෙයි කියවුනා. මං බේබීස් ඩේ අවුට් එකේ හොර නායකය වගේ අසරණ වෙච්ච මූණකින් සාලෙට එද්දි "තාත්තෙ කැච්" කියල ෆෝන් එක විසි කලා පඩිපෙල පහලට. ඒක අල්ලගන්න හැරෙද්දි කකුල තියවුනේ අනිත් එකා බිම පුරා හලල තිබුනු බේබි ඔයිල් ටික උඩ. එච්චරයි මතක.. සිහිය එද්දි ෆෑන් එකක් කැරකෙනව. සෝක් නිවාඩුව...

Saturday, March 18, 2023

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ


 රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ


නෑ.. නෑ නෙවෙයි. තෝ බීලා බීලා ඒ සේරම බැංකුවට පුදල දැං එනවද ඤෑ ගාන්න. අනේ අපෙ අම්මල අරන් දුන්නු කරාබු දෙකත් මේ යකා කාටද දීල කටගොන්නක් බීගෙන ආවනෙ දැං ඉතිං මගෙ කනේ එල්ල ගන්න වෙන්නෙ තොගෙ #ට දෙක තමයි.. අනික ආයි තමුසෙ මට ඔය නමනං කියාගෙන එන්නෙපා.. අඹේනියා ඇඹේනියා ගාන්න තමුසෙට ලැජ්ජ නැද්ද.. කාලකණ්ණියා..


රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ


අනේමේ.. තමුසෙ මගෙන් කුණුහරප අහගන්න එපා.. යකෝ රහට උයන්න බඩු තියෙන්න එපැයි. මුහුදු කටේ හිටියට මොකද ලුණු කැටයක් නෑ ගෙදර හරියෙ. එලෝලු දෙකක් එක්ක බත් කටක් කාපු දවසක් මතක නෑ. රහට උයල කවන්න නල්ලමලේ මනුස්නයනෙ. කකුල් දෙකෙන් හරියට පිලිවෙලකට මේ ගෙදරට අඩිය තියපු දවසක් තමුසෙට මතකද කියනවකො.. ආව මෙතන රසමසවුලු හොයන්න..


කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ


ආ.. හරි ෂෝක්.. දැං තමුසෙට මේ පාර හොයාගන්න බැරි මුහුදෙ පාරවල් නැති නිසා. යකෝ මොකාද වගේ බීගත්තම පාරවල් තියා මොන මගුලක්වත් පේනවයැ. මට ඇන්තනිය කිව්ව දවසක් උන්දැගෙ වාඩියට වෙලා කනමදය වගේ බීගෙන ආයි මුහුදු යනව කියල ගිහිං වට පිටේ සේරම ගෙවල් වල රෙදි වැලවල් ඇද ඇද හොයියා හොයියා ගගා නටපු නාඩගම. අනේ හැබෑටම තමුසෙටත් ලැජ්ජාවක් නෑනෙ. මං දැක්කනං දනී තමුසෙට කරන දේ..


අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ..


ඔව් ඔව්.. උඹට ඉතිං හැමදේටම තියෙන්නෙ ඔය උත්තරේ තමයි. බීගත්තම උතුර දකුණ මාරු වෙනවනෙ කොහොමත්. පුදුමයි තමුසෙට ගෙවල් තියෙන පැත්තහරි යංතං මතක් වෙනව.. මගසලකුණු තිසා අඩිසලකුණුවත් තියෙනවද බලනවකො එන විදියට..


ඔරු කඳ ලත වෙනවා මාදැළ හිනැහෙනවා


යකෝ තෝ ග#ජත් ගහනවද. මා දැල හිනැහෙනව නෙවෙයි යකෝ ඒකට පණ තිබුණනනං තොගෙ බෙල්ල වටේ එතිල හිරකරල තමුසෙව බාල්ලෙ එල්ලල නවතින්නෙ. ඔරු කඳ නෙවෙයි ගිහිං කණ්නාඩියෙන් බලනව තමුසෙගෙ කඳ දිහා. නයි නලාව වගේ තඩි බඩකුත් තියාගෙන කොණ්ඩ රැවුල් වවාගෙන මදිවට මාස ගාණකින් නාලත් නෑ. ලඟිං යන්න බෑ හපුටු ගඳයි. මාලු අල්ලනව කෙසේවෙතත් මාලු හෝදපු වතුර එකක බැහැල තම්බපු එකෙක් වගේ ඉන්නෙ.. හැටි බලනව තමුසෙගෙ..


අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා


අනේ ඔව්. ඒ ටිකනං කරනව. උදේම යනව.. හතරගාතෙන් හවස එනව. ගෙදර මිනිස්සු උන්නද මලාද කාලද මුකුත් දන්නෑ. යකෝ ගෑණියෙක් ගෙනාවනං උංගෙ ඕන එපාකම් ටිකක් බලල දරුමල්ලො බලාගෙන ඉන්නවකො පිලිවෙලකට. උදේ ආවට ආයි රෑ වෙනකල් තමුසෙ කරන්නෙ වෙරි බහිනකල් නිදාගන්න එකනෙ.. තව කෙරුවාවත් කියෝනව..


රළු කරදිය වැල් වෙලා.. එළොවක සිහිනේ බලා

ඝණ අඳුරේ අප සැමදා වෙලීලා


ඒ හරියත් මට ආරංචියි. මාලු අහුවෙන්නැතුව හොරෙංම ගොඩට ඇවිත් එක එකාගෙ ගෙවල් වලට රිංගගෙන ජහජරා වීඩියෝ බල බල බිබී ඉන්නව කියල. බී ගත්තම කොහොමත් තමුසෙ අර ඇන්තනියව බදාගත්තු ගමන්මනෙ. එළිවෙනකල් ඌව බදාගෙන ගෑණියි මිනිහයි වගේ හතර විලිලැජ්ජ නැතුව ඇමිනිලා තව ඒවත් කියන ලස්සන බලහල්ලකො..


නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ


ආ ඇත්තද.. සේරම තොපේ.. අපිට මුකුත් නෑ. යකෝ තෝ ගේන කජ්ජක් නැති නිසා මං මේ මහන්සි වෙලා එක එකාට වැඳල කරල මොකක්හරි දෑතෙ රස්සාවක් කරල කීයක්හරි ගේන එකෙන් තමයි මේ පඩිපෙල වගේ හදපු දරුවො ටික ජීවත් කරවන්නෙ. තමුසෙ කලේ මාව ගෙනාපු ගමන් නින්දක් නැතුව දාඩිය දාගෙන කරේ අහවල් එක කරල ළමයි ගොඩගහපු එකනෙ. මං එපැයි දැං උංගෙත් කරුමෙ ගෙවන්නත්.. සේරම තොපේ තමයි නැතුව.. ඇන්තනියගෙයැ..


මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ


තමුසෙගෙ කපන එක මං කියන්නෑ. කාසියෙන් නෙවෙයි අර මාලු කපන පිහියෙං දවසක මං තොගෙ මසුරන් මසුන් වල්ල කපල දාන්නෙ. දැනගං. ආයි එහෙම එන්නෑ මගෙ ඇඟට අත තියන්න. තමුසෙට කොහොමත් පැදුර පෑගුනත් ඇතිනෙ...


රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා

ඝණ අඳුරේ අප සැමදා වෙලීලා


අනේ නවත්තගනිං මිනිහෝ ඔය සිහින බල බල වැලලිල්ල. අදත් ආවද බීගෙන. මෙහෙම ගියොත් කොහොමත් ලයිට් කපල සදහටම ඝණ අඳුරෙ තමයි අපිට ඉන්න වෙන්නෙ. අන්න එදාට වරෙංකො මං කවුද මේ ලුසියා කියල පෙන්නන්නං..