Menu

Wednesday, June 12, 2024

බුත්තල I



පංචායත් කියන හිංදි කතාවෙ සීසන් තුනම ඉවර කරන්න ගියේ දවස් දෙක තුනයි. ඇත්තටම ඒක මට මාරම දැනුන කතාවක්. ඒකෙ තියෙන්නෙ ඉගෙනගත්ත තරුණ කොල්ලෙක් පළවෙනි රස්සාවට දුෂ්කර පළාතක රාජ්‍ය රැකියාවකට යන එකක් ගැන. එතනදි උට ඒ ගමේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනව. ඒ කතාව ඇතුලෙ මට පෙනුනෙ මාව. ඒක වෙන්නෙ මෙහෙමයි.


කාලෙකට කලින් ජොබ් එක කරපු ආයතනයේ ට්‍රාන්ස් එකක් හම්බවෙලා බුත්තල යන්න වුනා. බුත්තල කියන්නෙ ඊටකලින් නිකමටවත් ගිහිං නැති මොන පාටද කියලවත් දන්නැති ගමක්. ප්‍රමෝෂන් එකත් එක්ක ආපු නිසා බෑ නොකයම යන්න හිතුවෙ. ගෙවල් වල ඉඳන් පැය තුනකින් විතර එහෙට යන්න පුලුවන් නිසා. ඇත්තටම පැය තුනක් යනව කියල දැනගත්තෙත් මුලින්ම ගිය දවසෙ.


බෑග් මලු ගොඩ නිසා මගේ තාත්තයි, මාමණ්ඩියි මාව ගෙනිහින් දාන වැඩේ බාරගත්තෙ එනගමන් පොඩ්ඩක් අනුමත වෙන්නත් හිතාගෙනම වෙන්නැති. කොහොමහරි අපි පැය දෙක හමාරක් තුනක් වගේ යද්දි බුත්තලට ගොඩබැස්සා. හෙට ඉඳන් වැඩ කරන්න ඉන්න එවුං ගැන මෙලෝ හත්තිලව්වක් දන්නැතුව ආපු ගමනක් නිසා නිකමට ඔෆිස් එකට ඔලුව දාලා දෙන්නෙක් තුන්දෙනෙක් හම්බවෙලා ක්වාටස් එක තියෙන තැන එහෙම අහගෙන ඒ පැත්තට ගියේ බඩු ටික බාලා තාත්තලව ගෙදර පිටත්කරන්න හිතාගෙන.


වාහනේ දාන්න තිබුනෙ කණු දෙකක් තිබුනට වැටක් හරියටනැති සංඛේතීය ගේට්ටුවකින්. පෙනුමට ක්වාටස් එක තට්ටු දෙකට දැක්කම ඔලුව ටිකක් නිදහස් වුනා. කවදාවත් දුෂ්කර පළාතක වැඩකරල නැති නිසා මේක මට අලුත් අත්දැකීමක්. තාත්තල දෙන්නයි මායි බැහැල දීපු යතුරෙන් දොර ඇරියා. හරිම පිලිවෙලයි. තාත්තල දෙන්නත් මගෙ පස්සෙන් ආවෙ ෂර්ලොක් හෝම්සුයි, වොට්සනුයි අපරාධ ස්ථානයකට ඇතුල්වෙනව වගේ හෙනම විපරමෙන්. මං ඉතිං අපේ සගයන්ගෙ කෙරුවාව දන්න නිසා ඇඟේ ලේ වතුර වෙලා තමයි අඩියක් තිබ්බෙ. මුලින්ම ඇතුලුවුන සාලෙ හරිම පිලිවෙලට තිබුනු නිසා හිතට පොඩි නිවනක් ආවා.


මං කිව්ව විදියට කාමරේ හොයාගෙන බෑග් එහෙම තියල එද්දි තාත්තල දෙන්න මිදුලෙ. බිම වැටිල තිබුනු සිගරට් ෆිල්ටරේකුයි, බියර් බෝතලේක මූඩියකුයි අතේ තියාගෙන මූණට මූණ බලාගෙන හිටියෙ මං එනකල් කියල දැනගත්තු ගමන් මං ආයි හැරිලා ඇතුලට යන්න හැදුව විතරයි "හොඳ බෙබාලා ටිකක් ඉන්නව වගේ මෙතනනං.." කියල කිව්වෙ අපේ තාත්තා. මං ඇහුන්නෑ වගේ එහෙමම කුස්සිය පැත්තට ගියේ මොනාද තිබෙන පහසුකම් බලන්න නෙවෙයි අතන යන බේබදු පරීක්ෂණයට උත්තර දෙන්න වෙන නිසා.


කුස්සියට ගිය මගේ ඇස්දෙක උඩගියේ පිටිපස්සට වෙන්න බිත්තියට හේත්තු කරල ගොඩගහල තිබුනු ගල් වොඩ්කා ජින් විස්කි බියර් බෝතල් තෝගේ දැකල. අර මූඩියට දීපු ටෝක් එකේ හැටියට මේක දැක්කොත්නං මේ ඩබල මට සිරෝසිස් වලට බෙහෙතුත් දීලා, වැඩ කරන එවුං පුනරුත්ථාපනය කරල තමයි නවතින්නෙ. කුස්සිය හැමතැනම අවුස්සල අවුස්සල පෝර උර දෙකක් හොයාගෙන බෝතල් ටික වහල දාපු දාඩිය පාර අතින් පිහිදානකොටම තමයි තාත්තගෙ සුන්දර කටහඬින් මගේ නම කියන සද්දෙ එන්න එන්න වැඩිවේගෙන කුස්සිය පැත්තට ආවෙ. තාත්තව මගදි නැවැත්තුවෙ නැත්තං මේ බෝතල් ටිකත් එක්ක පැය තුන හතරක ලෙක්ච එකක් අහන්න වෙන නිසා අඩියට දෙකට ඇතුලට පැනලා තාත්තව හරවගෙන ඉස්සරහට ගියේ "තාත්තෙ පොඩ්ඩක් එන්නකො දෙයක් අමතක වුනානෙ" කියාගෙන.


වාහනේට ගිහිං සාක්කුවෙ තිබුනු මගේ ලයිසන් එක අරගෙන තාත්තට බොරු කතාවක් කියල බෝතල් කන්දට යන එක නවත්තගෙන වැඩි වෙලාවක් ඉන්න නොදී තාත්තලව පිටත් කලේ වැඩි වෙලාවක් හිටියොත් මේ බිල්ඩිම හදපු එකා ගහපු බුලත් කෙල පාරවලුත් හොයාගෙන මට දෙසන්න පටන්ගන්න නිසා.


තාත්තලා ගියාම නිදහසේ කාමරේ එහෙම අස්කරගෙන සාලෙට ඇවිත් වෙලාව බලද්දි පහට කාලයි. කලින් වැඩකරපු තැනනං වැඩ ඉවරවෙද්දි හය හත වෙන නිසා කට්ටිය එද්දි රෑවෙයි කියල හිතාගෙන ෆෝන් එකේ උඩ පහල යන්න ගත්තෙ කම්මැලිකමට. විනාඩි දහයක් යන්න වුන්නෑ එකපාරම දොර ඇරගෙන හෙන සෙට් එකක් ඇතුලට ආවා. මට නැගිට්ටුනා. එද්දි කතාකරල ආපු එකා කිසි කලබලයක් නැතුව ඇවිත් උගෙ කාමරේට යනගමන් මං දිහා බලල "ආ මචං. ඇඳුමක් දාගනිං පොඩි ගමනක් යනවා. යමං. නාන්නත් ඇඳුමක් ගනිං.." කිව්වා.

"නාන්න.. අද කලින් වැඩ ඉවර වුනාද.." මං ඇහුවා.

"දන්නවනෙ ඉතිං. මෙහෙ මෙහෙම තමයි. පහට වැඩ ඉවරයි.. ලැස්තිවෙයං ටක්ගාලා.." කියල කාමරේ දොර වහගත්තා.

අම්මටසිරි ගජ යකෝ. මෙව්වනෙ බ්‍රාන්ච්. මට නිකං පිස්සු වගේ. ඇඳුමක් දාගෙන නාන්නත් ඇඳුමක් ගත්ත. ඔෆිස් එකේ දෙවනියට වාහනයක් තියෙනව. කට්ටියම ගියේ ඒකෙ. වැඩිය අඳුරන්නෙත් නැති නිසා මනෝපාරක් ගහගෙන යනතැනට යනකල් ගියේ ගමේ ඇලකට දොළකට යනව ඇති කියල හිතාගෙන. මොකක්ද බෝඩ් එකක් ගාවිං වාහනේ ඇතුලට දාලා නැවැත්තුවෙ පූල් එකක් ගාව. මං ඇස්දෙකත් පිහදාලා බැලුවෙ මේ මොන බුත්තලක් වෙන්න යනවද කියල හිතාගන්න බැරුව.


කොහොමහරි කට්ටිය පූල් එකේ හෙන ආතල් එකක් දාලා, පොඩි ෂොට් එකකුත් දාලා, කාලා එහෙම ක්වාටස් යද්දි රෑ8ට 9ට ඇති. පට්ට ආතල් බ්‍රාන්ච් එකක් මේකනං කියල රෑ තිස්සෙ ගෙදරටත් කෝල් කරල කියල නිදාගෙන පළවෙනි දවසෙ වැඩට ගියෙ මාර චූන් එකේ. හවස පහ වෙනකල් දීපු තැනේ වැඩටික හොඳට බලාගෙන ඉඳල වොෂ්රූම් එකට ගියේ දැං කට්ටිය යයිනෙ කියල හිතාගෙන. එද්දි සේරම යමරෙට වැඩ. එකෙක්ටවත් යන්න හිතකවත් නෑ. මං හිමීට ලංකරල දෙවනියගෙන් ඇහුව "මචං යමු නේ" කියල.


"යන්න. පිස්සුද යකෝ. ඊයෙත් වැඩ බාගෙට නවත්තල ගියෙ. මෙන්න මෙහෙ වරෙං මේ ටික ඉවරකරන්න. ඊයෙ අපි උඹට පොඩි ආතල් එකක් දුන්නෙ. ආයි ඉතිං ඒ වෙලාවට යන්න වෙන්නෑ පුතෝ.. ආ මේ ෆයිල් එක ගනිං"


"මොකා"

මට හික් ගෑවුනා.. 


මතු සම්බන්දයි..

ප.ලි. ඉතුරු ටික ලියනවද නැද්ද කියල හිතමින් ඉන්නෙ. ඒවා ලියල පාරෙ බැහැල යන්න බැරිවෙයිද දන්නෑ. බලමු.

No comments:

Post a Comment