Menu

Friday, June 12, 2020

දෙවනි ඉනිම ගැන..



 දෙවනි ඉනිම ගැන දන්නෙ නැති අයට දැනගන්න මේ දේවල් ටික දාන්න හිතුවෙ. තණමල්විල කොලලෙක් එකේ දර්ශණ සැකැස්ම ගැන මහ ලොකුවට කියවන කිසිම කෙනෙකුට මේ දේවල් පෙනුනෙ නෑ. එක්කො හරියට බැලුවෙ නෑ. ඒ නිසා මේ ටික දාන්න හිතුවෙ. 

නිකමට බලනගමන් නවත්තපු තැන් කීපයක් මේ. ඒවයෙ තේරුම බැලුවාම තේරෙයි සමස්ථයක් විදියට ඒ නාට්‍යය කොච්චර දියුණුද කියල.


මුලින්ම ගැරේජ් එකේ අනුහස් එක්ක දෙව්මිගෙ තාත්තා කතා කරන එක බලමු. මෙතන පේනවද අනුහස් හේත්තු වෙලා ඉන්න වාහනේ බොනට් එක ඇරල තියෙන්නෙ. ඒත් ආනන්ද හේත්තු වෙලා ඉන්න එක වහල. බලන්න අනුහස්ගෙ විවෘත බව කොච්චර අපූරුවට පෙන්නනවද කියල. එතනොට කවුද ඒ බොනට් එක ඇතුල හදමින් ඉන්නව. එකෙන් අනුහස්හෙ විවෘත හිත කවුරුන්හරි මේ වෙද්දි හදමින් ඉන්න බව පෙන්නුම් කරනව. ගොඩක් සංවේදී කාරණවක්. ඒත් කීයෙන් කී දෙනාටද අනුහස්ගෙ ඒ වේදනාව තේරෙන්නෙ. 

තව අනුහස් ගෙ පිටිපස්සෙ බිත්තියෙ තියෙන රූපෙ. මයිකල් ජැක්සන්. අතිවිශිෂ්ඨ දක්ෂයෙක්. හැම අතින්ම පුදුම හැකියාවන් රාශියකින් පරිපූර්ණ කෙනෙක්. ඒ මුහුණ මතට අනුහස්ගෙ රූපෙ අතිපිහිත කරමින් මේ මොකක්ද කියන්න උත්සහ කරල තියෙන්නෙ. ඒ තරම්ම අති විශිෂ්ඨ හැකියාවන්ගෙන් පිරුණු තරුණ අනුහස්ගෙ ප්‍රතිරූපය. ඉතාම සුවිශේෂී භාවිතාවක්.

පිටුපස දෙන්නෙක් වැඩ කරමින් ඉන්නව. හරියටම අනුහස්ට හා ආනන්ද මැදින්. බලන්න ඒකෙන් ඉතාම පැහැදිලිව පෙන්නනව මෙතන කතා කරමින් ඉන්නෙ දෙන්නෙක් ගැන කියල. හඬ ඇහුනෙ නැතත් ඒක ඉතාම සරලව ගම්‍ය වෙන විදියට පෙන්නල තියෙනව. අතිවිශිෂ්ඨයි අධ්‍යක්ෂකතුමනි.

*****

මීලඟට අපි බලමු උදේනි අම්මා කුස්සියෙ උයමින් ඉන්න දර්ශණය. දකුණු අත පැත්තෙන් අපිට පේනව දොර දෙකේ ශීතකරණයක්. දොරවල් දෙකම වහල. බලන්න උදේනි අම්මගෙ හිත කොයිතරම් අපූරුවට ඒදේ හරහා පෙන්නල තියෙනවද කියල. ඒවා සියල්ල අමතක කරල වහලා දාලා ඉන්න උදේනි අම්මා කොච්චර ශක්තිමත් කෙනෙක්ද.

ටිකක් හිතල බලන්න. මේ කතාවෙ කිසිම තැනක මේ ශීතකරණය විවෘත කරනව අපිට පෙන්නන්නෑ. ඒ තරම්ම ඒ දේවල් අත්හැරල දාලා තියෙන්නෙ. අතීතය කියන්නෙ අතීතයම තමයි. දැන් බලන්න මේ මොනාද කපමින් ඉන්නෙ. එළවලු. මස් වගේ දෙයක් කපනව පෙන්නන්න තිබුන. නෑ. අධ්‍යක්ෂකවරයට අවශ්‍යයි උදේනි අම්මා කොයිතරම් සියුම් හිතක් තියෙනවද කියලත් ප්‍රේක්ශකයට දෙන්න. ඒ එළවලු කපන්නෙත් ලොකු දුකකින් කියල ඔයාලට උනත් පේනව ඇති. තව මේ වට පිටාවෙ දේවල් වලින් අපිට තව මොනතරම් දේවල් කියා පානවද.

හොඳට බැලුවොත් පේනව ගෑස් එක ලිපට සම්බන්ධ කරලවත් නෑ කියල. උදේනි අම්ම අවන්තගෙයි දෙව්මිගෙයි සම්බන්ධෙට තියෙන අකමැත්ත වගේම මේ පවුල් දෙක බේරගන්න අම්ම කෙනෙක් විදියට ගන්න උත්සාහය ව්‍යංගව පෙන්නල තියෙනව. ලිප් දෙකක් තියෙන ගෑස් කුකර් එකේ එකක විතරක් භාජනයක් තියල අනුහස් හා අවන්ත කියන දෙන්නම හිටියත් එයාට දැන් ඉන්නෙ අනුහස් විතරයි කියන එක පැහැදිලිව පෙන්නනව. කොයිතරම් සූක්ෂම යෙදීමක්ද. පෙනේරය එල්ලල තියෙන තැන උදේනි අම්මගෙ හිසට වැදුනු යගදා පහර සංඛේතවත් කිරීමක් වෙන්න පුලුවන්. කොයිතරම් නිර්භීත කාන්තාවක්ද.

*****

ඊලඟට අපි බලමු අක්ෂව ලිහිණි හම්බවෙන දර්ශණය. ඉතාම අඳුරු වටපිටාවක්. වාහනයට පිටුපසින් එක තැනක ලොකු එළියක් දකින්න පුලුවන්. ඒක එළියකට වඩා තියුණු අකුණු පහරක් විදියටයි පේන්නෙ. අක්ෂගෙ ජීවිතේ කලින් තිබුණු මහ අඳුරු බව හා මොකක්දෝ ඛේදවාචකයක නශ්ඨාවශේෂ තමයි මේ පෙන්නුම් කරන්නෙ. ඒක මහ කාලකණ්නි හැඟීමක්.

ඉදිරිය පැහැදිලියි විතරක් නෙවෙයි දැන් හිටගෙන් ඉන්නෙ වාහනේ ලයිට් දෙකට හරි මැදින්. මෙයින් අනුහස් හා අවන්ත නිරූපණය වෙනව වෙන්නත් පුලුවන්. ඒ තරම් ආලෝකයක් ඉදිරියේ තමයි දැන් අක්ෂ ඉන්නෙ. එතකොට ලිහිණි. තනිසීරුවට හිටගෙන ඉන්න ලිහිණිගෙ පිටුපස තියෙන ඒ මැළවිච්ච ගස් වැල් වලින් ඇගේ ග්‍රාමීය වටපිටාව මැනවින් නිරූපණය වෙනව. ඒක සුවිශේෂී යෙදීමක්.

ඒත් ඉදිරියෙ තියෙන්නෙ තාප්පය. බාධක ගොඩකට පුහුණ දෙන්න වෙයි. ඉතාම සූක්ෂමයි. අනේ දෙයියනේ ලිහිණිට ඉස්සරහට මොකක් වෙයිද. මොකක්වුනත් අනුහස් එයි එයාව බේරගන්න. අර පැළ අතරින් මතුවෙලා තියෙන කොළපාට තනි ගහ ඒක හොඳටම පැහැදිලි කරල දෙනව.

තව කොහෙන් නැවැත්තුවත් හිතාගන්න බැරි විදියෙ රුපරාමු භාවිතාවන් රාශියකින් පරිපූර්ණ මේ නිර්මාණය පුරාවටම බලාගන්න පුලුවන්. කොහොම මේ විදියට මේ දේවල් හිතනවද කියන එකත් ඇත්තටම පුදුමයි. එකතමයි රචකයාගෙ වගේම ඒ අධ්‍යක්ෂණයේ තියෙන සුවිශේෂීභාවය. හැබැයි මේ දේවල් හරියටම අල්ලගන්න පුලුවන් නියම දෙවනි ඉනිම ප්‍රේක්ශකයන්ටම විතරයි.

#devaniinima #tvderana #anuhas #awantha #dewmi #raveen #derana #devani_inima

Saturday, May 30, 2020

අන්තිම දවස..

 

ඇවිදගන්න බැරිතරං අමාරු වුන මාව එකපාරටම කොළඹ private hospital එකකට අරන් යන්න අපේ ගෙදර මිනිස්සු තීරණය කලේ අන්තිම මොහොතෙවත් මගෙ ජීවිතේ බේරගන්න තියෙන මොකක්දෝ හේතුවකට වෙන්න ඇති. ඒ වෙද්දි හම්බකරපු සේරම මගෙ ලෙඩේට කාලයක් තිස්සෙ වියදම් කරපු මගෙ වයිෆ්ටත් ඒ දේවල් කරන්න තරං සල්ලියක් මං ඉතුරු කරල තිබුනෙ නෑ.

කොහොමහරි ඒ hospital එකේ lift එකෙන් මාව උඩට අරන් ගියෙත් ඇඳක දාගෙන. ඒ තරම්ම මං දුර්වල වෙලා හිටියෙ. ඇස්දෙකත් ලාවට බොඳවෙලා පෙනුනු අන්තිම කාලෙ එයාව දැක්කට දැන් ඒ මූණෙ හිනාව නැතිවෙලා ඇති කියල හිතුනත් එහෙම වෙන්න ඕන නෑ කියල තමයි හිත හැමවෙලේම කිව්වෙ. එයාව දවසක කොළඹ එක්කන් ඇවිත් ඇවිදින්න එක්කන් යන්න හිටපු මට එයාව එක්කන් එන්න වුනේ ලෙඩ ඇඳක දිගාවෙලා. ඒක මහ කාළකණ්නි හැඟීමක්.

ඒ වෙද්දි doctorsලා මාව ඇතිවෙන්න චෙක් කරල කරන්න පුලුවන් ගොඩක් දේවල් කරල තිබුනෙ. හැමදේම කරල හැමෝම කාමරෙන් ගියාට පස්සෙ මායි එයයි විතරක් ඒ මැෂින් වල බීප් හඬත් එක්ක තනිවුනා.

දෙන්නට දෙන්න මුකුත් නොකිය විනාඩි ගානක් නිහඬ බව එයාගෙ දුක වැඩි කරනව කියල මට තේරුණා. 

"මේ.. මොකද කල්පනා කරන්නෙ. මේ ජනේලෙ රෙද්ද පොඩ්ඩක් ඈත් කරනවද?"

මගෙ ඔලුව පැත්තට වෙන්න තිබුන ජනේලෙන්වත් එළියක් ආවොත් මට යංතං හරි ඒ මූණ ආයෙත් බලාගන්න පුලුවන් වෙයි කියල හිතල මං කිව්වා. මගෙ ඇස් හොඳටම දුර්වලයි. ඒත් සැරින් සැරේ යංතමට වගේ ඡායාවන් පේනව. ඒක නිකං බොළඳ ආසාවක් වගේ හිතුනට ඒ මූණ දැකගන්න ඇත්තටම මට ලොකු වුවමනාවක් තිබුන. ඒත් ඒ දුක් විඳින මූණ බලන්නවත් නැති වුනේ මගේ වෙලාවට වෙන්න ඇති.

එයා නැඟිටල ජනේලෙ රෙද්ද ඈත් කලා.

"ඔයාට මතකද මං දවසක් කිව්වා ඔයාව කොළඹ එක්කන් එනව කියල. ඇවිදින්න.."

ටිකක් වෙලා නිහඬව හිටපු එයාගෙ වෙව්ලන කටහඬින්,

"ඔව්.. මට මතකයි" කිව්වෙ මුකුත් නොකිය බැරිකමට වෙන්නැති.

"බලන්න ඔතනින් එළියෙ. ඔයාට මොනවද පේන්නෙ"

ටිකක් වෙලා බලන් හිටියත් එයා මුකුත් කිව්වෙ නෑ.

"ආ.. නෙළුම් කුලුන පේනවද"

අහද්දි එයා,

"ඔව්. ඈතින් පේනව. ලස්සනයි ඒක.."

කිව්වෙ එයා මීට කලින් ඒක දැකල නැති නිසා වෙන්නැති.

"එතකොට.. තව ඇදවෙච්ච... බිල්ඩින් එකක්.. තියෙනවද? එකක් අනිත් එකට හේත්තු වෙලා තියෙන"

මං අමාරුවෙන් කිව්ව.

ටිකක් වෙලා ගියා. එයා හොයනව ඇති. පව්.. කලින් ඇවිත් නෑනෙ. 

"ආ.. තියෙනව. ඒකත් ඈතින් පේන්නෙ.."

"ආ ඔව් ටිකක් දුර තමයි.. වැවක් වගේ එකක් තියෙනව පේනවද"

"ආ.. කොයි හරියෙද"

"නෙලුම් කුලුන... කිට්ටුවම තමයි.. ආ ඒකෙ... බෝට්ටු... පදිනවත් ඇති... බලන්න.."

මං අමාරුවෙන් නවත්ත නවත්ත කියද්දි එයාට හොයාගන්න පුලුවන්ද මංදා. ඒක එයා දකින්නම ඕන එකක්. උඩින් පේද්දි තව ලස්සන ඇති.

"පේනව.. ඒක ලස්සනයි"

"මං ඔයාව.. එක්කං ගිහිං.. බෝට්ටු පදින්නත් හිතාගෙන හිටියෙ"

"දැන් ඉතිං දැක්කනෙ.. Thank you.."

"අයියෝ.. තව.. කොච්චර.. දේවල් තියෙනවද.. පෙන්නන්න.."

"කමක් නෑ මේ ටික ඇති"

"ගෝල් ෆේස් එක.... ගංගාරාමේ පංසල... විහාරමහදේවි.. පාක් එක හැමතැනම යන්න තිබුන"

එක පාරම මට කැස්සක් ආව. එයා බය වෙලා මගෙ ලඟට ඇවිත් මාව අල්ලගත්ත.

මට දැනුන මගෙ නහයෙන් මොනව හරි බේරෙනව වගේ. කැනෝල එක ගහල නිසා මගෙ අත හොලවන්න බෑ. එයා කෑ ගහල nurseට කතා කලා. Nurse doctorට කතා කලේ මාව දැකල බය වෙලා වෙන්නෝන.

මගේ ඇඟ කලින්ට වඩා ටිකක් හීතල වෙලා වගේ දැනුන. තව කීප දෙනෙක් මගෙ පැත්තට දුවන් එනව මං දැක්ක. එයා අඬන සද්දෙත් ඒ අතරින් මට ඇහුනා. එයා හිතනව ඇති මං මැරෙයි කියල. මං අමාරුවෙන් ඇස් ඇරල බලද්දි මට බොඳ වෙලා වගේ මගෙ වටේ අයව පෙනුන. ඒ අය මගෙ ඇඳට එහා පැත්තෙක් රෝද ඇඳක් තියල ඒකට මාව උස්සල තිබ්බා. 

මාව තල්ලුකරගෙන යද්දි මම බෙල්ල හරවල අර ජනේලෙන් එළිය බැලුවෙ නිකමට වගේ..

මොකක්... එතන..

නෑ.. එහෙම වෙන්නෙ කොහොමද? ඔයා..

ජනේලෙන් එහා පැත්තෙ තනිකරම මහ බිල්ඩිමකින් වැහිලා තිබුනෙ.

එයා ඒව බොරුවටද කිව්වෙ. අනේ දෙයියනේ.. ඇයි ඒ..

මුකුත් කියන්න වුනේ නෑ.. ඇඳේ තියල තල්ලුකරන් යන මං දිහා කඳුලු පිරිච්ච ඇස් වලින් එයා බලං හිටිය...

මට සමාවෙන්න..

මං කට හොලවපු විදියෙන් එයාට තේරෙන්න ඇති..

The end

Thursday, May 14, 2020

නැලවිලි ගී..

 

මේ දවස් වල ගෙදර වැඩිපුර ඉන්න නිසා කරනන දෙයක් නැති නිසා ගොඩක් වෙලාවට කරන්නෙ ළමය බලාගන්න එක. ඒකටත් ඉතිං තියෙන්නෙ පුදුම හැකියාව් නිසා අඬන එක නවත්තන්න කරන්න පුලුවන් හැම රෙද්දම කරනව. බැරිම වුනොත් ෆෝන් එකේ සිංදුවක් දාලාහරි නලවගන්නෙ කරන්නම දෙයක් නැතිකමට නෙවෙයි කම්මැලිකමට.

කොහොමහරි ඔහොම කරද්දි අපි අහන ඒවා දාලා බෑනෙ. හෙව්වා ළමා ගී ටිකක්. යූ ටියුබ් එකේ. අම්මටසිරි. තියෙනව අම්බානට.සිංහල නං සිංහල. ඉංග්‍රීසි නං ඉංග්‍රීසි. දෙමළ නං දෙමළ. ඕන එකක් තියෙනව. අපේ ළමයි හදන්නෙ ෆුල් සිංහල විදියට. දාන්නෝන සිංහල එකක්.

ඉතිං හොයාගත්ත කියමුකො. දැම්ම පලවෙනි එක. "සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ" ෂඃ මරු. කාටුන් පාරකුත් එක්ක වැඩේ නැගල යනව. පොඩ්ඩටත් හෙන හැපි. යකෝ මැද හරියට යනකොටනෙ තේරුනේ. මේක තනිකරම බාලවයස්කාරයෙක් වැඩට තියාගෙන ඉන්න එකක් ගැන කියන කතාවක්. හෙන නීතිවිරෝධියි. අවුරුදු අටයිලු ගස් නගිනවලු පොල් කඩනවලු පව්යකෝ. එමෙ ඒවා පොඩි එවුන්ට කියල දෙන්න පුලුවන්ද. දඩස් ගාලා ඕෆ් කලා. මෙන්න මේකා ආයි අඬන්න ගත්ත.

ආයි බැලුව එකක්. දැම්ම. "සුරතල් නංගියෙ අපෙ අම්මා" නියමයි. ඒත් පළවෙනි පද දෙක යනකොටම මොකක්හරි අවුලක් තේරුණා. නිකං අම්මගෙයි තාත්තගෙයි කලින් කසාද වල ළමයි දෙන්න අම්මටත් තාත්තටයි රණ්ඩු වෙනව වගේ එකක්. අරූ අම්ම හොඳයි කියනව. කෙල්ල තාත්තා හොඳයි කියනව. පවුල් ප්‍රශ්ණනෙ දෙයියනේ. යකෝ එහෙම ඒව කොහොමද ළමයින්ට අහන්න දෙන්නෙ. අපිත් වසල හමාරයි. භාගයක් යද්දිම නැවැත්තුව ඒකත්. ආයිත් අඬනව කියාංකො.

තව ටිකක් හෙව්වා. දැම්ම තව එකක්. "කොටු වැටිච්ච පුංචි සරම" ටයිට්ල් එකම හරිගියෙ නෑ මට. ඒත් දාලා බැලුව. කොටු වැටිච්ච කිව්ව ගමන් අපිට ඔලුවට එන්නෙ නිකං අර ටීවී එකේ කොටු කොටු දාන ජිංකිජිකා සීන් එකක්නෙ. අහගෙන යද්දි යකෝ හිරිකිතයිනෙ අහං ඉන්න. මල්ලියෙක් හුරතල් කරන මඟුලක් යන්නෙ මං පැනපු ගමන් නැවැත්තුව. චිඃ විතරක් යකෝ ළමා ගී කියලා මේවා දානවද. අපිත් අසරණ වෙනවනෙ. වට පිට බලල හිත හදාගෙන තව එකක් හෙව්වා. පොඩ්ඩ අඬනව හූ තියල.

දම්ම "හිංචි පිංචි හාවා" ඒකෙ බීට් එක මරු. පොඩි එකාටත් ආතල්. අඩෝ මේ මොකක්ද මේ කියන්නෙ. තනිකරම පීඩිත පංතිය තවත් පීඩනයට පත් කරන එකක් ගැන ව්‍යංගාර්ථයෙන් කියනවනෙ. පුලුවන් එකා බැරි එකාට කිංඩිය දාන්නනෙ මේ හදන්නෙ. අපේ රටේ හැමදාම වුනේ මේකනෙ. තියෙන එකාට හැමදේම තියෙනව. නැති එකාට මොන රෙද්දක්වත් නෑ. අනික තමුසෙ වගේ වචන පාවිච්චි කරල අපේ පොඩි උනුත් නරක් වෙනව. ධනපති පංතිය හැමදාම කලේ බැරි එකෙක්ව අල්ලගෙන උන්ටම කෙලවන්න හදන එක. පුලුවන් එකා කරන්න පුලුවන් හැම ජරා වැඩේම කරගෙන අර අසරණයව තවත් පාගන්න තමයි හදන්නෙ. මේව අහන්න දෙන්නෙ කොහොමද පොඩි උන්ට. පොඩි කාලෙ ඉඳන්ම සම අයිතීන් ගැන කියල දෙන්නෝන. හැමෝටම එක විදියට සලකන්න ඉගෙනගන්නෝන. නැවැත්තුව ඒකත්.

මේක ආයිත් අඬනව. යකෝ පොඩි එකෙක්ව හදිස්සියකට නලවගන්න සිංදුවක් නෑනෙ. මෙන්න මේ වෙලාවට තමයි ගෝඨාභය ස'ගෙ බස්වලට දුන්නු සුභාවිත සිංදු සීඩී එකවත් තිබුනනං කියල හිතෙන්නෙ. 

අම්මටසිරි. මේ තියෙන්නෙ බඩු. යූ ටියුබ් එකේ නිකං උඩට පහලට යද්දි හම්බුනා සුපිරියක්. "Rowdy baby".. අන්න සිංදු. දැම්ම නිකමට වගේ. මෙන්න යකෝ මේකා නටනව. පොරට මර හැපි..

Hey... en goli sodavae

En kari kozhambae

Un kutty puppy naan

Take me..

Take me..

ඇහුව දිගටම..

Wednesday, April 22, 2020

අනාගත වීරයන්..

 

නිදහසට කිට්ටු මේ කාලෙ ඒ කාලෙ හිටපු ජාතික වීරයො යුද්ධ කරපු කැරළි ගහපු හෙන වැඩකාරයො ගැන නිතර කියවෙන කාලයක්නෙ.

එහෙම කතා කරද්දි ඇත්තටම ඒ කාලෙ අයගෙ නම් කියද්දිත් නිකං ඇඟේ මවිල් කෙලිං වෙන සීන් එකක්නෙ තියෙන්නෙ. වීර පුරංඅප්පු.. හම්මා.. කොහොමද ගැම්ම. වීර කැප්පෙටිපොළ, ගොංගාලේ ගොඩ බණ්ඩා.. ආයෙ ඉතිං සුද්දන්ට නෙවෙයි අපිටත් චූ බර හැදෙනවනෙ ඒ නම් ඇහුවත්.

නිකමට හිතුනෙ. අඩේ අපේ දැන් නම් එහෙම කිසි ගැම්මක් නෑනෙ. හදිස්සියෙවත් මේ නම් තියෙන එවුන් ඒ කාලෙ ඔය සටන්, කැරලි, අරගල වල හිටියනං සුද්දො හිනාව නවත්තගන්න බැරුව ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු සිංදුව කියාගෙන මුහුදට පැනලා මැරෙන්නෙ.

දැං බලපං.. මගෙ නමම ගත්තත්. වීර අසංක මිහිර.. මොන විලිලැජ්ජ නැති නමක්ද ඕයි ඒක.

නිකමට තමන්ගෙ නමට දාලා බලපල්ලා. මෙලෝ රහක් නෑ.

වීර රංජන් රාමනායක, වීර භාතිය ජයකොඩි, කන්ද උඩරට කුමාර සංගක්කාර, වීර චතුර අල්විස්, මැදමුලනේ රෝහිත රාජපක්ෂ (ඒකනං ලඟදිම ඉතිහාසගතවෙයි වගේ) කිව්වට ගැලපෙන්නෑ වගේම දැන් අලුතෙන් දාන උන්ගෙ නම් එක්ක මේවා දැම්මනං සුද්දො ඒ නම් කියන්න ගිහිං දිවට සමනලගැටේ වැටිලා මැරෙන්නෙ.

වීර ටෙනුක ඩුල්වින්, කුරුණෑගල ජිංතුක ටොමල්ජිත්, කොලොන්නාවේ තිසේන් දින්සර, වීර මෙහෙන්ස ලිත්සුක, ලෝක පූජිත කුමාර සංගක්කාරේ ඖචිත්‍ය කෙම්සර....

හිනාවෙන්නෙපා බං. ඉස්සරහට ඇමරිකන් කාරයන්ගෙන් අපේ රට බේරගත්ත එහෙම ජාතික වීරයොත් බිහිවෙයි. අන්න එදාට මේ නම් කටපාඩම් කරන්න ගියාම තමයි තනි ඇහැට ඇඬෙන්නෙ..

Friday, April 3, 2020

ගෝනුස්සන්ට...

 

පොරක් ගඟක් ගාව ඉද්දි දකිනවා ගඟ දිගේ පහළට ගෝනුස්සෙක් ගහගෙන එනවා. ඌ සැඩ පහරට අහුවෙලා එද්දි අර මනුස්සයා ගාවදි ඉවුරෙන් පාත්වෙලා තිබුනු කොල අත්තක දැවටුනාලු. ඒත් ඌට වතුර පාරෙ සැරකම හිංදා උඩට එන්න බෑ.

මේක දැකපු අර මනුස්සයා නැඟිටලා ඇවිත් අත අර ගෝනුස්සට කිට්ටු කලාලු. බය වෙච්ච ගෝනුස්සා අරූගෙ අතට දශ්ඨ කාලාලු. ඒ වේදනාව කාගෙනම අරූ ආයෙ ආයෙත් ට්‍රයි කරනවලු මේකව අතට අරන් ගොඩින් තියන්න. හැමපාරම අරූ දෂ්ඨ කරනවලු. මූත් වැඩේ අතාරින්නෙම නෑ.

ඔය අතරෙ ඔතනින් යන මිනිහෙක් මේක දැකලා..

"ඒයි මෝඩ මිනිහෝ.. මොකක්ද ඔය කරන්නෙ. මැරෙන්නද හදන්නෙ. පේන්නැද්ද ඕකා ගෝනුස්සෙක්. ඔච්චර කාලත් ඔය වැඩේ නතර කරන්නැත්තෙ තමුසෙට පිස්සුද??" ඇහුවලු.

"මම දන්නවා බං. මේ මේ සතාගෙ හැටි. ඌ උගෙ ස්වභාවික නොමැරී ඉන්න උට උරුම වෙච්ච දේ අනුව දෂ්ඨ කර කර නොමැරි ඉන්න හදනවා.

ඒත් මේ මගේ හැටි. මං මොකටද මූ හිංදා මගේ ජීවිතයක් බේරගන්න අදහස අත්ඇරගන්නෙ.."

ඒ මිනිහා ආයෙත් අත දික් කරන ගමන් කිව්වලු.