Menu

Saturday, March 4, 2023

මදුරුවා 🦟


 මදුරුවා 🦟


ලෝකයේ සිටින නිර්භීතම සත්වයා මදුරුවාය. උට ඇති ගට මේ ලෝකෙ කිසිම සතෙකුට නැත. අලියා පහර දෙන්නේ උට පොඩි සත්තුන්ටය. කොටියත් එහෙමය. මී මැස්සො සර්පයො වගේ උං පහර දෙන්නෙ උන්ට හිංසාවක් කලොත් විතරය. මූ එහෙම නෑය. මුට කිසිම වරදක් නොකරන ඔහේ ටීවී බලාගෙන ඉන්න මිනිහෙක්ට මූ දමල අනින්නේ කිසිම හේතුවක් නැතුවය. පොඩි ළමෙක් වුනත් ඌ වගේ දහස් ගුණයකින් ලොකුය. එහෙව් සතෙකුට උගෙ ඇඟ විතර උලකින් අනින්නට හිතෙනවා කියන්නෙම ඌ මාර පොරකි.


මදුරුවන්ගේ ප්‍රධානතම ආදර්ශ පාඨය අනින්න පෙර සිතා බලනුය. ලොව ආතල් එකේම ඉන්න පිරිමි සතුන් වන්නේද මදුරු පිරිමිය. උන් බොන්නේ මල්පැණිය. ගැහැණු මදුරුවන් ජීවිතය පරදුවට තබා හෙන ඇඩ්වෙන්ච ගේම් දී එන තුරු උන් ආතල් එකේ මල්පැණි බිබී ගෙදරට වෙලා ඉඳියි. ඒක නිකං ගෑණිව වැඩට යවා ඒ සල්ලි වලින් ගෙදරට වෙලා ආතල් එකේ බිබී ඉන්න සැමියෙක් වගේ සීන් එකකි. උන්ගෙ තත්වෙ හිතාගත හැකිය. ලේ බී බඩ පුරවාගෙන නොමැරී ගෙදරට එන මදුරියන්ගේ කන්දොස්කිරියාව මොනවගේදැයි කීමට අවශ්‍ය නැත. ඇත්තටම ඒ තරං දරුණු ගේම් දෙන වැම්පයර් බිරින්දෑවරුන් සමඟ ඉන්නවාට උන්ට වෙනම සම්මාන දෙන්නට වටී.


මදුරුවන්ටත් ඇත්තේ වෙන ප්‍රශ්ණයකි. උන්ට ලිමිට් නැත. බොන්න පටන් ගත්තම බීගෙන බීගෙන යයි. බඩ පැලෙනකල්ම බොයි. ඉගිලෙන්නට තියා ඇවිදගන්නටවත් බැරිවෙන්නම බොයි. බේබද්දන් හා මදුරුවන් අතර බොහෝ සමානකම් ඇත. සමහර මදුරුවන් උදේ බලන විට නෙට්ටෙකේ එල්ලී ඉන්නේ කරන්නටම දෙයක් නැතිකමටය. උන්ට ගහන්නට ඕන නැත. පිම්බත් ඇතිය. ඇඳ උඩට වැටුනත් පුපුරා මියයනු ඇත.


ඉවසීම අතින් ඉහලම සතුන් කොටසක් ලෙස මදුරුවා දැක්විය හැකිය. නෙට් එකක් ඇතුලට වී නිරුපද්‍රිතව සැපට නිදියන තම රාත්‍රී භෝජනය දෙස එළිවෙනකල් වුනත් බලාසිටින්නට වූ අවස්ථා ඕනෑතරම් මදුරුවෙකුට තිබිය හැකිය. එක ලේ බිංදුවක් බොන්නැතුව දවස් ගණන් අතක් කකුලක් නෙට්ටෙකේ වදිනකල් ඉන්නවා කියන එක ලේසි නැත. අපි කන්න ආසම කෑමක් මේසය මත තියා කන්නැතුව බලං ඉන්නට වුනොත් මදුරු දුක අපිට දැනෙනු ඇත. හොඳ හැටි සප්පායම් වී බල්බ් සයිස් බඩවල් එක්ක උදේ වෙනකල් හෙලවෙන්න බැරුව ඉන්න මදුරුවන්ට සෑම උදයකම සුලබය. උන්ට ඇතුල් පැත්තෙන් කැරම් පාරක් ගැසූ විට බිත්තියේ වැදී මල්වෙඩි මෙන් පුපුරා අවසන් ගමන් යන්නේ අපිවද ප්‍රීතියට පත්කරවමිනි. ඒක මරුය.


ඒ වුනත් මදුරුවා පව්ය. මාලුවා නහින්නේ කට නිසා කිව්වාට ඒක වැරදිය. මාලුව නහින්නේ කටු නිසාය. මදුරුවානං නහින්නේ කට නිසාය. ෂේප් එකේ ලේ ටිකක් බී පාඩුවේ ගියානම් ගොඩක් මදුරුවො තාමත් ජීවත් වෙනවාය. බේබද්දන් බිව්වාම සිංදු කියන්නට යනවා වගේම මදුරුවන්ද වරද්දගන්නේ එතනය. මා ලියූ කෙටිම රචනාව මා ලිව්වේ මදුරුවා ගැනය. කූං කූං කූඌ..... චටාස්.. ක්ඌ...... පටාස්.. ඒ එම රචනාවයි. ලකුණු හම්බුනේ නැතත් මං ලිව්ව රචනාවට ඕන මදුරුවෙක් ලකුණු 100%ම දෙනු ඇත.


අත්පොලසන් නාදයක් මැද හරසරින් අවසන් ගමන් යන එකම සතාද මදුරුවාය. අපි අත්පුඩි ගහන්නේ ආතල් එකට කියා හිතන මදුරුවා ආයි ආයිත් එන්නේ අපිව සතුටු කරන්නට විය හැකිය. අත්පුඩි වර්ග ගැන වෙනම පාඩමක් මදුරු සිලබස් එකට ඇතුලත් කර මදුරු කීටයන්ගේ ඉඳන් පුරුදු කරගැනීමෙන් අකල් මදුරු මරණ අවම කරගත හැකිය. අත්පුඩියකින් මරපු සතාව පොඩි පට්ටම් කර අතුල්ලා චොරු පට්ටම් කර ආත්ම දෙක තුනක්ම අහිමි කරවීමනං තරයේ හෙලා දකිමි.


සමහර මිනිසුන්ව මදුරුවන්ට මිනිස්සුන්ව සීරියල් කිලර්ස්ලා වගේ පේනවා ඇත. "අන්න අරූ තමයි අපේ මාමගෙ පුතාට ෂොට් එක දුන්නෙ. අපේ සීය මැරුවෙත් මූ. අර ඉන්නෙ අපේ අයියව බිත්තියට හේත්තු කරල මරපු එකා. ඔය මිනිහ දවසක් මොකක්ද ගැජට් එකකින් අපි කට්ටියම කතාකර කර හිටපු තැනකට ගැහුව. දුං දාගෙන වැටුන බං චට චටස් ගාගෙන. හතක් අටක් එතනමයි. මං අනූනමයෙන් බේරුනේ. අරූ ලඟටනං යන්න එපා. එහෙම ගිහිං ආපු එකෙක්වත් නෑ. ඕක දවසක් අපෙ පුතාව මැරුව. මරල අඹරල සුන්නද්දූවිලි කරල දැම්ම. පොඩි කෑල්ලක්වත් ඇහැට දකින්න හම්බවුන්නෑ බං.." වගේ සංවේදී කතා මදුරුවන් අතර නිතර සිදුවනවා නොඅනුමානය.


"මදුරුවන්ට පුරුදු කරමු මල්පැණි බොන්න..

මල්පැණි බී බඹරු වගේ රෑට නිදන්න"


දීපාල් සිල්වාට නොහැකි වූ දේ කරගත්තොත් මේ මදුරු කරදරෙන් බේරීමට අපට පහසු වනවා විතරක් නෙවේය. උන්ටත් චිරාත් කාලයක් ජීවත් වීමට ඉඩ ලැබෙනු ඇත. එසේ පුනරුත්ථාපනය වූ මදුරුවන් බිහිවන අනාගතයක් දැකීම මගේ ඒකායන ප්‍රාර්ථනයයි.

Thursday, March 2, 2023

CookOut කරන අෂාන් ඩයස් අපේ ගෙදර ආවොත්..


 CookOut කරන අෂාන් ඩයස් අපේ ගෙදර ආවොත්..


අශාන් - අද අපි අතිශය සුන්දර පරිසරයකට උරුමකම් කියන ටීක් දිස්ත්‍රික්කයේ ටීක් ටීක් ග්‍රාමයට තමයි අපේ කුකවුට් ප්‍රෝග්‍රෑම් එක අරන් ඇවිත් තියෙන්නෙ.. අපේ යාලුවෙක් හරහා තමයි අපි මේ ගෙදර හොයාගත්තෙ. ඒක ඔවුන්ටත් සප්‍රයිස් එකක් වෙයි.. ගිහිං බලමු මොකද වෙන්නෙ කියල..


අශාන් ගෙදර මිදුලට යයි....

"කොහෙ රිංගනවද මේ පූස් තඩියා.. තොට මං...." කියාගෙන එකවරම ගේ ඇතුලෙන් දැරිවියක් දුවගෙන එයි. අශාන්ව දුටු විගස ගල්ගැසී නවතින ඈ "ආච්චී........." කියා කෑගසයි..

මොකද බං මේ බෙරිහංදෙ..... කියාගෙන ආච්චි එලියට එයි.. අශාන්ව දකී. අශාන් තක්බීර් වී බලා සිටී. 

ආච්චි - ආ මේ පුතානෙ.. එන්න ඇතුලට..

අශාන් - ආච්චි අම්මෙ.. කොහොමද ඉතිං.. අපි කුකවුට් ප්‍රෝග්‍රෑම් එකෙන්.. අඳුරගත්ත නේ..?

ආච්චි - පුකවුට්.. ඒ මොකක්ද බං..

අශාන් - නෑ නෑ අම්මෙ මේක උයන වැඩසටහනක්. ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල උයන ඒව හදන හැටි පෙන්නනව. බලල නැද්ද?

ආච්චි - අනේ නෑ බං. දැකල පුරුදුයි. මං හිතුවෙ සිරිපාල මලයගෙ පුතා කියල.. හරි හරි ඇතුලට වරෙංකො..


දැරිවිය තාමත් විරිත්තමින් අශාන් දෙස බලා ඇඹරෙමින් එහෙට මෙහෙට යමින් සිටී..

අශාන් - හරි.. ඔන්න එහෙනං අද අපේ වැඩසටහන පටන් ගන්න හදන්නෙ. අපි කෙලින්ම යමු කුස්සියට..

ආච්චි - කොහෙට.. කුස්සියට ගියොත් බොට පිස්සු හැදෙයි බං.. යමංකො ඕන්නං.. අපේ ලේලිගෙ කෙරුවාව බලාගතෑකි..


අශාන් - හරි අපි යං.. අම්ම ඉස්සරවෙන්නකො..


අශාන් - ෂඃ මේ මොකක්ද මේ.. හිරමනේද? ගානට මේසෙට හයිකරල කරකවන්න තියෙන්නෙ... නියමයි නියමයි.. අම්මද හොයාගත්තෙ..


ආච්චි - අනේ නෑ බං ඕක මේ අපේ එක්කෙනා හයිකලේ.. ඕදිරිස් හිරමනනෙ.. පුතා දැකල නැතෙයි..


අශාන් - ආ ඕදිරිස් කියන්නෙ ගමේ මාමා කෙනෙක් වෙන්නැති නේ.. නියමයි.. අද මොනාද ස්පෙෂල් තියෙන්නෙ උදේට..


ආච්චි - ස්පෙසල්නං මොනාද මංද පුතේ මේ කොළ කැඳ එකක්නං තිබ්බ මං බිව්වෙ නෑ..


අශාන් - පට්ටනෙ.. කෝ බලමු.. මේකද..?


එක උගුරක් කටට ගෙන කට ඇඹුල් කරගෙන අමාරුවෙන් ගිලදමයි.. 

අශාන් - ෂඃ මරුනෙ.. මොනාද ආච්චි මේ.. ජීවිතේට මංනං මෙහෙම එකක් බීල නෑ..


ආච්චි - මොනාද බං ඕක කටේ හරියක තියන්න බෑ අපේ ලේලිනෙ හදන්නෙ.. මං ඕක හවස් වෙනකල් තියල බල්ලෙකුට බොන්න දානව.. කිව්වට විශ්වාස කොරපං උංවත් කටේ තියන්නෑ..


ලේලි කුස්සියට එයි..


අශාන් - ආ අක්කා.. කොහොමද ඉතිං.. අපි මේ ආවා ඔයාලගෙ කුස්සියටම.. අද මෙතන තමයි අපේ කුකවුට් ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ.. එන්න එන්න..


ලේලි - අනේ ඇත්තද හරි ෂෝක්නෙ.. මෙයානං හරිම ආසයි ඔයාට.. කියමින් ලේලි දුවද සමඟ කුස්සිය ඇතුලට පැමිණේ..


අශාන් - ආ ඇත්තද තැන්ක්‍යු.. අද මොනාද අක්කෙ දවල්ට කන්න තියෙන්නෙ.. මටනං ඉවසිල්ලක් නෑ දැනගන්නකල්..


ලේලි - ආ.. දවල්ට උදේ හදපු සම්බෝලයක් තියෙනව.. තව දැන් මේ හදන්න කියල ආවෙ..


අශාන් - සම්බෝල.. මරුනෙ.. මගෙ ෆේවරිට්.. කියමු බලන්න.. තව මොනාද හදන්නෙ..


ලේලි - කටු පිටිං කොහිල වෑංජනයක් හදනව.. මෙහෙ ඉන්න අයගෙ කොහොමත් ටිකක් අර්ශස් අමාරුව තියෙනවනෙ. හොස්ස ලඟින් මැස්ස යන්න බෑනෙ.. (නැන්දම්මා දිහා වරින් වර බලමින් කියයි)


අශාන් - කටු පිටිං කොහිල. නියමෙට තියෙයි.. මං කාලම නෑනෙ.. තව තව..


ලේලි - තව ඉතිං තෙඹු කොළ මැල්ලමක් හදනව. දවස තිස්සෙම පාං කකා වැඩිකරගන්න සීනි අඩු කරවන්නත් ඕන මංනෙ.. මේව ඉතිං හොඳ ඖෂධීය කෑම.. මල්ලිට හරියයිද දන්නෑ..


අශාන් - අනේ නෑ මං ආසයි ගමේ කෑම වලට.. තෙඹු නේ.. බලමු බලමු.. තව..


ලේලි - තව ඉතිං මේ ගෙදර පරිප්පුනං වරදින්නෑ.. ඒකත් එක්ක ගෙදර පොඩි උංට සොසේජස් ටිකක් බැදල දෙනව.. මහ උංදැලටනං මේ මදැයි..


අශාන් - අම්මෝ ඇති ඇති.. අපි එහෙනං හදමුද.. කවුද දැං අම්මද අක්කද හදන්නෙ..


ලේලි - අම්ම.. (සිනාසෙමින්) මං තමයි ඉතිං හදන්නෙ.. හැබැයි හැදුවම වැරදි කියන්නනං සේරම ඉන්නව.. 


අශාන් - අම්මෝ අක්ක විහිලුත් කරනවනෙ.. බලමුකො.. කෑවම මාත් කියන්නං අවුල් ටික..


සියල්ල අසා සිටි ආච්චි ලේලිට ඔරවා "කෝකටත් පුතේ අසමෝදගං එකකුත් එක්ක කන එකක් කාපං.. ඕං මං නොකිව්වයි කියන්නපා.." කියමින් කුස්සියෙං පිටවෙන්නට යයි..


ලේලි - අම්ම මොකක්ද කිව්වෙ.. අනේ මේ අම්මෙ.. කවදාවත් කිසිම උදව්වකටවත් එන්නැතුව මෙතන ඇද හොයන්න එන්නෙපා.. ඉවසං හිටියම..


ආච්චි - අනේ මේ බං.. මං මේ පොඩි එවුං ලොකු මහත් කලේ උඹ හදන ඒවා කවලද.. උඹල හැරෙනකොට මට මාලුව හතරක් හදන්න පුලුවන්. ඇඹරි ඇඹරි ඉන්න වෙලේ කෑමක් හදපං මේ ලමයට කන්න..


ලේලි - අනේ අම්මෙ මේ.. අම්ම යනවද.. මං මේක ....


අශාන් - හරි හරි.. අපි දැං වැඩේට යමු.. කතාව පස්සෙ බැරියැ..


ආච්චි - නෑ පුතේ.. උදේ හැමදාම ඇහැරෙද්දි ඉර පස්ස පැත්තට පායල. උදේ මනුස්සය වැඩට යනව නේද කියල වගේ වගක් නෑ..


ලේලි - අනේ අම්මෙ මේ.. දවසෙම අමාරුයි කියල නිදාගෙන.. උදේ නින්දයන්නැතුව ඇහැරිලා තේ හදල මට කතා කියන්නෙපා... පුදුම වැඩක්නෙ මේක..


අශාන් - නෑ නෑ අපි දැං වැඩේ කරමු නේද අක්කෙ..


ලේලි - නෑ නෑ මල්ලි.. හැමදාම කට පියාගෙන ඉද්දි එනව ඇඟට නගින්න.. මල්ලිලත් මේව දැනගන්නෝන.. මං මේ විඳින දුක මංනෙ දන්....


ආච්චි - අනේ උඹෙ දුක.. යකෝ මං මේ බෙහෙත් බිබී.. දවස තිස්සෙ ගෙවල් අතුගගා මකුලු දැල් කඩ කඩ.. අස්පස් කරල වැඩ සේරම....


අශාන් - අයියෝ අම්මෙ මකුලුදැල් නෙවෙයි මේක උයමුකො..


ලේලි - අපොයි ඔව්.. කඩනව මකුලු දැල්.. 


අශාන් - හෝව් හෝව්.. දැං ඇති.. 

රංඩුව නැවතීමට හදයි..


ආච්චි - කඩනව තමයි.. කියනව බලන්න කවද්ද අන්තිමට මකුලුදැල් කැඩුවෙ කියල.. ලමයි දෙන්නව ඉස්කෝලෙ යවන්න ඇහැරවන්නෑ පුතේ මේ ගෑණි මොන නැකතකින් ඉපදිලාද මංද..


ලේලි - ඔව් ඔව්.. අම්ම වෙන්නැතිනෙ ඒ දෙන්නව ලෑස්ති කරන්නෙ...


අශාන් - ආ ඇති ඇති දැං.. මේක කරමු.. කෝ ඉතිං..


ආච්චි - මගෙ එකා අහුවුනානෙ මේ ගෑණිට.. අම්මප අර සෙනෙවිරත්න මහත්තයගෙ දෝනි රත්තරං ඒ අතිං..


ලේලි - අහුවුනා.. රෙද්ද තමා.. මං මේ පරණ පවකට කරගැහුවනෙ.. නැත්තං මටත් හිටිය නියම කොල්ලෙක් ඉස්සර...


අශාන් - දැන් ඇති නේ අම්මෙ.. කියමින් රංඩුව බේරිමට එහෙට මෙහෙට දඟලයි.


ආච්චි - මොකක්ද උඹ කිව්වෙ.. හිටිය කොල්ලෙක්.. මං කිව්ව අපේ එකාට.. දැං හරිනෙ.. උඹ අපේ එකාව රැවැට්ටුව.. ඉඳපං උඹට...


කියා ලඟ තියෙන හට්ටියකින් දමා ගසයි.. වලිය බේරීමට දඟලන අශාන්ගේ ඔලුවේ හට්ටිය වැදී එතනම සිහිසුන්ව බිම ඇද වැටේ.. තිදෙනාම ගල්ගැසී කැමරාකරු දෙස බලයි..


ලේලි - ගැහුව නේද.. අයියෝ.. මල්ලි.. 


දුව - අනේ අයියේ.. 


ආච්චි - අඤේ අඤේ ගාන්නැතුව වතුර ටිකක් ඉහපං..


දුව නැගිට වතුර ටිකක් මූණට ඉසියි. යංතංමින් ඇස් අරින අශාන් "මං මේ කොහෙද.. ආ.. නංගි.. කවුද මේ.."


කැමරාකරු - මචං.. පැකාප්.....

Sunday, January 15, 2023

ඩිස්ටි ඩිඩිං..


 ඩිස්ටි ඩිඩිං.. 

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 😜⚠


සුවහසක් විවාහක හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා සිය දූදරුවන්ගෙන් දිනපතා ඩිස්ටි ඩිඩිංකරණයට සිදුවන අසීමාන්තික බාධා කම්කොටලු හිරිහැර පිළබඳව බලාගෙන ඉන්නට බැරිම තැන මෙසේ අකුරු කරමි. මෙය මාගේ පමණක් නොව මාගේ මිතුරන්ගේ හතුරන්ගේ වැඩිහිටියන්ගේ අඩුහිටියන්ගේ ඇසගැටුනු නෙතගැටුනු හිතගැටුනු අතිශය සංවේදනාත්මක අත්දැකීම් පදනම්කොටගෙන ලියවී ඇති බව අවධාරණය කිරීම වටී.


බැඳපු එකෙකුට හිතූ සැනින් තමාගේ බිරිඳ සමඟ හැසිරීමට නොහැකි වීම ඛේදවාචකයකි. එයට 200%ක්ම වගකිව යුත්තේ ඔවුන්ගේම දරුවන්ය. දහ අතේ නලවා නිදිකරවා දහසක් බලාපොරොත්තු ඇතුව ලයිට් ඕෆ් කර අදාල ස්ථානගතවීම් සිදුකලද තබනු ලබන පළමු ස්පර්ශයෙන්ම අරුන්ට කරන්ට් එක වැදී මෙන් ඇහැරී කෑගැසීම පුදුමසහගතය. උන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පියන් සිහිකරමින් නැවතත් දහඅට සන්නිය නටා නිදිකරවා පැමිණ මැගී නූඩ්ල්ස් එකක් හදන වෙලාවටත් කලින් රෙඩා පොට් කරන්නේ ආයිත් අරුං ඇහැරුනොත් සියල්ල මුලසිට ඇරඹීමට වඩා එය හොඳ නිසාය.


හැමදාම මෙලෙස හැසිරීමට නොහැකි නිසා කලින් කතාකරගත් දිනයක් යම් සූදානමක් ඇතුව රෝමාන්තිකව ගතකිරීමට යොදාගැනීම බොහෝ වෙලාවට සිදුකරයි. එලෙස සැලසුම්කරගත් කිසිම දිනයක කුඩා වදකාරයින්ට නිදිමතක් එන්නෙ නැත්තේ මොන කරුමයක් නිසාදෝ මම නොදනිමි. ඔවුන් එදාට රෑ 10ටත් බැලුං පුම්බයි. කිරි කිරි බොලේ කරයි. කොපර කොපර පිපිංඤා කරයි. ජිල් ගසයි. පුදුම වැඩ ගොඩකි. අම්මා තාතතාගේ කැමති ක්‍රීඩා ගැන උන්ට කිසිම ගාණක් නැත. නිදිපෙත්තක් හරි දී මුංව නිදිකරවීමට සිතෙන්නේ මේ වෙලාවටය. මෙවැනි දෙමව්පියන් බොහොමයක් වෙහෙසකර දවසකින් පසුව රෑ කල නින්දට යන්නෙ හිස් අතින් තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන සර්වකාලීන බව සිතමින්ය.


ජනගහනයේ සීඝ්‍ර වර්ධනයට සෘජුවම අකුල්හෙලන මේ පොඩි වදකාරයින් ගෙදරට පැමිණිමට පෙර සිටි යුගය ගැන මතක් වෙන විට ඇසට කඳුලක් නැඟෙනු ඇත. චාමික කරුණාරත්න මැච් එකක් දිනවනවාටත් වඩා කලාතුරකින් සිදුවන දෙමව්පිය එක්වීම් යෝගී ඉරියව් වලින් බට්ටො පනිනවාටත් වඩා අමාරු වැඩකි. සිදුවන ඕනෑම සද්දයක් සෙලවීමක් කැළඹීමක් පොඩි එවුන්ට දැනෙන්නෙ අහස කඩා වැටෙනවා කියාය. පොඩ්ඩ ගැස්සුනොත් පොඩි උං උඩගොස් ඇහැරී අසනා ප්‍රශ්ණ වලට උත්තර දීම රෙදි ගැලවෙන වැඩකි. මේ තත්වයට පත්කරගත්තේ තමන්ගේම පෙර වැරදි නිසා බව මතක් වෙනවිටත් දුක හිතේ. 


බඳින්න පෙර ට්‍රිප් එකක් ගියාම පට්ට ආතල්. කන්න ඕන වෙලාවට බඩ පැලෙන්න කනවා, නිදියන්න ඕන වුනාම නිදියනව, බොන්න ඕන වුනාම බොනව. ඒකට දැන්. කන් බොන්න තියා ඇඳේ නිදියන්න ඉඩක් තියෙන්නේද කලාතුරකිනි. අහවල් රාජකාරි සිදුකිරීම ගැන හිතන්නවත් වෙන්නෙ නැත. මේ තත්වය ඉතාම ශෝචනීයය. මෙහෙම අවධානමක් සහිතව හැසිරීමෙන් වැඩිකල් නොගොස් කලින් දවසෙ රෑ තාත්තා අම්මාගේ පිටසක්වල ජීවී හැසිරීම් අමු සිංහලෙන් පැමිණෙන අමුත්තන්ගේ කනේ තැබීම සිදුවීම වැලැක්විය නොහැක. සමහර අවස්ථා වල අදාල කාර්යයේ නිරතවී සිටින අතරතුරම ගල්ගැසීමට සිදුවන්නේ එහාපැත්තෙ යස අගේට නිදං හිටපු පොඩි එකා වාඩිවෙලා බලං ඉන්නවා දැකීමෙනි. සමහර දරුවන් මේව දැක්ක කියල හොයාගන්න වෙන්නෙ පහුවදා උං කරන දේවල් නිරීක්ෂණය කිරීමෙනි. ඊයෙ අම්මත් එක්ක කරපු සෙල්ලම කරමුකො තාත්තෙ කියල කියනකල් මෙලෝ දෙයක් නොදැන සිටි යාලුවන් මට සිටී.


මෙසේ සිදුවන අකුල්හෙලීම් නිසා දිනෙන් දින කල්යන ශරීර අවශ්‍යතාවයන් නිසා අදාල අවයව අදාල තැන්වල තිබෙනවාද, ඒවා සක්‍රීයව වැඩකරනාවද යන්න ගැනද සැකසහිත බව මගේ යාලුවෙක් දවසක් මට කිවේ ඇඩූ කඳුලිනි. දිගින් දිගටම සිදුවන මෙම තත්වයන් මඟහරවා ගැනීමට යෝජනා කීපයක් ඇත. විවාහක පිරිස් උදෙසාම වෙන්වූ දරුවන් බලාගැනීමට වෙනම ස්ථාන සහිත කාමර පහසුකම් ලබාදෙන හෝටල් ක්‍රමයක් හඳුන්වාදීම වටී. මීට අමතරව විවාහක අයට ට්‍රිප් යාමේදී සිය දරුවන් බාරදී යා හැකි කෙටිකාලීන දරු සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීම සුදුසුය. මේ නිසි බලධාරීන්ටග් අවධානයට ලක්වේවා.. විවාහකයන්ගේ ඩිස්ටි ඩිඩිං අපල දුරුවේවා..

Tuesday, October 11, 2022

බර කිරිල්ල..


 බර කිරිල්ල..


ලමයින් විවිධාකාරය. එකාට එකෙක් වෙනස්ය. එහෙව් ලමයින්ව එකම මිනුම් දණ්ඩකින් මැනීම ගොං වැඩකි. දරුවාගෙ බර මනින දවස යනු ගෙදරක අම්මෙක්ට උසස් පෙළ විභාගයටත් එහා ගිය කඩඉමකි. මිඩ්වයිෆ්ගේ කටට රතිඤ්ඤ දාන්න හිතෙන මට්ටමට කතන්දර කෝටියක් අසාගෙන ගෙදර එන්නට වෙන බව සිහි වූ විට අම්මලා ඉන්නේ පට්ට ස්ට්‍රෙස් එකකය.


ඇත්තටම මිඩ් වයිෆ්ලගෙ මේ ජොබ් එක මටනං පුදුමාකාරය. යකෝ කන්නැති ලමයෙක්ට ගහක බැඳල කවන්නයැ. උං කන්නැත්තං කන්නෑමය. කන වෙලාවට පස් වුනත් කනවය. එහෙම මේ බර මනින්න කිට්ටු වෙද්දි දෙකොන දිගඇරෙන්න කන්න තරම් දැනීමක් පොඩි උන්ට නැත. මිඩ් වයිෆ් නෝනලාට අනුව මේ ප්‍රස්ථාර යා යුත්තේ උඩටමය. බැරිවෙලාවත් පහලට ආවොත් ඌ කපෝතිය. ජහජරාව කවල කිසිම පෝෂණයක් නැතුව ලමයි හදනව. කොස් බතල මයියොක්ක ටිකක් දීලා ලමයෙක්ව හදන්න දන්නෑ. කඩචෝරු කවල කවල ළමයින්ව මන්දපෝෂණය හදවනව. කියමින් බලාසිටියා වාගේ කියනවාය. ඇත්තටම ගෙදරදි මුන්ට කවන්නට ඔට්ටු වෙන ඔට්ටු විල්ල දන්නේ ගෙදර උංය.


සමහර කාල වල ළමයින්ට අසනීප හැදෙයි. සමහර කාල වල උං හිතාමතාම කන්නැතුව ඉඳියි. තවත් කාල වල උන්ට කන්න බෑ. තවත් ලමයි කනව වගේ දෙගුණයක් ක්ෂය වෙන්න දඟලයි. මේ මොනම මඟුලත්වත් ගැන කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අම්මාට කනෙ ඇඟිලි ගහගන්න දෙනෝදාහක් දෙනා මැද දෙස් තැබීමනං අතිශය ප්‍රාථමිකය. මේවාගේ අහිතකර ප්‍රතිඵල විඳින්නට වෙන්නේ අහිංසක ගෙදර ඉන්න මහත්තුරුන්ටය. 


බර කිරපු දවසේ සිට ගෙදර මනුස්සයාට හෙනහුරාය. ඌ කැස්සත් බැනුං අහනවාය. නැගිට්ටත් වැරදිය. නිදාගත්තත් වැරදිය. මිඩ්වයිෆ්ගේ පලිය ගන්නේ අපෙන්ය. ගෙදර ආපු වෙලේ ඉඳන් මූණ එල්ලං ඉන්න බිරිඳගෙන් ඇයි ඇහුවත් වැරදිය. ඇහුවෙ නැතත් වැරදිය. බැරිවෙලවත් උපදෙසක් දෙන්නට ගියොත් සොරිම තමයි. ලක්ෂ්මී දෙවඟනට මෝහිනී ආවේස වෙලා මායා එනවා දඬුවම් දෙනවා ගීතයේ තාලයට නට නට ඇවිත් බොටුව කඩනවා බැලීමට ආසනං කතාකලාට කම් නැත. ඒ නිසා සතියක් විතර යනකල් වෙනදේ බලා ඉඳීම නුවණට හුරුය. 


අනෙක අතට අර පොඩි එවුන් පව්ය. බෙල්ල මිරිකල හරි උන්ට කවන්න දහ අට සන්නිය නටන්නේ මිඩ් වයිෆ්ගේ ගෙදර අයව මතක් වෙන නිසා විය යුතුය. ඒත් ඉතිං අරුං මර ලතෝනි දෙමින් දහ අතේ දුවන්නේ මෙලෝ හසරක් දන්නැතුවය. ඇත්තටම උන්ට කන්න බැරුව ඇති. කෑවෙ නැත්තං ඇඳක ගැටගහල සේලයින් බෝතල් තුන හතරක් හරි දෙන ලෙවල් එකෙන් ඉන්න අම්මලාට ළමයාව පේන්නේ මන්දපෝෂණයෙන් පෙලෙන ඉතියෝපියාවෙ දරුවෙක් ගාණටය.


එහෙම හිතෙන ගාණට දරුවන්ව අම්මාව දෙකයි පනහට දාලා තවුසන් ටෝක් දෙන මිඩ්වයිෆලානං පාපයකි. අපේ ළමයි ගැන අපිටවත් නැති බොරු කැක්කුමක් ඇඟට අරන් නොහොබිනා බැනුම් බනිමින් අම්මාව පාච්චල් කර ඔවුන් පිටකරන්නේ ඔවුන්ගේ රැකියාවේ ආතතිය වි යුතුය. මෙය අතිශය ප්‍රාථමිකය. ළමයින්ට කැවීම කල යුතු බව අප දනී. ඒක ඇත්තය. හැබැයි කිසිම "සාමාන්‍"ය දෙමව්පියෙක් තම දරුවාව හිතාමතා බඩගින්නේ තියන්නෙ නැත. තමන්ට තියෙන එකත් පුලුවන්නං උන්ට කවයි.


තමන්ගෙ ජොබ් එකේ ඇරියස් අපිට අදාල නැත. අනෙකාට ගරු කිරීමට පුරුදු විය යුතුය. කවුරු වුනත් මේ ඇවිත් ඉන්නේ අම්ම කෙනෙකි. කාගෙවත් අතපල්ලෙන් වැටුනු බෙහෙත් හිඟමනේ යන යාචකයෙක් නොවේ. මෙය අප රටේ නීතියට අනුව අපට උරුම අයිතිවාසිකමකි. එය ඉටු කිරීම ඔබේ වගකීමකි. එය තමන්ගේ කරුමයක් ලෙස නොසිතා කටයුතු කරන්නේනම් ඉතාම හොඳය. අප ඔතනට පැමිණෙන්නේ කාගෙවත් ලොකු සීන් බැලීමට නොවෙමු. අපට අපගේ දරුවාගේ මට්ටම දැනගැනීමට අයිතියක් ඇත. එය පෙන්වා දීම ඔබ සතු වගකීමක් ලෙස සලකා එය සටහන් කරදී කල හැකි දේවල් වටහා දෙන්න. අම්මලාව බලු ගානට දමා පහත් කොට කෑමොර දීම ඔබේ රැකියාවේ කොටසක් නොවේ. විද්‍යාත්මකව පවසන උපදෙස් දුන්නාම ඇතිය. අපේ ළමයි ගැන ඉතුරුහරිය අපි බලාගන්නං.. මොකද ඒ ළමයි අපේ...

Monday, March 28, 2022

කැවිල්ල


 කැවිල්ල 👶🏻


කෑම කෑමට කුඩාකාලයේදී මේ තරම් අප්‍රිය එකම සතා මිනිසා වියයුතුය. පොඩි උං කන්න මෙච්චර අප්පිරියාවක් දක්වන්නෙ මොකක් නිසාදැයි මටනං හිතාගන්නට බැරිය. මේ ලෝකෙ මවපු මොකාහරි අපි කවන්නට කරන කෙලි, විඳින දහදුක් දන්නවනං හුස්ම ගන්නව වගේම කෑමත් ඉබේම ඇඟ ඇතුලට යන්න සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම මවනු ඇත. ඕනෑම සතෙක් ජීවිතයේ හැමදේම කරන්නේ කාලා බීල ඉන්නය. එහෙව් එකේ මුන්ට කරන්නම බැරි වැඩේ ඒකය. අනික් හැම සතාම නොකා නොබී මැරෙන්නට බැරුව ලතෝනි දෙද්දී මිනිස් පොඩි උං කන්නේ නැතුව ලතෝනි දී මැරෙන්නට හදයි.


පොඩි කාලේ සිටම අපිට අම්මලා ලෝකෙ නැති කතන්දර කියමින් කවයි. ගෝනි බිල්ලන්, මකරුන්, යක්ෂයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන් පමණක් නොව හැකිනම් මහසෝන ගැන හරි කියා බියවද්දා කටක් දෙකක් බඩට යැවීම සාමාන්‍ය ලාංකේය සිරිතයි. ටික දවසක් යන විට අපේ පොඩි උං මහසෝන ඇත්තටම ඇවිත් කන්න කිව්වත් හිනා වී "අනෙ පලයං බං යන්න" කියන ලෙවල් එකට බය නැතිවෙයි. ඉන් පස්සෙ උං කන්නෙ උන්ට ඕන වෙලාවටය. පුදුමය නම් උන්ට එහෙම බඩගින්නක් එන්නැති එකය. සාමාන්‍යයෙන් වැඩුනු නිරෝගී මනුස්සයෙකුට හරියමං ආහාර වේලක් නැතුව දවස් 8ක් 10ක් ජීවත් විය හැකි වුවත් මේ අරුමපුදුම දරුවන් නොකා නොබී මාසයක් වුවද ඉනු ඇත. මොනා නැතත් අයිස් ක්‍රීම්, බිස්කට්, චොක්ලට් දුටුව සැනින් ලොවෙත් නැති බඩගින්නක් එනඑකනං මාර වැඩකි.


ළමයි හදන්නට පෙර ළමයින්ට කැවිය යුතු ආකාරය ගැන යම් යම් දෑ කියවා සිටියෙමි. එකම මේසයක තබා කෑමට පුරුදු කරවීම, එකම වේලාවකට කෑමට හුරුකරවීම, කෑමට පෙර පසු අත සේදීම, කෑම කෑමට බල නොකිරීම, කැවීමට ෆෝන් නොදීම, කෑම ප්‍රතික්ෂේප කල විට කැවීම නවතා කන වෙලාවක කැවීම වැනි උපදෙස් ඉන් කීපයකි. මුලදීනම් මේවා අකුරටම කිරීමට මාර ට්‍රයි එකක් දුන්නද පහු පහු වෙනකොට උපදෙස් දෙපිටිං ගොස් උං ඔලුවෙං හිටගෙන කෑවත් කවන තත්වයට පත්විය. ගේ වටේ දුවමින්, කතා කියමින්, වාහනේ රවුම් ගසමින්, බල්ටි ගසමින්, තරු ගනිමින්, පොලොවේ පස් කමින් කැව්වද උං කන්නේ කටවල් දෙක තුනකි. ටීවී එක, ෆෝන් එක දීම පමණක් නොව කිව්වොත් ප්‍රෙට්‍රල් දමාගෙන ගිනිතියාගැනීමට පවා දෙපාරක් නොසිතෙන ගානට හෙම්බත් වෙන මේ කෙරුවාව දවසට තුන් වතාවක් කිරීමට ඇති බව මතක් වීමත් අට වසරෙදි තනියම මහරෑ රාස් බැලුවට වඩා භයානක හැඟීමක් ඇතිකරයි.


රටේ නැති සියලුම ගුණදායක පෝෂණීය දෑ මුසු කරමින්, පත අට එකට සිඳවා, වෙදපප්පා අරිශ්ටෙ හදනවටත් වඩා සූක්ෂම ක්‍රම සහ විධි භාවිතා කරමින් යූ ටියුබ්, අර ටියුබ්, මේ ටියුබ් සේරම පීරමින් අපෙ අම්මා සිට පබිලිස් සිල්වා දක්වා වැනි සෑම සූපවේදියකුගේම උපදෙස් මත කෑමවේල පිළියෙල කරගන්නේ ඇන්කර් පීඩියා ප්‍රෝ වල ඇති යකඩ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් වලට මෙන්ම සමපෝෂ යහපෝෂ ත්‍රීපෝෂ සියල්ලේ ධාන්‍ය පෝෂක වලට හැරෙන්නවත් බැරිවෙන්නය.


පට්ට ගේමක් දී හදන කෑමෙන් කටක් දෙකක් කෑවත් කෑම වල ගුණ අගුණ සැර තිත්ත ගැන අවලාද කියමින් කටට දැමූ කටත් ගේ මැද බිම දාන්නේ පශ්චාත් කැවීමේ කාර්යයන්ද එකතු කරමින් ළමයගෙ අම්ම මුත්ත මතක් කරමින්ය. යන යන තැන කෑම හැලීම, කවනා කටෙන් බාගයක් පිඟානට දැමීම, කකා ඉන්න කටවල් කිසි හිරිකිතයක් නැතුව අතට දැමීම, වතුර එක හලාගැනීම අති සාමාන්‍ය දේවල්ය. අමාරුවෙන කටට දමන කෑම කටද පැය දෙකක් වුවත් කටේ තියාගෙන ඉන්නේ රිළවුන් උගේ කටේ කෑම ස්ටොක් කරගන්නා ක්‍රමය තාමත් ජාන වල ඇති නිසා වියහැකිය. 


ආච්චිලා සීයලා ඉස්සරහ කැවීම යනු හෙනමම වෙනමම රිස්ක් එකකි. ඒ ගැන කියලා වැඩක් නැතිය. කියන්නටනං දේ බොහෝය. ළමයින්ට ඇත්තේ චූටි කටවල්ය. චූටි බඩවල්ය. කෑම කන්නේ ලොකු වෙන්නටය. ලොකු වෙන්න කන්න ඕනය. කෑවත් නැතත් ලොකු වෙනවාය. එහෙමයි කියා නොකවාත් බැරිය. මේ ප්‍රශ්ණයටනං මට ඇත්තටම තාමත් උත්තරයක් නැතිය. ඇත්තටම ළමයි කන්න මෙච්චර අකමැති ඇයිදැයි උං ලොකු වුනාම අහලා බැලිය යුතුය. එතකල් කැවිය යුතුය.