Menu

Friday, January 10, 2025

බස් එකේ සීයා.. 👴🏽

 බස් එකේ සීයා.. 👴🏽


මේක ඇත්තටම හිනාවෙන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි වෙච්ච දේත් එක්ක මේක කියන්නම හිතුන.


වැඩ ඇරිල ගෙදර යන්න නැග්ග බස් එකකට. ඇඹිලිපිටියෙ ඉඳන් යාපනේ යන බස් එකක්. හිතාගන්න පුලුවන්නෙ. යනව ආයි මුකුත් නෑ පණ එපා කියල. වාඩි වෙලා ඉන්න උනුත් ඉස්සරහ සීට් එක බදාගෙන එහාපැත්තෙ එකාව හපාගෙන කකුල් උඩ දාගෙන යන්නෙ. පැයභාගයක් යද්දි හිටපු සීට් සේරම ෂෆල් වෙලා බෙලිකටු මල්ල හෙල්ලුව වගේ ඉස්සරහ හිටපු උං පස්සට ගිහිං පස්සෙ උං ඉස්සරහට ඇවිත් තමයි නතර වෙන්නෙ. කතාව ඒක නෙවෙයි.


කොන්ද ටිකට් කඩාගෙන එනකොට වයසක සීයා කෙනෙක් සල්ලි ගන්න අතේ තිබුනු පොඩි පර්ස් එකකින් සල්ලි අදින්න ගත්ත. ටිකට් අරං ඉවර වුනා විතරයි සීයා එකපාරම නැගිටල අයියෝ ගාගෙන අර හූ කියාගෙන යන බස් එක ඇතුලෙ දඟලන්න ගත්ත. ලඟ පාත උං ඇයි ඇයි ඇහුවට කියාගන්න සිහියක් නැතුව සීට් එකෙනුත් නැගිටල මැද්දට ඇවිත් සෙනඟ මැද්දෙං පෙරලගෙන නැමි නැමි බල බල දෙපැත්තට යනව. සීයා සීට් ඇතුලෙං යනව. ගෑණු අයගෙ කකුල් අස්සෙං මතුවෙනව. බිම බඩගානව. අයියෝ මං ඉවරයි ගානව. සීට් උඩ නගිනව. කකුල් අස්සෙං එබි එබි බිම අතගානව. එක විකාරයයි. වටේම උං ඇයි අංකල් ඇයි සීයෙ ගගා මොකද අහනව. කොන්දට මල. මේකා හතර අතේ බඩගගා බස් එකේ යන එවුන්ගෙං ආතල් ගන්නවද දන්නෑනෙ. 


කොන්ද ආවා. සීයව අල්ලගත්ත.

මේ සීයෙ. මොකද වුනේ. මොනාද හොයන්නෙ.

අනේ අයියෝ, ගගා හති ඇර ඇර තාමත් බිම මොනාද හොයනව.

මේ අංකල් හොයන දෙයක් අපිටත් කියන්නකො. අපිත් බලන්න. පොඩ්ඩක් හුස්ම අරන් නැවතිලා කියන්නකො. මටත් හති සීයා පස්සෙ දුවල.

අනේ පුතේ මගෙ රුපියල් 1000ක් බිම වැටුනනෙ. මං මේ ඒක හොයනව.


අප්පට සිරි. කට්ටියටම හික් ගෑවුනා. කොන්ද අර පොතයි පෑනයි තිබ්බ පැත්තකින්. සීයන්ඩී බිය නොවන්න දාහ හොයන සැටි මං පෙන්නන්නං කියල දැන් පොර යනව සීට් අස්සෙං බඩ ගගා. සීට් වල උං කකුල් උඩ දදා අර පැත්තට මේ පැත්තට කිය කිය දාහ හොයනව. කෙල්ලො ලඟ ඉන්න උං ඒ කෙල්ලන්ට මේ සිද්දියෙ වෙන්න පුලුවන් භෞතික විද්‍යාත්මක චලිතයන් ගැනයි භූගෝලීය අසමතුලිතතාවන් ගැන විස්තර කරනව. රටේ ආර්ථික තත්වයේ උච්චාවචනයන් නිර්වචනය කරනව.


කොන්ද කෙල්ලංගෙ ඔලු උඩිං සායවල් අස්සෙං හැට්ට ඇතුලෙං අත දදා දාහ හොයන්න ට්‍රයි කරනව. හැමෝම දැං එකම මිෂන් එකක. බස් එකම ආයි මුකුත් නෑ පුදුකුඩිඉරිප්පු වගේ. කොල්ලො බඩගානව. කෙල්ලො අනේ පව් සීයා ගගා විලාප තියනව. සමහරු පොල්ලෙ එල්ලිලා එහෙ මෙහෙ යනව. දාහ පංති ගිය උංගෙ බෑග් ඇතුලට ගිහිංද බලනව. පර්ස් වලට බැරිවෙලා වැටිලද බලනව. පොත් පෙරලනව. සාක්කු චෙක් කරනව. සීයත් ගේම අතාරින්නෑ වෙව්ල වෙව්ල ඩ්‍රයිවර්ගෙ සරම අස්සෙත් එක්ක දාහ හොයනව. හුලං දිසාව බල බල දාහ ගිය දිහාව හොයන්න ෂර්ලොක් හෝම්ස් ටයිප් එවුං වෙන කොල කෑලි උඩ දදා බලනව. එකම ගිණි විජ්ජුම්බරයයි.


මේ අස්සෙ එකෙක් නිකමට සීයගෙ අතේ තියෙන සල්ලි ටික පොඩ්ඩක් ගණං කරල බලන්නකො සීයෙ හරිද කියල. වැටුන්නැද්ද දන්නෑනෙ.

නෑ නෑ පුතේ මගෙ අතේ ටිකට් ගත්තු දාහට අමතරව තව දාහක් තිබුන ඒක තමා වැටුනෙ.

කෝකටත් අරං බලන්නකො කිව්වම සීය ඇරිය අර පං මල්ල. යකෝ මෙන්න දාහක් තියෙනව දිලිසි දිලිසි.

හත්වලාමෙ කොල්ලො මේ තියෙන්නෙ බං රුපියල් දාහ. වැටිල නෑ නොවැ.


බස්සෙකේ සේරම මූණට මූණ බලාගත්ත. කොන්ද කොහෙද ඉඳං දූවිලි නාගෙන ඇන්ටි කෙනෙක්ගෙ කකුල් දෙකක් ඇතුලෙං එලියට ආවෙ පරණ විසිකරපු ටිකට් එකක කෑල්ලකුත් හපාගෙන. පොරව දැක්කම සීය හරි හරි පුතේ හම්බුනා කිව්වම ඒකගෙ ඇස් වලින් ඩොලර් පැන්නෙ ඩොලර්..


අර බර්නුලි ප්‍රමේයන්, චලිතය පිලිබඳ නිව්ටන් නියම අරව මේව කියපු උං බිම බලාගෙන මුකුත් දන්නෑ වගේ ඉද්දි වටේම ගෑණු දැරිවියො ඇන්ටිල එහෙම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි "හරි නෝටි අනේ මේ අංකල්" වගේ මූඩ් එකක ඉස්සරහ බලාගෙන බහින තැන එනකල් ඉවසිල්ලක් නැතුව ෆෝන් එක දිහාම බලාගෙන හිටිය. මං බහින තැන ආපු නිසා මාත් හිමීට බැහැල ආවා. තව පොඩ්ඩෙං අරුං යාපනේට යනකල්ම දාහ හොයනව.

Wednesday, August 28, 2024

මේක හරි කෙලියක්නෙ..


 මේක හරි කෙලියක්නෙ..


පොඩි එකා ෆෝන් එක ගන්න හදද්දි මට මතක් වෙනව දවසක් යූටියුබ් චැනල් එකක කිව්වා ෆෝන් බැලුවම ළමයින්ගෙ මනස විකෘති වෙනව කියල. හරියට ඩ්‍රග්ස් වලට වගේ ඇබ්බැහි වෙනව කියල. මුකුත් කරකියාගන්න බැරි ඉක්මණට කේන්ති යන අසාමාන්‍ය විදියට මනස වෙනස් වෙනව කියල.


ඒක නවත්තන්න ඕනනිසා ෆෝන් වල ඇහැට පේන්නැති සතෙක් ඉන්නව, ඒ සතා ළමයින්ගෙ මොළ කාලා ළමයින්ව ලෙඩ කරනව කියල කියන්න හිතුව. ඒක කියන්න හදද්ද මට මතක් වුනා ඩොක්ට කෙනෙක් දවසක් කිව්වා ළමයින්ව කවදාවත් අනවශ්‍ය විදියට බයකරන්න එපා ඒවා එයාලගෙ මනසට දීර්ඝකාලීනව බලපානව කියල. ඒ දේවල් නිසා මානසිකව දුර්වල හරිම කුලෑටි ලමයි හැදෙන්න පුලුවන් කියල එතුම කිව්වා.


ෆෝන් බැලුවම බුදුහාමුදුරුවො ඔයත් එක්ක තරහ වෙනව, ඔයා අම්මගෙ දේවල් පාවිච්චි කරනවද කියල දෙවියො උඩ ඉඳං බලාගෙන ඉන්නෙ, එහෙම වුනොත් සුරංගනාවියො ඔයාට රෑට තෑගි ගෙනත් දෙන එකක් නෑ කියල කියන්න හදද්දි තමයි ලමයින්ට බොරු කියන්න හොඳ නෑ කියල හාමුදුරු කෙනෙක් බණකට කියනව මතක් වුනේ. එහෙම වුනාම එයාලත් ඒ විදියටම බොරු කියන්න පටන් අරන් පස්සෙ අපි කිව්වෙ බොරු කියල දැනගෙන අපිට වෛර කරන්න ගන්නවලු.


ඒනිසා මං කියන විදියට හොඳට හිටියොත්, කරන හොඳ වැඩ සේරම පොතක ලියල, ඒ හොඳ වැඩ අනුව ඔයාට ලකුණු දීලා, හැමදාම තෑග්ගක් ගෙනත් දෙනව කියල ෆෝන් එකෙන් ඈත්කරන්න හිතුවම තමයි ඔලුවට ආවෙ තිස්ස සර් කිව්වනෙ ළමයින්ව පගාවට වැඩකරවගන්න පුරුදු කරන්නෙපා ලොකුවුනාම පගා ගහන්නෙ එහෙම උං කියල.


කොහොමහරි ෆෝන් එක පැත්තකින් තියවන්න ඕන නිසා ටීවී එක දාලා ඒකෙ යන ළමා කාටුන් එකක් බලන්න දෙනව කියල ටීවී දාද්දිම මනෝවිද්‍යා වැඩසටහනක මැඩම් කෙනෙක් කියනව ළමයි බලන කාටුන් නිසා එයාලගෙ මොළේ ආතතිය වැඩිවෙලා අධි ක්‍රියාකාරී ළමයි ඇතිවෙනව කියල. පොඩි දේටත් කේන්ති යන, බඩු පොලොවෙ ගහන, කියන දෙයක් අහන්නැති හරිම මුරණ්ඩු ළමයි ඒ දේවල් ඉගෙනගන්නෙ ටීවී වල යන නුසුදුසු කාටුන් කතා නිසා කියල තමයි එයා කිව්වෙ.


ටීවී එක වහල දාලා මිදුලට එක්ක ගිහිං පොඩ්ඩක් මිදුලෙ සෙල්ලං කරන්න කියල බලං ඉද්දි කොහෙද ඉඳං ආපු රිළවෙක් ලඟ ගහක ඉන්නව දැක්කා. එතකොට මට මතක් වුනා ඊයෙ නිව්ස් වලට කියපු වඳුන්ගෙන් බෝවෙන මොකක්දෝ උණක් මේ දවස් වල පොඩි ළමයින්ට හැදෙන්න  පටන් අරන් කියල. ඒක වසංගතයක්ලු. අනිත් පැත්ත බලද්දි පූසෙකුත් දිව්වා. පූසංගෙ මවිල් වලට ළමයින්ට ලෝකෙ නැති ලෙඩ හැදෙනව කියල අපේ අම්මත් දවසක් කිව්වා. මිදුලෙ දුව දුව හිටපු ළමයව කෝකටත් ඇතුලට එක්කං ගියේ ගේ ඇතුලෙවත් සෙල්ලමක් කරන්න දෙන්න හිතාගෙන.


ගේ ඇතුලෙ සාලෙ එයාගෙ සෙල්ලං බඩුටික පොඩි කාපට් එකක් උඩට දාලා, ඒ ටිකෙන් සෙල්ලං කරන්න දීලා පුටුවෙ වාඩිවෙලා විනාඩි පහක් යන්න වුන්නෑ. බඩු ටික කොහෙවත්, කාපට් එක අරන් පඩිපෙල හරහට දාලා, උඩට ගිහිං ස්ලයිඩ් පදින්න ලෑස්තිය. ගිය සතියෙ පඩිපෙලේ පනින සෙල්ලං කරල උඩහ ගෙදර ළමයගෙ කකුල කැඩිල තාම නැගිටින්න බෑ කියල මතක් වුනේ එතකොට.


හූ කියාගෙන ගිහිං පොඩි එකාව අල්ලගත්තෙ නැත්තං ඌත් එක්කම මාවත් හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වෙනව.


මොන රෙද්දක්ද.. ෆෝන් එක අතට දීලා කොකෝමෙලන් දාලා දුන්නා.. ඇයියකෝ.. හොඳට තියෙන අතපය කඩාගත්තට පස්සෙ මොළේ විතරක් බේරගෙන අහවල් එකක් කරන්නද.. අපිට මේ කෙන්ති යන්නෙ ෆෝන් බලලයැ.. විකාර

Wednesday, July 10, 2024

ලස්සන කෙල්ලෙක් ඇවිත් මගෙ ඉස්සරහ ඉද්දි

ලස්සන කෙල්ලෙක් ඇවිත් මගෙ ඉස්සරහ වාඩිවෙලා මගෙත් එක්ක වැදගත් කතාබහක ඉද්දි ඔෆිස් එකේ වැඩකරන අනිත් උං..

සගයා අංක 01
මචං වයිෆ්ගෙං කෝල් කීපයක්ම ආවා කෝකටත් පොඩ්ඩක් කතාකරල බලපං..

මම - මොන.. හරි මචං මං බලන්නං.. තෑන්ක්ස්..

සගයා අංක 02
අඩෝ කෑවෙ නෑ නේද. යමං කන්න. කන්න සල්ලිත් නෑ කිව්වනෙ. යමං මගෙ එකෙං කමු..

මම - ආ.. හරි යං මං එන්නං..

සගයා අංක 03
මල්ලි.. උඹලෑ අම්ම කතාකලා. හෙට සමෘද්ධිය ගන්න යන්න තියෙනව කියල නිවාඩුවක් ගන්න පුලුවන්ද ඇහුව. පොඩ්ඩක් කෝල් එකක් දියං..

මම - මොකා.. සමෘද්දිය.. ආ හරි හරි අයියෙ..

සගයා අංක 04
උඹෙ වයිෆ්ද කොහෙද කතාකලා. පොඩි එකාව මොන්ටිසෝරියෙන් ගන්න කිව්ව.. 11ටද කොහෙද.. ඒක බලපං..

මම - පොඩි එකා.. ආ හා බං..

සගයා අංක 05
මේ අර ණයට ගත්ත රුපියල් 5000 අද ගන්න පුලුවන්ද. දැන් සෑහෙන්න කල්නෙ මචං.. හවසවත් දෙනවද?

මම - ආ හවස දෙන්නං..

සගයා අංක 06
ආ මේ අර උඹ බූට් එක තියපු කෑල්ලද කොහෙද එකදිගට කෝල් කරනව. පව් ඕයි. පොඩ්ඩක් කතාකරපං. කොච්චර වුනත් කෙල්ලෙක්නෙ..

මම - කෙල්ලෙක්.. හ්ම්..

සගයා අංක 07
දැං ඔය කතාකර කර හිටිය ඇති ටයි එක ගලෝල තියල ගිහිං කට්ටියට තේ ටිකක් හදපං. පොඩ්ඩක් ඉඩ දුන්නම ඇඟේ නගින්න එනවනෙ..

මම - හොඳමයි සැර්..

සගයා අංක 08
අඩේ අදත් මගෙ ෂර්ට් එකද ඇඳන් ආවෙ. අලුත් එකක් ගනිංකො බං. යද්දි මතක ඇතුව සපත්තු දෙකනං තියල පලයං රෙද්ද..

මම - මේක.. උඹේ.. ආ හරි මචං..

සගයා අංක 09
අන්න උඹට බොස් කතා කලා. ආයි මොකක්හරි බුලක් කෙලල වෙන්නැති. ඔහොමනං බෑ මචං. කල්පනාවෙන් වැඩ කරපං. ගෑණු ගැන හිත හිත වැඩ කරන්න බෑනෙ..

මම- හරි අයියෙ මං බලන්නං..

සගයා අංක 10
ආ මචං අර බැඳපු ඇන්ටි කෙනෙක් කතා කලා උඹව අහල.. මනුස්සය පොලීසියෙද කොහෙද. පරිස්සමෙන් ආ..

මම - ඇන්ටි.. පොලිස්.. ආ හා හා

මේ ආකාරයට දස දහසින් සගයන් නැවත නැවත පැමිණ කිසිදිනක නැති සෙනෙහෙකින් මාගේ සුවදුක් විමසයි.. පුදුම සතුටක් තියෙන්නෙ..

සගයා අංක 25
ආ මචං අර රේප් කේස් එකේ නඩුව අද නේද.. යන්නැද්ද?

මම - උඹලෑ අම්‍....

ඇයියකෝ ඉවසීමෙත් සීමාවක් තියෙනවනෙ.. 😡

Friday, June 14, 2024

බුත්තල II



 2 කොටස


බුත්තල කියන්නෙ හරි සුන්දර ගමක්. ගම්මු කියන විදියට හරිම මෑතකදි ගම්උදාවකට පාරවල් ටික හැදෙකල් ඒක හද්ද කැලයක්. ඒ මිනිස්සු හරිම හොඳයි. මං වැඩට ගිහිං කරගෙන යද්දි ඒ මිනිස්සු එකා දෙන්න මං අඳුනගත්ත. සමහරු හොඳට කතා කලා. සමහරු මාව ගණං ගත්තෙ නෑ. එකෙක් ඇවිත් "මෙයාද අලුත් මහත්තය" කියල ගේමට වගේ අහල "හවස හම්බෙමු" කියල ගියා.


බ්‍රාන්ච් එකේ හිටියෙ කොල්ලො ටිකක් විතරයි. හැමෝම පිට එවුං නිසා හැමෝම හිටියෙ ක්වාටස් එකේ. උන්ටනං දැං මේක ගම වගේ. මට තාම ඒ භාෂාවත් ග්‍රීක් වගේ. එහෙ ඉඳලම බ්‍රාන්ච් එකේ උං කතාකරන්නෙත් ඒ ඇක්සන්ට් එකෙං. "එහෙම.." "මොනා කරන්නෙ.." "අයියා කෑවා.." වගේ ඒවා ඇහුවම මං මූණ දිහා බලං හිටියෙ මූ මොකක්ද මේ කියන්නෙ කියල හිතාගන්න බැරුව. කාලෙත් එක්ක තමයි ඒ අහල තියෙන ඒව අගට ප්‍රශ්ණාර්ථ දාගන්න පුලුවන් වුනේ.


අපි වැඩ ඇරිල ගිහිං පොඩි චැටක් දාගෙන ටීවී බල බල ඉද්දි එකපාරම අර හවස හම්බෙමු කියපු පොර ආවා. නම්ගම් කියන්න හරිනෑනෙ. දැනට පොරට සුබේ කියන්නං. අපිට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්. නම කියල කතාකලාට අංකල් කියන්න ඕන වයසෙ ඩයල් එකක්. අපරාදෙ කියන්න බෑ අඩුපාඩු සේරම අරන් ඇවිත් හිටියෙ. අපිට තිබුනෙ ඇතුලෙ තියෙන වීදුරු ටික මේසෙං තියන්න විතරයි. චියර්ස් සද්දෙං පටං අරං බුත්තල රජමහ විහාරෙ මුල්ගල තියද්දි කියපු ගාථාව වෙනකල්ම කියාගෙන එනව දැං අපේ සුබේ. මුලදි මුලදි මටත් ටිකක් ආගන්තුක නිසා සද්ද නැතුව හිටියට එක දෙක වෙලා, දෙක තුන වෙලා, සඳ බොඳ වෙද්දි ආයි මුකුත් නෑ එක බඩවැල කඩං ආපු ගානට ටෝක දැං. 


ඔහොම වැඩේ යද්දි එක එකා හිමීට කාමර වලට යනව. කෝල් එකක් අරන් මාරුවෙනව. ආයි එන්නෑ. ටික වෙලාවක් යද්දි මං විතරයි. සුබේගෙ පතරංගෙ තාම පිටු දෙක තුනක්වත් ඉවරනැති ගාණට කියවගෙන කියවගෙන කියවගෙන යද්දි මාත් හූ මිටි තිය තිය හිටිය. දන්නෙම නැතුව 1 විතර වෙලා. මේකා යන පාටකවත් නෑ. අනිත් උං කාමර වල දොරවලුත් වහගෙන. දෙයියනේ කියල ගෙනාපු බඩු ඉවරවුනා. "තව බාගයක් ගහමු" කියල සුබේ ඇහුවෙ වටේ හිස් පුටු ටික දිහා බලනගමන්. "කෝ මේ අනිත් උං" කියල අහගෙන නැගිටල යන්න හදද්දි මං කිව්වා "හෙට උදේ වැඩට යන්නත් එපැයි... හවස සෙට්වෙමු" කියල ෂේප් වුනා. "හරි එහෙනං අපි ගියා" කියල සුබේ ගෙදර ගියා.මාං රුවිතෙට කාමරේට ගියා. පළවෙනි පාඩම විදියට බොන මැද්දෙං නැගිටින පාඩම හිතේ තියාගෙන නිදාගත්තා.


රතුවෙච්ච ඇස් බාගෙට ඇරගෙන පහුවදා වැඩට ගිහිං ක්වාටස් එකට ආවෙ ඊයෙ ඇරියස් එකත් අල්ලන්න හිතාගෙන නිදියනව කියල හිතාගෙන. ටිකකින් එකපාරම එකෙක් දුවං ඇවිත්" ටීවි එක වහල ඉක්මණට වරෙං පිටිපස්සෙං එලියට යන්න" කියල රහසිං කියල කුස්සිය පැත්තට දිව්වා. අනිත් කාමර වල හිටපු උනුත් මොකෙක්ට හරි බයවෙලා වගේ ඉස්සරහ ජනේලෙං එලිය බල බල පිටිපස්සට දුවනව. මටදැං මංඤං වගේ. කට්ටියම දුවල ගිහිං පැත්තක තියෙන ගස් ටිකකට මුවා වෙලා ක්වාටස් එක දිහා බලං ඉන්නව.


මං දෙවනියගෙං "මොකක්ද බං කේස් එක" කියල අහනකොටම සුබේගෙ වාහනේ ඇවිත් ඉස්සරහ නැවැත්තුව. පොර හෙමීට බැහැලා බෝතලේකුත් අතින් අරන් ක්වාටස් එක ඇතුලට ගියේ ලොක් කරල නැති දොර ඇරගෙනමයි. මං අපේ එවුංගෙ මූණු දිහා බැලුව. "අදත් බොන්නද බං ඇවිත් තියෙන්නෙ.. මුට විහිලුවක්වත් තේරෙන්නැද්ද?" කියල ඇහුවෙ දෙවනියගෙං. "ඇයි උඹ මොනාද කිව්වෙ?" ඌ ඇහුව.

"නෑ ඊයෙ තව බාගයක් ගේන්න හැදුව. මං කිව්වා රෑවෙලා නිසා හෙට ගහමු කියල. මං නිකං කටට ආවට කිව්වෙ.." කිව්වා. හරිනෙ ඉතිං. උඹනෙ ඉල්ලං කාලා තියෙන්නෙ. අවුලක් නෑ, ටිකක් බලල යයි" ඌ කිව්වා. හිතුවට වඩා වෙලාවක් ගියා. හැබැයි පොර එලියට ආවා. වාහනේට නැගල යන්න ගියා.


අපි වාහනේ ලයිට් එලිය නැතිවෙනකල්ම බලං ඉඳල ක්වාටස් එකට ආවා. ඒක ඇතුලෙ එකම කෙලියයි. පුටු සේරම අනිත් පැත්ත ගහල. ටීවී එක බිමින් තියල. පහල තට්ටුවෙ කාමර වල ඇඳවල් කෙලිං කරල. මෙට්ට බිම. කට්ටියත් එක්ක වඳුරු කුණුහරප කිය කිය ඒවා අස් කර කර වැඩි වෙලාවක් යන්න උන්නෑ.


වාහනයක් ඇවිල්ලා නැවැත්තුව. දොර ඇරුන. "උඹල කොහෙද ගියේ. මං එද්දි මේක හායි ගාලා ඇරල දාලා. මොකද බං මේ ක්වාටස් එකේ හැටි.. මං මේ බයිට් එකක් ගේන්න ගියා, අලුත් මහත්තය එන්න කිව්වම නෑවිත් බෑනෙ" කියල බෝතලෙයි බයිට් එකයි මුනිං අතට නවල තිබ්බ මේසෙ ලෑල්ල උඩිං තිබ්බා.


සීසීකඩ තිබුනු කුෂන් පුටු මේස අතේ තියාගෙනම අපි එක එකාගෙ මූණු දිහා බලාගත්තා. සුබේ එදත් චියර්ස් සද්දෙං පටං අරං බුත්තල රජමහ විහාරේ මුල්ගල තියනකොට කියපු ගාථාව වෙනකල්ම විස්තරකරගෙන ගියා. අනිත් උං කලිං කාමර වලට ගියා. සුබේ ගෙදර ගියා. මං රුවිතෙට කාමරේට ගියා.


මතුසම්බන්ධයි..


ප.ලි.

පලවෙනි එක ලයික් පන්සීය පැන්න නිසා මේකත් ලිව්වා

Wednesday, June 12, 2024

බුත්තල I



පංචායත් කියන හිංදි කතාවෙ සීසන් තුනම ඉවර කරන්න ගියේ දවස් දෙක තුනයි. ඇත්තටම ඒක මට මාරම දැනුන කතාවක්. ඒකෙ තියෙන්නෙ ඉගෙනගත්ත තරුණ කොල්ලෙක් පළවෙනි රස්සාවට දුෂ්කර පළාතක රාජ්‍ය රැකියාවකට යන එකක් ගැන. එතනදි උට ඒ ගමේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනව. ඒ කතාව ඇතුලෙ මට පෙනුනෙ මාව. ඒක වෙන්නෙ මෙහෙමයි.


කාලෙකට කලින් ජොබ් එක කරපු ආයතනයේ ට්‍රාන්ස් එකක් හම්බවෙලා බුත්තල යන්න වුනා. බුත්තල කියන්නෙ ඊටකලින් නිකමටවත් ගිහිං නැති මොන පාටද කියලවත් දන්නැති ගමක්. ප්‍රමෝෂන් එකත් එක්ක ආපු නිසා බෑ නොකයම යන්න හිතුවෙ. ගෙවල් වල ඉඳන් පැය තුනකින් විතර එහෙට යන්න පුලුවන් නිසා. ඇත්තටම පැය තුනක් යනව කියල දැනගත්තෙත් මුලින්ම ගිය දවසෙ.


බෑග් මලු ගොඩ නිසා මගේ තාත්තයි, මාමණ්ඩියි මාව ගෙනිහින් දාන වැඩේ බාරගත්තෙ එනගමන් පොඩ්ඩක් අනුමත වෙන්නත් හිතාගෙනම වෙන්නැති. කොහොමහරි අපි පැය දෙක හමාරක් තුනක් වගේ යද්දි බුත්තලට ගොඩබැස්සා. හෙට ඉඳන් වැඩ කරන්න ඉන්න එවුං ගැන මෙලෝ හත්තිලව්වක් දන්නැතුව ආපු ගමනක් නිසා නිකමට ඔෆිස් එකට ඔලුව දාලා දෙන්නෙක් තුන්දෙනෙක් හම්බවෙලා ක්වාටස් එක තියෙන තැන එහෙම අහගෙන ඒ පැත්තට ගියේ බඩු ටික බාලා තාත්තලව ගෙදර පිටත්කරන්න හිතාගෙන.


වාහනේ දාන්න තිබුනෙ කණු දෙකක් තිබුනට වැටක් හරියටනැති සංඛේතීය ගේට්ටුවකින්. පෙනුමට ක්වාටස් එක තට්ටු දෙකට දැක්කම ඔලුව ටිකක් නිදහස් වුනා. කවදාවත් දුෂ්කර පළාතක වැඩකරල නැති නිසා මේක මට අලුත් අත්දැකීමක්. තාත්තල දෙන්නයි මායි බැහැල දීපු යතුරෙන් දොර ඇරියා. හරිම පිලිවෙලයි. තාත්තල දෙන්නත් මගෙ පස්සෙන් ආවෙ ෂර්ලොක් හෝම්සුයි, වොට්සනුයි අපරාධ ස්ථානයකට ඇතුල්වෙනව වගේ හෙනම විපරමෙන්. මං ඉතිං අපේ සගයන්ගෙ කෙරුවාව දන්න නිසා ඇඟේ ලේ වතුර වෙලා තමයි අඩියක් තිබ්බෙ. මුලින්ම ඇතුලුවුන සාලෙ හරිම පිලිවෙලට තිබුනු නිසා හිතට පොඩි නිවනක් ආවා.


මං කිව්ව විදියට කාමරේ හොයාගෙන බෑග් එහෙම තියල එද්දි තාත්තල දෙන්න මිදුලෙ. බිම වැටිල තිබුනු සිගරට් ෆිල්ටරේකුයි, බියර් බෝතලේක මූඩියකුයි අතේ තියාගෙන මූණට මූණ බලාගෙන හිටියෙ මං එනකල් කියල දැනගත්තු ගමන් මං ආයි හැරිලා ඇතුලට යන්න හැදුව විතරයි "හොඳ බෙබාලා ටිකක් ඉන්නව වගේ මෙතනනං.." කියල කිව්වෙ අපේ තාත්තා. මං ඇහුන්නෑ වගේ එහෙමම කුස්සිය පැත්තට ගියේ මොනාද තිබෙන පහසුකම් බලන්න නෙවෙයි අතන යන බේබදු පරීක්ෂණයට උත්තර දෙන්න වෙන නිසා.


කුස්සියට ගිය මගේ ඇස්දෙක උඩගියේ පිටිපස්සට වෙන්න බිත්තියට හේත්තු කරල ගොඩගහල තිබුනු ගල් වොඩ්කා ජින් විස්කි බියර් බෝතල් තෝගේ දැකල. අර මූඩියට දීපු ටෝක් එකේ හැටියට මේක දැක්කොත්නං මේ ඩබල මට සිරෝසිස් වලට බෙහෙතුත් දීලා, වැඩ කරන එවුං පුනරුත්ථාපනය කරල තමයි නවතින්නෙ. කුස්සිය හැමතැනම අවුස්සල අවුස්සල පෝර උර දෙකක් හොයාගෙන බෝතල් ටික වහල දාපු දාඩිය පාර අතින් පිහිදානකොටම තමයි තාත්තගෙ සුන්දර කටහඬින් මගේ නම කියන සද්දෙ එන්න එන්න වැඩිවේගෙන කුස්සිය පැත්තට ආවෙ. තාත්තව මගදි නැවැත්තුවෙ නැත්තං මේ බෝතල් ටිකත් එක්ක පැය තුන හතරක ලෙක්ච එකක් අහන්න වෙන නිසා අඩියට දෙකට ඇතුලට පැනලා තාත්තව හරවගෙන ඉස්සරහට ගියේ "තාත්තෙ පොඩ්ඩක් එන්නකො දෙයක් අමතක වුනානෙ" කියාගෙන.


වාහනේට ගිහිං සාක්කුවෙ තිබුනු මගේ ලයිසන් එක අරගෙන තාත්තට බොරු කතාවක් කියල බෝතල් කන්දට යන එක නවත්තගෙන වැඩි වෙලාවක් ඉන්න නොදී තාත්තලව පිටත් කලේ වැඩි වෙලාවක් හිටියොත් මේ බිල්ඩිම හදපු එකා ගහපු බුලත් කෙල පාරවලුත් හොයාගෙන මට දෙසන්න පටන්ගන්න නිසා.


තාත්තලා ගියාම නිදහසේ කාමරේ එහෙම අස්කරගෙන සාලෙට ඇවිත් වෙලාව බලද්දි පහට කාලයි. කලින් වැඩකරපු තැනනං වැඩ ඉවරවෙද්දි හය හත වෙන නිසා කට්ටිය එද්දි රෑවෙයි කියල හිතාගෙන ෆෝන් එකේ උඩ පහල යන්න ගත්තෙ කම්මැලිකමට. විනාඩි දහයක් යන්න වුන්නෑ එකපාරම දොර ඇරගෙන හෙන සෙට් එකක් ඇතුලට ආවා. මට නැගිට්ටුනා. එද්දි කතාකරල ආපු එකා කිසි කලබලයක් නැතුව ඇවිත් උගෙ කාමරේට යනගමන් මං දිහා බලල "ආ මචං. ඇඳුමක් දාගනිං පොඩි ගමනක් යනවා. යමං. නාන්නත් ඇඳුමක් ගනිං.." කිව්වා.

"නාන්න.. අද කලින් වැඩ ඉවර වුනාද.." මං ඇහුවා.

"දන්නවනෙ ඉතිං. මෙහෙ මෙහෙම තමයි. පහට වැඩ ඉවරයි.. ලැස්තිවෙයං ටක්ගාලා.." කියල කාමරේ දොර වහගත්තා.

අම්මටසිරි ගජ යකෝ. මෙව්වනෙ බ්‍රාන්ච්. මට නිකං පිස්සු වගේ. ඇඳුමක් දාගෙන නාන්නත් ඇඳුමක් ගත්ත. ඔෆිස් එකේ දෙවනියට වාහනයක් තියෙනව. කට්ටියම ගියේ ඒකෙ. වැඩිය අඳුරන්නෙත් නැති නිසා මනෝපාරක් ගහගෙන යනතැනට යනකල් ගියේ ගමේ ඇලකට දොළකට යනව ඇති කියල හිතාගෙන. මොකක්ද බෝඩ් එකක් ගාවිං වාහනේ ඇතුලට දාලා නැවැත්තුවෙ පූල් එකක් ගාව. මං ඇස්දෙකත් පිහදාලා බැලුවෙ මේ මොන බුත්තලක් වෙන්න යනවද කියල හිතාගන්න බැරුව.


කොහොමහරි කට්ටිය පූල් එකේ හෙන ආතල් එකක් දාලා, පොඩි ෂොට් එකකුත් දාලා, කාලා එහෙම ක්වාටස් යද්දි රෑ8ට 9ට ඇති. පට්ට ආතල් බ්‍රාන්ච් එකක් මේකනං කියල රෑ තිස්සෙ ගෙදරටත් කෝල් කරල කියල නිදාගෙන පළවෙනි දවසෙ වැඩට ගියෙ මාර චූන් එකේ. හවස පහ වෙනකල් දීපු තැනේ වැඩටික හොඳට බලාගෙන ඉඳල වොෂ්රූම් එකට ගියේ දැං කට්ටිය යයිනෙ කියල හිතාගෙන. එද්දි සේරම යමරෙට වැඩ. එකෙක්ටවත් යන්න හිතකවත් නෑ. මං හිමීට ලංකරල දෙවනියගෙන් ඇහුව "මචං යමු නේ" කියල.


"යන්න. පිස්සුද යකෝ. ඊයෙත් වැඩ බාගෙට නවත්තල ගියෙ. මෙන්න මෙහෙ වරෙං මේ ටික ඉවරකරන්න. ඊයෙ අපි උඹට පොඩි ආතල් එකක් දුන්නෙ. ආයි ඉතිං ඒ වෙලාවට යන්න වෙන්නෑ පුතෝ.. ආ මේ ෆයිල් එක ගනිං"


"මොකා"

මට හික් ගෑවුනා.. 


මතු සම්බන්දයි..

ප.ලි. ඉතුරු ටික ලියනවද නැද්ද කියල හිතමින් ඉන්නෙ. ඒවා ලියල පාරෙ බැහැල යන්න බැරිවෙයිද දන්නෑ. බලමු.