Menu

Monday, February 7, 2022

දූපතේ තවත් දවසක්


 දූපතේ තවත් දවසක් 🏝


ක්‍රිස්ටිනා නහයේ බේරෙන හොටු ගවුමේ පිසදමමින් කුස්සියට ඇතුලු වේ.


ක්‍රිස්ටිනා : මොනවද තියෙන්නෙ කන්න රෑට.. බඩගිනියි හොඳටම..


එළිසබෙත් : කන්න.. හරි අපූරුයි ක්‍රිස්ටිනා.. පිහදාන විදිය හොටු ගවුමෙ.. නේද දැන් ලොකු ළමයෙක්.. වගේනෙ හැසිරෙන්නෙ පොඩි එකෙක්..


ජොආනා : කන්න තිබුනත් මොනව වුනත්.. තියෙනව වගෙයි හොඳට බටර්නං..


දෙදෙනාම හිනාවෙයි.. මේ අතර ඩේවිඩ් එතනට පැමිණේ..


ඩේවිඩ් : හොයන්නද බටර් කොහෙන්. ගැලෙව්ව අන්තිම අලෙත් තිබුනු මයියොක්ක. ඉස්සරනං හම්බුනානෙ පන්දාහවත්. වේලන්න වෙයි කරෝල මෙහෙම ගියොත්නං.


එළිසබෙත් : අනේ දෙවියනේ.. අස්වද්දනව කිව්ව නේද කුඹුරු ටික පුරන්.. මොකක්ද වුනේ ඒව පටන් අරන්..


ඩේවිඩ් : ඇහුවද කිව්වට මම එදා අර්නස්ට්.. බිලීවත් එකතුකරන් හදිස්සියෙ පාටකලා තාප්පනං.. බඩගින්නෙ තමයි දැං හැමදාමත්..


එළිසබෙත් : එපා කේන්තිගන්න ඩේවිඩ්.. වැඩිවෙයි ආයිත් ප්‍රෙෂර්..


අර්නස්ට් කිවිසුමක් අරිමින් කුස්සියට පැමිණේ.. ජොආනා නහය උඩට අදිමින් සිටී..


අර්නස්ට් : තියෙන්නෙ කොහෙද කොත්තමල්ලි.. අමාරුයි ඇඟට හොඳටම..


එළිසබෙත් ගොස් අර්නස්ට්ගේ නළලට අත තබා බලයි..


එළිසබෙත් : දෙවියන්ගෙ නාමෙට ඩේවිඩ්.. සහලෝල මේ ළමයට උණ.. අමාරුද ගොඩක් ඇඟට..


ඩේවිඩ් : තියෙනවලු උණක් කැස්සත් එක්කම.. අඩුවෙනව දවසින් වෛරස් එකක් පොඩි.


එළිසබෙත් : මංද වැදිලද කියල මොන සාපයක්.. කලින් ජොආනා.. පස්සෙ ක්‍රිස්ටිනා.. දැන් අර්නස්ට්.. හැදෙනව කෙනෙක් හොඳවෙද්දි කෙනෙක්ට..


එමිලි බෙල්ල අතගාමින් පැමිණේ..


එමිලි : රිදෙනව මගේ උගුරත්.. හැදුවොත් සුවදරණි දෙනවද මටත්..


කියා එතනින් පිටව යයි..


ජොආනා : ලබන සතියෙ විදිනවලු එන්නත බූස්ටර්.. විදගන්න යන්න ඉන්නෙ මායි බෙනුයි..


එළිසබෙත් : නැද්ද තාමත් ලැජ්ජාවක්.. ඇවිදින්න හැමතැනම එක්ක බෙන්..


ඩේවිඩ් : කතාකරන්න එපා ඕකගැන ආයිමත්. යන්නෙ නෑ එළියට කවුරුවත්.. දුන්නු ටික ඇති දැනට කරදර. හොයාගන්නං මම ආපු තැන මේ ලෙඩත්. 


බිලී හති දාගෙන දුවගෙන එයි..


බිලී : මිස්ට රොබින්සන්.. අන්න අර නපුරා.. 


ඩේවිඩ් : කියනවා කවුද? 


බිලී : දුවනව දැක්ක මං පාසන්ස්.. ලේ පෙරාගෙන නහයෙන්. කියවනව බෙන්ගෙ නම වියරුවෙන්. මට වුනේ මේ ටික උඹ නිසා කියමින්.. අල්ලගෙන ඇති දැනටමත්..


ජොආනා : අනේ දෙවියනේ.. බෙන්.. කරදරයක්නං වෙන්න එපා..


ජොආනා දිවයයි. ඒ පසුපස හොටු පෙරමින් අර්නස්ට්ද දුවයි.


එළිසබෙත් : වෙන්න එපා කලබල.. විසඳගනියි උන් ඒක.. ක්‍රිස්ටිනා නවතින්න..


ඩේවිඩ් : බෑ මෙහෙම බලං ඉඳල. කරන්නට වෙනව යමක්.. කෝ තුවක්කුව මගේ..


බිලී : ගේන්නං මං මිස්ට රොබින්සන්..


එමලි නැවතත් පැමිණේ..


එමිලි : කලබලෙන් මොකද මේ හැමෝම.. ඉවරද හදල මට සුවදරණි.. අමාරුයි ඇඟටත් මගෙ..


එළිසබෙත් : අහගන්න එපා කුණුහරප මගෙන්.. නැතුව ඉන්නෙ මං ඇඟේ ලේ.. ඉල්ලනව ඒ අස්සෙ බම්බුවක්.. යනව මෙතනින් යන්න...


කියා ඩේවිඩ් පසුපස දුවයි..

සියලු දෙනාම දිවයයි. පාසන්ස් සිටින තැනට ලංවෙනවිට පාසන්ස් බෙන්ව බිම දමාගෙන පහර දෙයි..


ඩේවිඩ් හා අර්නස්ට් දෙදෙනාව දෙපැතතට කර රණ්ඩුව නවත්තයි. 


පාසන්ස් : කරුමක්කාර මෝඩයා.. ගෙනාවෙ තමුසෙ තමයි මේ ලෙඩේ.. නහය බලනව මගේ..


ඩේවිඩ් : මොකක් වුනේ කියනව පාසන්ස්.. මරන්නද හදන්නෙ මේ ළමයව.. උනේ මොකක්ද කියනව බෙන්..


බෙන් : කොක්කට නහය ගැලවිලා මුගෙ මිස්ට රොබින්සන්.. කරන්නද මොකක් මම.. 


පාසන්ස් : හැදෙව්වා ලෙඩක් කරුම.. පැනල ගෙවල් වලට රෑට.. හොඳට තිබුනු මගෙ නහය.. අමතක වුනා අත නැති බව..


ජොආනා බිම බලාගෙන සිටී. බෙන් ජොආනා දෙස බලයි.. අර්නස්ට් හොටු උඩට අදිමින් බෙන්ව අල්ලාගෙන සිටියි. බෙන්ගේත් හොටු බේරෙයි. එළිසබෙත් පැමිණ ලේන්සුවකින් අර්නස්ට්ගේ හොටු පිසදමයි.


ඩේවිඩ් : කියන දෙයක් කියනව තේරෙන්න පාසන්ස්..


පාසන්ස් : බේරෙද්දි හොටු නහයෙ ඇදල දැම්ම මම කොක්කෙන්. ගලද්දි ලේ මූණෙං.. දැනගත්තෙ නැති බව නහයත්..


බිලී සිනහවෙමින් කට අතින් වසාගනී..


ඩේවිඩ් : මරන්න හදන්නෙ ඒකට බෙන්ව.. හැදිලද පිස්සු තමුසෙට..


පාසන්ස් : වගකියන්න ඕන තමුන්ගෙ දුවයි මේකට.. එයයි දුන්නෙ මේ කරුම ලෙඩේ බෙන්ට. 


ඩේවිඩ් : රමණයක්ද මොන කියවන්නෙ පාසන්ස්.. ඇත්තද කියන්නෙ මේ ජොආනා..


ජොආනා : ඒ වුනාට තාත්..


ඩේවිඩ් : ඇති.. අර්නස්ට් අතාරිනව බෙන්ව.. යමු අපි අපේ ගෙදරට.. ඈත්වෙලා ඉන්න එකයි සුදුසුම නපුරු මිනිස්සුන්ගෙන් සදහට..


බෙන් කෑ ගසයි.. පාසන්ස් බෙන්ට පෙරළාගෙන පහර දෙයි. එළිසබෙත් ජොආනාගේ අතින් ඇදගෙන යයි. අනිත් අයද ගෙදර දෙසට ගමන් කරයි..

Sunday, January 30, 2022

නිදි කිරිල්ල...


 නිදි කිරිල්ල...


ලොව ඇති පහසුම කියා පෙනෙන අතිශය භයංකරම කාර්යය මට දැන්නං මේ ළමයි නිදිකෙරිල්ලය. ඇහැරලා ඉන්නවට වඩා නිදි කෙරුවාම දැනෙන නිවන ලබාගැනීමට කරන දුෂ්කර ක්‍රියාවනං කියලා වැඩක් නැත. අතට අහුවෙන ඕනම මඟුලක් කමින්, ප්ලග් පොයින්ට් වල ඇඟිලි ගසමින් සිය දිවි හානි කරගැනීමට පොඩි උං වෙහෙසෙන්නේ සමහර විට කවනවා-නිදි කරනවා-කවනවා-නිදි කරනවා වැනි කිසි තේරුමක් නැති ජීවිතයක් මොකට ගෙවනවාදැයි සිතෙන නිසා වෙන්නට පුලුවන. ඒත් අපිද ජීවත් විය යුතු නිසා උංව නිදි කිරීම අපේ ලොකුම වැඩේ වී ඇත. සමහර වෙලාවට මේක අපේ රටේ අවුලක්දැයි මට සිතේ. වෙනරටවල ළමයි කොට් වල තනියම නිදියනවා යැයි මං අසා ඇත. ඒකනං ලෝක පුදුමයකි. 


අමාරුම පාට් එක උං ඇඳට ගැනීමය. රෑ වෙනව දවල් වෙනව එළි වෙනව තියා කාලය ගැන කිසිම හැඟීමක් නැති එකෙක්ව දැන් නිදියමු කියා ගෙනයාමම ගේමකි. කොහොමහරි ගෙනිච්චත් නිදියාමට පෙර උංගේ සියලු අවශ්‍යතා අපි විසින් සපුරාලිය යුතුය. කතානං කතා, සිංදුනං සිංදු, නැටුං නං නැටුං විතරක් නොවේ උං කිව්වොත් අපිට ඔය තුනම එකවර වුවද කිරීමට සිදුවනු ඇත. පට්ට ගෙමක් ගසා යංතං ඇස් පියවීගෙන එනවිට මොකක්හෝ කියා නැවත නැඟිටීම පොඩි එවුංගේ ජන්ම ගතියකි. වතුර තිබහක්, චූ බරක්, බඩගින්නක් හෝ මුකුත්ම නැත්තං මාසෙකට කලින් වැටුනු එකක කැක්කුම දැන් සිහිවීම වැනි රටේ නැති ඕනෑම අවශ්‍යතාවක් එකවර මතක් වී ඉද්ද ගැහුව වගේ කෙලිං වෙන්නෙ උට නින්ද යයි කියා බයටය. ඇත්තටම කිව්වොත් උංව නිදි කරන්නට අපි උන්ට වඳින්නැති ටික විතරය.


මේ වෙලාවට ගෙදර කිසිම වැඩක් සාමාන්‍ය ලෙස කිරීම අපට අවසර නැත. ටීවී බැලීම, අස් කිරීම, පිඟන් සේදීම, ඉඳගෙන සිටීම, ඇවිදීම තියා හයියෙන් කල්පනා කිරීමවත් කල නොහැක. උං එච්චරටම සංවේදීය. ගෙදර සියලු සද්ද නවතා, දාඩියට පිඹිමින්, කකුල් කැඩෙනකල් වනමින්, කට රිදෙනකල් සිංදු කතා කියවමින් නිදිකල පසුව ඌව ඇඳ මත තැබීම මීළඟ මෙහෙයුමයි. මීට පෙර ජීවිතේ කිසිම දවසක එතරම් පරිස්සමෙන් කිසිම වැඩක් කර ඇත. මොකද මූ ඇහැරුනොත් කන්නට වෙන පරිප්පුව දන්නා නිසාය. දශමයක්වත් නොසොල්වා ඇඳ මත තැබීමට හැදුවත් දෙපාරක්වත් ඇහැරී නැවත නිදිකරවීමට වීම සාමාන්‍ය සිරිතය. ඒ මේ අස්සේ එන බෝතල් පත්තරකාරයන්, චූන් පාන් වෑන්, මාලුකාරයන්, මීකිරි කෙල්ලන් වැනි උන්ගේ ලවුඩ්ස්පීකර් සද්දයනං වහකි. යංතං ඇහැ පියවෙනකොටම එකෙක් යයි. දවසක ඕකුන් මගෙන් මැරුම් කන්නෙ පොඩි එකා නිදිකරවා වැදගත් වැඩක් 😜 කරමින් සිටින අතරතුරක ගියොත්ය. අන්න එදාට මීකිරි කෙල්ල මංගැන හරියටම දැනගනු ඇත. 


කෙසේ හෝ ඇඳෙන් තිබ්බාම මීලඟ කාර්යය නෙට් එක දැමීමය. ස්පයිඩ මෑන් බිල්බිම උඩ යනව වගේ කකුල් අත් විහිදාගෙන ඇඟේ පොඩ්ඩක්වත් නොගෑවෙන්නට මෙය කිරීමට දඟලන දැඟලිල්ල දැක්කොත් තනි ඇහැට ඇඬෙනවාය. ඒකටත් එක්ක අපේ ඇඳවල් මරුය. අඩියක් තියන තියන සැරයක් ගානෙ ලී ඇඳං වල සද්දයට අරූ උඩ යයි. මං මෙට්ටෙ හපාගෙන කොට්ට බදාගෙන බිමට පැනගන්නේ ආයිමත් සිදූ මුලසිට බැලීමට හිතේ හයියක් නැති නිසාය.


මෙතෙක් වේලා කියපු කරපු සේරම ලෙසටම කලත් ඇඳෙන් බැස යන ටිකට කකුලට උගෙම චීස් බීස් සෙල්ලං බඩුවක් පෑගීම, මේසයක් පෙරලීම, හචිමක් යාම, දොරේ හැප්පීම වැනි දේවල් ඉතාම සුලභ සිද්දිය. ඒවායේ ප්‍රතිඵල නැවත පැයගාණක් අතිවිඳින්නට සිදුවේ. මුකුත්ම නැත්තං කකුලෙ ඇටයක් හරි කැඩෙන සද්දෙට ආයිත් ඇහැරෙන අවස්ථාද එමට ඇත. උංට ඇත්තේ පුදුම කංය. ඇහැරලා ඉන්න වෙලාවට නම කියා දහ අතේ බෙරිහං දුන්නත් කනකට නොගන්න එකාට නින්දේදී අධි සංවේදී කං ලැබෙන්නේ කෙසේදැයි මට තාමත් පුදුමයකි. 


කොහොමවුනත් මොනතරම් ගේමක් ගසා ලේ පුච්චගෙන ඇඳෙන් තියා බැස්සත් පසුව ඌ නින්දෙන්ම යංතමින් සිනහවෙන්නේ මෙතෙක් කල කී දෑ සියල්ල දැක මට කෝචොක් එකට වගේය. ඒත් අර අමාරු සේරම අමතක කරවන ඒ හිනාවනං ඉනාවකි.

Sunday, January 23, 2022

සුරංගනා කතාවල දේවල් ඇත්තටම වුනොත්..


 සුරංගනා කතාවල දේවල් ඇත්තටම වුනොත්..


දවසක් මං අසරණ වෙලා බඩගින්නෙ කැලේ මැද්දෙන් යද්දි සුරංගනාවියක් ඇවිත් සිතූ පැතූ වෙලාවට කැඳ හැදෙන කලයක් මට දෙනව. මං ඒක අරන් ගෙදර යනව..

අම්ම - මේක කොහෙන්ද හොරකං කලේ.. කියපං..

මම - අනේ අම්මෙ මේක මට සුරංගනාවියක් දුන්නෙ..

අම්ම - අනෙ පලයං යන්න.. තෝ හිතුවද මං මේ මී හරකෙක් කියල.. මගෙං මැරුං නොකා ඕක හොරකං කරපු එකාට ගිහිං දීපං..

මම - අනේ නෑ අම්මෙ.. මේක අපි හිතපු ගමන කැඳ දෙනව. බලන්නකො..

අම්ම - කැඳ.. තෝ ආවද මෙතන මාව රවට්ටන්න.. හිතපු හිතපු වෙලාවට කැඳ දෙන්න උඹ හිතුවද මේක බොගෙ අප්පුච්ච කියල.. මං ආයි උඹට කියන්නෑ.. කරුණාකරල මේ මඟුල් කලේ අරං ගිහිං තිබ්බ තැනකින් තියල වරෙං..

මම - අනේ... අම්මෙ.. ගහන්නෙපා.. ආව්.. මේ යනෝ.. ආහ්.. එපා.. යනෝ..


***************************************


දුප්පත්කම නිසාම ගෙදර හිටපු එකම එළදෙනව විකුණන්න ගිහිං බෝංචි ඇට දෙකක් අරගෙන ගෙදර ගියාම..

තාත්තා - ඈ බොල ගොං වස්සො.. ගෙදර හරියටම හිටපු එකම එළදෙන දුන්නම මං තොපිට කිරි දෙන්නෙ තොගෙ... මං කියන්නෑ.. ඔය ඇට දෙක අරගෙන ගිහිං තෝ ගහගනිං තොගෙ.. අනේ අම්මප ළමෙක් කියල එකෙක් හැදුව ඊට වඩා හොඳයි බලු පැටියෙක් හැදුවනං. අඩුම තරමෙ නැට්ට හරි වනනව. දැං තොගෙ ඔය ඇට දෙක තම්බල කන්න දීපං ගෙදර උන්ට.. අනේ ඇත්තට බං. තොට මොළේ කළඳක් නැද්ද බං.. දැං ඉතිං හිටපල්ල බඩගින්නෙ.. සිංපංචි ගොනා..


***************************************


රෙදි ටික හෝදන්න බෝඩිමේ ලිඳ ලඟට ගියාම එතන ඉන්න ගෙම්බෙක් දැකල උගෙ ඉල්ලීමට කිස් කරල කුමාරියක් වෙලා බෝඩිමට එක්ක ආවම..

බෝඩිමේ ඇන්ටි - මේ කවුද. තමුසෙලගෙ අම්ම මාව විස්වාස කරල මෙහෙ නැවැත්තුවෙ මේ මඟුල් නටන්නද. අනික මේකෙ ඉන්න හිටින්න තැනක් තියෙනවද. දැන් තමුසෙ ඔය ගෑණිවත් මේ කාමරේ තියාගෙන ඉන්නද හිතුවෙ. මේක අම්බලමක් කියල හිතුවද. මං දැං මේකිටත් උයන්නෝන. අම්මල අඳුරන නිසා සොච්චමක් අරගෙන ඉන්න දුන්නම තව උං එක්කගෙන මේක අස්සෙ ලැගල මාවත් නැති කරන්නද හදන්නෙ. මෙතන ගෑණු ගන්නෑ කියල දන්නැද්ද. බලපංකො මේකිගෙ ඇඳුං.. ඉන්නව නිකං කුමාරි වගේ.. කරුණාකරල එක්ක පලයං. නැත්තං මං දැන්ම අම්මලට කෝල් කරල කියනව පුතාගෙ වරුණාව.. මං ආයි නොකිව්වයි කියන්නෙපා..


***************************************


ඔන්න දවසක යාලුවොත් එක්ක බීච් එක පැත්තෙ ගිහිං ඉද්දි එකපාරම දියකිඳුරියක් හම්බවෙනව. අත ඇල්ලුව විතරයි කුමාරියක් වෙලා කරපු උදව්වට ගෙදර එක්ක යන්න කියනව. ගෙදර ගියාම..

අම්ම - ඒ පාර මොකාද මේ ගෙදර එක්ක ආපු තේ උඩිච්චි. බලපං කොණ්ඩෙ පීරල නෑ මාස ගාණකිං. ඇඟිලි බලපං. චිඃ විතරක්. කකුල් අත පය සේරම කොරපොතු ගැහිල. නෙදකිං.. 

මම - අනේ නෑ අම්..

අම්ම - ඥෑ ඥෑ නෙවෙයි.. ඉඳල ඉඳල ගෙනාවා එකියක්. දැං මොකද මේ හදිස්සියක්. තෝ කන්න බොන්න දෙනවද මේකිට. අඩුම ගානෙ තේකක්වත් හදාගන්න පුලුවන්ද. උඹට හරියමං ආදායමක් තියෙනවද දැං පවුල් කන්න. කෝ දැං මුන්දැගෙ අම්ම තාත්ත.. යකෝ දෙයක් කරන විදියක් තියෙනවනෙ. චාරිත්‍රයක් දන්නැත්ද තොපිල. දැං මේ ගමේ එවුං හදයි යස කතාවක්.. අනේ අම්මප මාත් හැදුවනෙ ගොනෙක්.. එක්ක පලයං මේකිව. ආයි හිටපු දිහාවටම දාලා වරෙං.. පලයං ඉතිං කිව්වම..


***************************************


දවසක් වතුර ගේන්න ගඟ ලඟට යනව. වතුර ගන්න ගඟේ ගලක් උඩ ඉඳන් නැමෙන කොටම මෙන්න බොලේ කොළයක් උඩ  පාවෙලා එන ළමයෙක් එනව. කරන්න දෙයක් නෑනෙ. මං ළමයව අරගෙන ගෙදර යනව. ගෙදර ගියාට පස්සෙ..

වයිෆ් - ආ.. මේ මොකද..

මම - මං මේ ගඟ ලඟට යද්දි මේ ළමය ගඟේ පාවෙලා ආවනෙ..

වයිෆ් - මොකක්.. තමුසෙ හිතුවද මට අමු කැවිල කියල.. කාගෙද මේ ළමය.. ආ..

මම - මේ ළමය කාගෙද දන්නෑ ඒයි.. මේ පව් නිසා මං ගෙනාවෙ..

වයිෆ් - තමුසෙට පිස්සුද ඕයි.. කොහෙවත් යන ළමයි ගෙදරට ගේන්න. මගෙ යකා අවුස්සන්නැතුව කියනව කාගෙද මේ ළමය.. කවුද මේකගෙ අම්ම.. ආ.. සචිනිගෙද. ඉරේෂගෙද.. ආ.. කියනව ඉතිං... බලපං ඒ මූණමයි. මං හිතුව ඕකි මේ මනුස්සයව ගොනාට අන්දගෙන ළමයෙක් දීල තමයි පස්ස බලන්නෙ කියල. 

අනේ ඇත්තට තමුසෙට ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නෑනෙ.. මං යනව අම්මලගෙ ගෙදර.. තමුසෙ ආයි මගෙ දෑහැට පේන්න එන්න එපා.. හෙනගහනව ඕයි තමුසෙට.. මට මේ කරපු අපරාදෙට..

Thursday, October 14, 2021

නරියෙක් කතා කරයි..


 නරියෙක් කතා කරයි..


මිනිහාට අපිත් එක්ක මොන ඇරියස් එකක් තියෙනවාදැයි අපි තාමත් නොදනිමු. ඉපදිච්ච දවසේ ඉඳං අපි ගැන කියන්න පුලුවන් හැම ජහජරා කතාවක්ම කියා ආයි කොහෙදි හරි දැක්කත් රෙද්දක් ඇඳං මූණ දෙන්න බැරි ගානට ඔලුව වෙනස් කරන්නෙ මොන පලියක් ගන්නදැයි අපේ කිරිකෑමුත්තාවත් දන්නේ නැත. අපිට ඇත්තේ කපටි කෛරාටික ගති බව කියන්නේ උපන් දවසේ සිට එකිනෙකා කෙළවගනිමින්, අංචි අදිමින්, ගේම ගසනා මිනිසාමය. නුඹලා තරම් හීන් නූලෙන් පට්ට චාටර් වැඩ කරනා සතෙකු තවත් නැත. ඉතිං අපි ඒ අතින් අහිංසකය.


මිදි ගෙඩියක් තියා ලොවිත් නෑ ලොවි ගහෙත් නැති වෙන්නම කෙලවෙලා ඉන්න අපි මිදි තිත්තයි කිව්වා යැයි කියා රට හැමතැනම කියවන එක මහ බලු වැඩකි. මුං ඇට කිරිබත් තියා මොන ඇටයක්වත් කන්නැති අපේම පස්සෙ පොල්මුඩු ගසන්නට එන්නේ මොන මඟුලකටදැයි මටවත් නොතේරේ. මේවා අහන කැලේ අනිත් සතුන් අපි මලපෙරේත බඩජාරීන් ගාණට දමා නෝන්ඩි කරන්නේ අපේ ළමයෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි ගානටය. 


අපිට කුකුල්ලු බාර දෙන්න බැරි එක ඇත්තය. ඒත් ඔය කියන එකෙක්වත් අපිට කවදාවත් එහෙම බාර දී නැත. බාර දුන්නොත් එක් කුකුලෙකුටවත් අත තියන්නෙ නැතුව රස්සාව කරගෙන ඉන්නට දන්නා නරියන් ඕනතරම් ඇත. බල්ලාව විතරක් ලොකුකරගෙන දඟලන මිනිස්සු අපි ගැන දන්නේ නැතිය. ආදිකාලෙ එක නරියෙක් දෙන්නෙක් කරපු බලු වැඩක් නිසා මුලු නරි සංහතියටම නිග්‍රහ කිරීම හෙනගහන වැඩකි. නිල් බාල්දියට වැටුනු එකා නිසාද අපි කතා අසා ගත්තෙමු. හැබැයි ලඟකදී එහෙම මුට්ටි වලට වැටුනු නරියෙක් තියා බල්ලෙක්වත් හොයාගන්නට නැත. කේජු කන්නට කපුටෙක් රවට්ටන්නට තරම් අපි දෙකයි පනහට වැටී නැත. එහෙව් පරණ කතා ආයි ආයි අදිමින් මේ පිරිමහන්නේ මොන වෛරයක්දැයි නොදනිමු. 


හූ කීම අපේ භාෂාවයි. අපි ආතල් එකට හූ නොකියයි. කාටහරි පණිවිඩයක් කියා ගැනීමට, කෙල්ලෙක් ටෝක් කරගැනීමට, නිකං කතා බහ කරන විට සමහර අවස්ථා වල අපි හූ කියයි. එහෙම නැතුව අපි දවස තිස්සෙම හූ කිය කියා ඉන්නේ නැත. එහෙව් හූවට දැං දී ඇති තැන අප්‍රසන්නය. ආතල් එකට හූවක් කියන්නත් දැං බැරිය. සිංදු කියන තැන්වලත් හූ කියයි. දේශපාලන රැස්වීම් වලදීත් හූ කියයි. ඇඳුමක් ගැලවනත් හූ කියයි. වැරැද්දක් වුනත් හූ කියයි. ඒ විරක්නං මදැයි.. තමන්ගේම සිංදු වලට හූ කියන්නැයි උං උංම ඉල්ලයි. හූවක් ඕනේ.. තව හූවක්.. කෝ කෝ හූව.. වැනි හූ සංකල්ප වල ඇත්තේ මොන හුයන්නක්දැයි හූව මූලික නරි ප්‍රජාව තවමත් සොයමින් සිටී.


අපේ හූව දැං මිනිස්සු පාවිච්චි කරන්නේ මහ කැත විදියටය. අපි නිකං හූ කිව්වත් සත්තු උන්ගේ අහවල් එක වසාගන්නට කැලේට දුවයි. අපේ හූව අපිටම එපා වී ඇත. ආලෝක වර්ෂ ගාණක් ඇතින් ඇති තරු දිහා නැත්තං හඳ දිහා බලාගෙන හූ කියන්නට අපිට කැසිල්ලක් නැත. මිනිස්සුන්ට වගේ හඳේ මහලොකු ආතල් එකක් අපිට නැත. 


නරි නාවන්නෑ කියා කියන්නේ කවදාවත් අපිව නාවන්න තියා අපිව දැකලවත් නැති ඇච්ච කොල්ලන්ය. ඒක මොන එහෙකට එහෙම කියනවාදැයි උංවත් දන්නවා විය නොහැක. මොකද කවුරුවත් ඇවිත් අපිව නාවනකල් අපි බලං ඉන්නේ නැත. අපිට ඕනනං අපි නානවාය. නැත්තං නිකං ඉන්නවාය. ඒකටත් කතා හදන්න එපාය. 


රටේ ලෝකෙ ඕනෑතරං සත්තු ඉද්දි අපිව අල්ලගෙන මෙහෙම කොං කරන එකනං අජූතය. ඉල්ලන්නට ඇත්තේ මෙපමණකි. දෙයියංගෙ නාමෙං අපිට පාඩුවෙ ඉන්නට ඉඩදීම වටී. ඉස්සර ගමක් ගමක් ගානේ කඩා පැන හොරා කෑම අපේ මුතුන් මිත්තන්ගේ හැටි විය හැක. ඒත් අපිටනම් එහෙම අමාරුවක් නැත. අතට අහුවෙන සතෙක්, කවුරුහරි කාලා දාපු සතෙක් , එහෙමත් නැත්තං පොඩි දඩයමක් වගේ දේකින් අපි බඩකට පුරවගෙන ජීවත් වෙනවා හැර තවදුරටත් අපි නරි වැඩ කරන්නේ නැත. කලත් ඔය කියන බලු වැඩ අපි හිතන්නේවත් නැත. දැන්වක් අපිට අපහස කර අපව අපහසුතාවයට පත්කිරීම නැවතීම යහපති. අපිත් කාගෙ හරි නරියෙක්. දැන්වත් ඕක නවත්තපියව්..


මීට ශෝකයට පත්..

අහිංසක නරියෙක්..

Sunday, September 12, 2021

ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..


 ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..


අපට ඇත්තේ සීමිත කාලයකි. එය තුල මැරි මැරී ජීවත් වීම අපරාදයකි. කෙටි ජීවිත කාලය තුල අපි සිදුකරන මෝඩකම් අතිමහත්ය. ළමයි හැදීම මේ අතරින් අතිශය තීරණාත්මක මරි මෝඩකමකි. ළමයින් නැතුව අවුරුදු ගාණක් රටේ නැති වෙද්දුන් සොයාගෙන ගිය මා ලක්ෂ ගණනින් වියදම් කර කරගත් ගොං වැඩේ ගැන දැන්නම් දහස්වාරයක් පසුතැවෙමි. හේතුව මෙසේය. 


ලෝකයේ ඇති ආදර හැඟීම් වලින් වැඩි වශයෙන්ම සංවේදී හැඟීම්බර වේදනාත්මක ආදරය කුමක්දැයි කෙනෙකු ඇසුවොත් මාහට ඇත්තේ එකම එක උත්තරයකි. දෙමව්පියන්ට ඇති ආදරය, ගර්ල් ෆ්‍රෙන්ට ඇති ආදරය, බිරිඳට ඇති ආදරය, ගුරුවරුන්ට ඇති ආදරය, සහෝදර ප්‍රේමය, යහලුවන් අතර ආදරය තනිකරම බොරුවකි. ඇත්තටම මව් සෙනෙහසටවත් හැරෙන්නටවත් නොහැකි තරම් තැනකට දරු සෙනෙහස සංවේදීය. ඒ ආදරයන් කොයිතරම් බොරුවක්දැයි දරුවෙක් ලැබුනු දවසක තේරුම්යනු ඇත. 


දරුවාව නිදි කිරීම අපා දුකකි. කකුලෙ තියාගෙන නලවා, වඩාගෙන ඇවිදමින්, උඩ දමමින්, කරකවමින්, දහසක් නරි නාටක කරමින් නිදිකරවන්නට හැදුවත් උටනං නිදියන්නට වුවමනාවක් ඇත්තේම නැත. වෙලාව ගැනවත්, හෙට ඇති වැඩ ගැනවත් උට සතපහක ගාණක් නැත.


කතා කියවමින්, ඒවා රඟපාමින්, සිංදු කියමින්, නටමින් පැයකට අදික වේලාවක් නිදි කරමින් සිටි මගේ දරුවා හදිසියේම නිකරුනේ කෑ ගැසීමට පටන් ගත්තාය. ඒක ඈගේ ට්‍රික් එකක් බව මං දැනගතිමි. නින්දයාම වැලැක්වීමට මොකක්හෝ ගිණි විජ්ජුම්බරයක් කිරීම සාමාන්‍ය ගතියය. මට මල පැන්නේය. එහා ඇඳේ සිටින කුඩා දරුවා ඇහැරුනොත් මුලු රෑම ඇහැරන් සිටීමට සිදුවන බව වැටහුනු මා කෑගසන දරුවාට තදින් කියා සිටියේ කෑ ගැහුවොත් දොර ඇරල එලියට දාන බවයි.


මල්ලිව ඇහැරුවොත් එළිවෙනකල් එලියෙ ඉන්න වෙයි, කටවහගෙන නිදියනවා යැයි මා කීවේ කේන්තියෙනි. දියණිය හැඬීම නැවතීය. බලෙන්ම මෙන් නවතාගත් නිසාමදෝ තදින් හුස්ම ඉහළ පහල ගැනීමට පටන් ගත් ඈ කට ඇරගෙන එකදිගට වේගයෙන් හුස්ම ගැනීමටද ගත්තාය. ඇඬීමනං නතර වුවත් ඇය දැඩි ලෙස බිය වූ බව මට තේරුනි. මා ඇයව බදාගෙන හරි හරි එලියට දාන්නෑ දැං බය වෙන්නෙපා යැයි කීවද ඇය තාමත් පෙරසේම හුස්ම ගනිමින් ඉකිගසමින් කීවේ අනේ තාත්තෙ මාව වෙව්ලනවා යන්න පමණකි. 


මට හීනාඩිය දැම්මේය. කරකියාගතහැකි දෙයක් නැතිව ගිය මා ඇයව තදින් බදාගෙන මුකුත් කරන්නෑ ඔයා කෑගහල අඬන්න මං මුකුත් කරන්නෑ කීවේ මගෙ පපුව හිරවෙන්න වගේ දැනුනු වේදනාව නැතිකරගැනීමටය. මේ දවස ගැන මට තවත් කීමට අපහසුය. එළිවෙනකල් නින්දක් නැතිව වරින් වර ඇයගේ  පපුවට අතතබා හුස්ම ගන්නවාදැයි බලමින් රැය පහන් විය. එවැනි හැඟීමක් මා මේ ලොවේ තවත් අත්විඳ නැත. බූට් පිට බූට් කෑවත්, දෙමව්පියන් අත් උඩ අවසන් හුස්ම ගියත්, සහෝදරයන්ට කුමක් වුවත් මේ හැඟීමට කිට්ටු වීමටවත් බැරි බව එදා තේරුම්ගතිමි. එදා මං අසරණ වූ තරම කොතරම්ද යත් මා තවම ඇයට බනින්නට බය වෙමි.


හොඳම කාරණය. "ආ ඒක එයා ඔයාව බයකරන්න කරපු වැඩක්.. එයා ඔයාව රවට්ටල" යැයි බිරිඳ කී විට මට දශමයකවත් තරහක් ආවේ නැත. තවමත් රෑ කීය වෙනකල් වුවත් ඇයව නලවා ඇය නිදාගන්නා වෙලාවක නිදියෑමට හැර මා කිසිත් නොකියයි. ඒ හැඟීම කොතරම් වේදනාකාරීද යැයි තවමත් හිතාගැනීමටවත් නොහැක. උඹ කොතරම් සත්ව අවිහිංසාවාදියෙකු වුවත් තමන්ගේ දරුවාගෙ මුහුණේ මදුරුවකු වසා සිටිනු දුටු දාක ඒ අවිහිංසාවාදයට තිත තබනු ඇත.


ඇත්තටම මේකනං පට්ට දුකක්. දරුවන්නම් හදන්න එපා මචං. ඒක කරුමයක්..