Menu

Thursday, August 1, 2019

ෆෙයාවෙල් නාඩගම..


මාලිංගගේ අන්තිම වන්ඩේ මැච් එකෙන් පස්සෙ තිබුණු presentation ceremony එක මාලිංගගෙ පෞද්ගලික පාටියක් කරගත්ත එකට මම පෞද්ගලිකව විරුද්ධයි. හෙන දිග කතාවක් කරලා, සනුහරේම පිට්ටනියට ගෙනල්ලා, තෑගි දීලා, හෙන නාඩගමක් නටලා මම පොරක් කියාගත්ත එකම මට විකාරයක්.

මේ මොන හත්තිලව්වක්ද මේ යකා මේ කරන්නෙ කියලා හිතුනු මට ඊයෙත් ඒ කෙළියම දැක්කම මේක ලියන්නම හිතුන. මේක දිගට යන වැඩක් වෙයිද? අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුංචි අම්මා, අල්ලපු ගෙදර ඇන්ටි, යාලුවගේ නංගි, ඇච්චො බැච්චො සේරම පිට්ටනිය මැද්දට ගෙනත් මේ මොන මඟුලක් කරනවද?

මුලින්‍ම තමන්ව හොයාගත්ත නැත්තං හඳුනගත්ත කෝච්ට පොඩි වචනෙකින් ට්‍රිබියුට් එකක් දෙන එක, අම්මව තාත්තව වයිෆ්ව මතක් කරන එක ඕකේ. මම හිතුවෙ පොඩිකාලෙ ප්‍රැක්ටිස් යද්දි වඩේ කාපු තැන වඩේ ඇන්ටිවත් ගෙනල්ලා මේ තමයි මම බඩගින්නෙ ඉන්නකොට දවසක් ඇවිත් වඩේ එකක් දීලා මගේ බඩගින්න නිවපු වඩේ ඇන්ටි කියලා එයාවත් එක්කං එයි කියලා.

ඒ තරං ප්‍රාථමිකයි ඒ වැඩේ. මේක යකෝ චම්පක රාමනායක කියන්නෙ අපේ නැෂනල් ටීම් එකේ කෝච් කෙනෙක්. ඒ කාලෙ ඉතිං පොර තමයි හැමෝවම පුහුණු කරන්නෙ. ඒක එයාගෙ ජොබ් එක. ඒකට දැන් ටීම් එකේ හැම එකාම ටීම් ජර්සි එක ගානෙ රාමු කරලා ගෙනත් දෙන්න ගත්තොත් ඒවා තියන්න වෙන ගෙයක් හදන්න වෙනවා පොරට. අනික ඒක දෙන එකේ අවුලකුත් නෑ. ආසාවනෙ. ඒත් මේ  ලෝකයක් ඉස්සරහා දීලා මොනා බලාපොරොත්තු වෙනවද මටනං තේරෙන්නෑ. ෂේප් එකේ බිස්කට් පැකට්එකකුත් අරගෙන ගෙදර ගිහින් කතා කරලා තේකක් බීලා මේක දීලා ආවනං මදැයි. 

මාලිංග කොහොමත් සංදර්ශණ වලට දස්සයා. ඒත් මේ කුලේ.
අනේ මන්දා. මේවා මීට වඩා professionally වෙන්න ඕන කියන එකයි මගේ අදහස.

අවශ්‍ය දේවල් කරන්න ඕන තැන, විදිය, වෙලාව ගැන මීට වඩා සෙන්ස් එකක් මේ යක්කුන්ට නැති එක හෙන අවුලක්. මොකා වුනත් පිටිපස්සෙ ඉඳන් මේවා මෙහෙයවන එවුන් ටිකක් ඉන්නවා කියන එකත් පැහැදිලියි. අනේ මේ උන්ට වැඳලා කියන්නෙ. ඉස්සරහට යන්න ඉන්න උන්ට මේ ගොන්පාට්නං කරන්න උල්පන්දං දෙන්න එපා. පව් අහිංසකයො ලෝකයක් ඉස්සරහා ජෝකර්ලා වෙනවා. කොච්චර වුණත් නැෂනල් ටීම් ප්ලේයර්ස්ලානෙ. මාලි නිසා කුලේ මේ වැඩේ කලා වෙන්න පුලුවන්. කුලේ නිසා තව සමහරු මුලා වෙන්න කලින් මේක නැවතුනොත් ඇති. රට්ටු හිනස්සන වැඩ මෙව්වා..

බනින එකෙක් බැනාං. හිතෙන දේ ලිව්වා..

අවුරුදු කෑම..


සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ මහා සංස්කෘතික අංගයක් වී තිබුණා යන්තමට මතකය. දැන් එය තනිකරම මාකටින් ගුන්ඩුවකි. රටේ ඉන්න මාකටින් පොරවල් අපිට අවුරුදු කවන්න දඟලන දැඟලිල්ල දැක්කම ඇඟ හිරිවැටේ. කොහාගේ සිට හිසතෙල් ගා හකුරුත් එක්ක කන පොල් කෑල්ල දක්වා සියල්ල මාකට් කර ඇත.

නානාප්‍රකාර කෑම ජාති, බීම ජාති, අවුරුදු කෑම  මේසය ආක්‍රමණය කර ඇත. තෑගි දෙන්න, හොරෙන් තියලා යන්න, තරහ උන්ට කවන්න, කෙල්ලෙක් දාගන්න ආදී හැමදේටම වෙන වෙනම බ්‍රෑන්ඩ් වර්ග හඳුන්වා දී ඇත. ඒවා ගන්නම හිතෙයි. මුකුත්ම නැත්තං අලුත් නැකත් වර්ග හදලා හරි අපිට උන් ඒවා විකුණයි. මේ එක ලෙඩකි.

ටවුන් වලට අලුත් ලෙඩක් බෝ වී ඇත. අලුත්ම නැත. උදේ ඉඳන් රෑ වෙනකල් ලදරං ලවුස්පීකර් (loud speakers වලට අපි කියන්නේ එහෙමය) හැටක් විතර ටවුම පුරා එල්ලා දමන ඇඩ් අඳෝනාවකි. අනේ අපෙනුත් මල් ගන්න යැයි මල් විකුණන මගෙ සීදේවි හොඳය. මුන් අද ඊයෙ දාපු කඩවල් වගේ හද්ද පරණ කඩවල් මාකට් කරන්න හදයි. ටයර් කඩ, මොන්ටිසෝරි, පංසල් වල පවා ඇඩ් දායි. ඒවා කොයිතරම් අපිට කරදරයක්ද කියනවනං ගෙදර යද්දි බස් එකේදිත් යන්තමින් එය හිතතුල රැව්දේ. නින්දේදීත් ඇසේ. ඒ ගහන සිංදු පිලිවෙලට කටපාඩම්ය. හවස් වෙද්දි රංවල මාස්ටර්ව තිත්ත වෙයි. කොහාගේ හඬ කොයිතරම් විකෘතිද කියතොත් ඒ හඬට නින්දෙනුත් බය වේ. ඒ තරම් අවුරුදු භීතිකාවක් ඇති කරමින් අපිට පාරක බැහැලා යන්නවත් එපා කරවයි.

මිනිස්සු රෙදි කඩවල් කනපිට පෙරලයි. මෙච්චර කල් ඇඳුම් නැතුව හිටපු උන් ගාණට ඇඳුම් ගනී. ඒකත් අන්තිම දවස් දෙක වෙනකල් බලං ඉඳලාය. එකපිට එක ඇඳුම් තුනහතරක් අඳින ගාණට රෙදි ගනී. නෝනලා රෙදි ගන්න තුරු මහත්තුරු සක්මන් භාවනාවේ නියැලෙන්නේ දරුවන්ද වඩාගෙනය. කඩවල් සේරගේම රෙදි බලා, ඔන්ලයින් ඇති රෙදිත් සොයා, අනිත් උන් ගන්නා රෙදි ගැනත් විමසා අවසානයේ මොකක් හෝ එකක් අරන් එන්නේ "රෙදි නෑ අප්පා.. මේ පාරනං අවුරුද්ද හරි සවුත්තුයි" කියාය. නැත්තං මෙච්චර වෙලා හෙව්වෙ මොන කජ්ජක්දැයි අහන්නට හිතුනත් කටපියන් ගෙදර යාම නුවණට හුරුය.

රෙදි කඩවල කාඩ් කුට්ටම්, කැරම් බෝඩ්, ප්ලේ බෝයි සඟරා වැනි දෑ පැය ගාණට හයර් කිරීමෙන් රෙදි විකුණනවාට වඩා හම්බ කළ හැකි බව උන් තාම දන්නේ නැතිපාටය. ළමයි බලන්නට වෙනම කාන්තාවන් යොදවා තවත් හම්බකළ හැක. අලුත් අවුරුද්ද යනු අලුත් ඇඳුම් ඇඳීම පමණක්දැයි සිතෙන තරමටම අපි එයට හුරු වී ඇත.

තෑගි දෙන සාස්තර, අවුරදු කෑම වෙනුවට අවුරුදු බීම, අතුරුපස චාරිත්‍ර වැනි අලුත් අලුත් සමයං අවුරුද්දක් පාසා හඳුන්වා දෙන මාකටින් පොරවල් ඊළඟට මොනා කරයිදැයි බයත් හිතෙයි. තවමත් අතනොතැබූ පරණ අවුරුද්දට ස්නානය කිරීමේ නැකත හා නව සඳ බැලීම වැනි චාරිත්‍ර වලටත් මොකක්හෝ වැල්වටාරමක් ගොතා අතේ ඇති පිච්චියට කෙලීම නුදුරේදීම වනු ඇත.

අම්මට සිරි අවුරුදු සිරි කියා හිතෙන්නේ ටීවී එක දැමූ විටය. දාන දාන එකේ රෙද්ද හැට්ට සරං ඇඳන් හෝසෙට නැකත් චාරිත්‍ර කවි ගැන කියමින් නැටුම් ක්‍රීඩා කරමින් පට්ට ගැමි චරිත මෙච්චර කල් කොහේ හිටියදැයි සිතේ. එකිනෙකා පරදන අමුතු අමුතු අවුරුදු සැමරුම් සංවිධානය කරන උන් නොකරන දෙයක් නැත. පොඩි උන්ට, ලොකු උන්ට, ගෑණුන්ට, ඇමතින්ට, නලුනිලියන්ට, වැඩිහිටියන්ට වෙන වෙනම උත්සව තබන ඔවුන් ඒවාට කොහොම වියදම් කරන්නේදැයි ප්‍රශ්ණයක් නැත. එහෙත් ඔවුන්ම විවිධ ආපදා අවස්ථාවන්වල අසරණ වන මහජනතාවට සරණ වීමට පෙරළා අපගෙන්ම මුදල් භාණ්ඩ එකතු කිරීමනම් ප්‍රශ්ණයකි. දවස් දෙකක් තුනක් එක හුස්මට අවුරුදු මතක් වී නටන චැනල් වල උන්දැලාට රංවල බලකාය ආයෙත් මතක්වෙන්නේ මීළඟ අවුරුද්දේය.

කරන්නට දෙයක් නැත. සියල්ල මවාපාන මේ රටේ අවුරුද්දද තනිකරම මහා මවාපෑමක් බවට පත් වී ඇත. ඉස්සර වගේ අවුරුදු නැතැයි අපිට හැඟේ. එය එසේදැයි දැන් දරුවන්ගෙන් දැනගත යුතුය. ඔවුන්ට තේරෙන  අවුරුද්ද මරුනං අපගේ මතය වැරදිය. මොනා කිව්වත් රෙද්ද හැට්ට ඇඳන් පොල් අතු පැළක් තුළට වී කවි කියා ගමක් මැවීමම මායාවකි. ඒ මේ ඇන්දවීම්, බොරු ගෙතීම්, හම්බකිරීම් අතරේ අවුරුද්දේ සැබෑ අර්ථය යට ගොස් ඇති බව පමණක් දැනේ. එය මොකක්දැයි සොයාගැනීම අපටත් දැන් අපහසුය.. කෙසේ වෙතත් කොහාගේ හඬ රේඩියෝවෙන් අසා, ටීවි එකේ අවුරුදු ක්‍රීඩා ටිකක් බලා, රතිඤ්ඤා පත්තු කර, අලුත් ඇඳුම් ඇඳ, බිස්කට් කා, මොණර කොළ හුවමාරු කිරීම අවුරුද්ද නොවන බව අප දැනගත යුතුය.

Wednesday, July 31, 2019

බස් කතාබස්.



ස්ටෑන්ඩ් එකක නවතා ඇති බස් එකක කොන්දොස්තර මහතා අඬ බෙර ගසා, පාවඩ දමා, උඩ රට නැටුම්කරුවන් මැදින් අපිව බසයට නංවා ගන්නේ මහත් සෙනෙහසින් වුවද, බහින තැන දී අපව ජනේලයෙන් එලියට පයින් ගසා විසිකිරීමට වුවද ඉඩ ඇත.

යාමට ඇති දුර ප්‍රමාණය දී ඇති කාලයෙන් බෙදා 3න් වැඩිකර 15න් බෙදා 103ක් අඩුකොට එහි වර්ගමූලය අවකලනය කොට ලබාගන්නා අගයක වේගයෙන් යුතුව පාර සිසාරා යන ලොමු ඩැහැගැන්වෙන ගමනක යෙදෙන ඒ රියදුරු දෑතට දෙවිපිහිටයි කියා බසය පුරා ඇලවූවත් මදිය. කෙතරම් වේගයෙන් ගියත් චීත්තයක සේයාවක් දුටු සැනින් මරණීය බ්‍රේක් පහර ගසද්දී ඉස්සරහ සීට් වල උන් පස්සටත්, පස්සෙ උන් ඉස්සරහටත් මාරු වී, හිටගෙන ඉන්න වුන් ඉන්දවේ. කෙසේ වෙතත් එසේ කරන්නේ මහ ජනයාට ඇති අතිමහත් ආදරය නිසා විය යුතුය. අවාසනාවක තරම නම් අප වැනි කොලු පුලටක් අත දමා තබා පාර මැද බුදියගෙන සිටියත් ඇඟ උඩින් යනු ඇත. එයට හේතුව අපගේ ඇති ශාරීරික හේතූන්ය. ඔවුන්ගේ ඇස් ෆෝකස් වන්නේ ඒවාටය. අපිට ඒවා නැත. උන්ගෙ වැරැද්දක්ද නැත. මරාගෙන මැරී හෝ නැග්ගත් අපි නැගීමට පෙර හා බැසීමට සැරසෙද්දී අද්දනවා සිකුරුය. ඒ අපි ලබා උපන් හැටිය.

කොන්දොස්තර මහතා හිතන් ඉන්නේ බසය මැද මරියානා ආගාධය කියාය. ඉස්සරහ උන් පස්සටත්, පස්සෙ උන් ඉස්සරහටත් එවා දොරවල් දෙක ලඟ එකෙක්වත් නැති කරන්නේ ඒ නිසාය. කෙතරම් සෙනඟ හිටයත් සීට් තියෙනවා නගින්න යැයි කියනවා ඇසෙන්නේ බොහෝ වෙලාවට තව එකෙක්ගේ කරේ ඉඳන් කකුල තියන්න බිමක් සොයනා විටය. කරුමෙකට හරි වාඩිවෙන්න හම්බවුණොත් වංගුවක් ගන්නා විට අයිනේ එකා වීමට වීමම කරැමය පලිසන්දීමකි. බැරිවෙලාවත් නින්දගියොත් ඩයිවර් අයියා අපව මවිත කරන්නේ සහරාෆ්ලෑෂ් එහා පැත්තෙ සීට් එකේ ඉඳන් මොර දෙන ගානට සද්‍දෙන් සෙට් එක දාලා අපි ජීව්තේට සෙට් එකක් අහපුනැති ගාණට දාලාය..

නිතර නිතර පස්සෙන් ටිකට් ගන්න යැයි කියනා බොහෝ කොන්දොස්කර මහතුන් ගිය ආත්මයේ මැජික් කරුවන් විය යුතුය.

ඉතුරු සල්ලි යන වචනය ඔවුන්ගේ භාෂාවට අදාලම නැත. රුපියලක් දෙන්න පහක් දෙන්න යැයි නිතර ඉල්ලන ඒ සාක්කුවල කිසිදාක ඉතුරු නැති වීම අරුමයක්ය . බැරිවෙලාවත් එකෙක් ඉතුරු ඉල්ලුවොත් උට කන්දෙකේ ඇඟිලි ගහගන්න කියනු ඇත. “මහත්තයා මේ රුපියල දෙක නොදී ඉඳන් අපි මාලිගා හදන්නැයි, බස් එකකට නගිනකොට මාරු අරන් එන්න දන්නැද්ද, අපි සල්ලි අච්චු ගහනවැයි බැරිනං බහින්න මහත්තයා” කියනා බොහෝ කොන්දොස්තර මහතුන් හිතන් ඉන්නේ අපි ගෙවල් හදා ඇතිතේ ඔවුන්ට නොදුන් මාරු සල්ලි වලින් කියාය. දුර බසයක ලඟ බැසීමට නැගීම මරණීය දඬුවම් ලැබිය යුතු වරදකි. හරියට ඒ ටවුන් වලින් උඩින් යනවාක් මෙන් “කිව්වනෙ මහත්තයා දුර විතරක් නගින්න කියලා කං ඇහෙන්නැද්ද?” ආදීවශයෙන් දෙනෝදාහක් මැද අපගේ මුතුන්මිත්තන් සිහි කරද්දී පොළොව පලන් යාමට සිතීම සාමාන්‍යය.


සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත ගත කරන ඩ්‍රයිවර් මහතුන්ද ඇත. හෝල්ට් එකක් ගානේ නගිනා අයව හෝල්ට් එක අසලදීම එහාට මෙහාට පද්දා නිදි කරවා ඉතාම සුවසේ ගමනාන්තය දක්වා ගෙනයන මොවුන්ට වෙලාව අදාලම නැත. අමතක වීමකින් ඇක්සලේරටය පෑගුනොත් ඇරෙන්නට වේගය යනු කුමක්දැයි ඔවුන් නොදනී.

පාර අයිනේ ඉන්නා සෝමේ අයියාගේ සිට ගෙතුල අමඳිමින් ඉන්න ඔහුගේ පුංචි අම්මා, අල්ලපු ගෙදර නංගි මෙන්ම ඒකගෙ ලැබෙන්න ඉන්න දරැවාද එනතුරු පැයක් වුවද රැකගෙන ඉඳීමට ඔවුන් පසුබට නොවේ. සමහර බස් වල යන ගමන් බසයෙන් බැස කඩයකින් ප්ලේන්ටියක් බී පාඩුවේ පයින් පැමිණ නැවත නැගිය හැකිය. හෝල්ට් ස්ටෑන්ඩ් දාලම නැති ඔවුන්ට සෑම කඩයක්ම ගෙයක්ම මෙන්ම පාර අයිනේ තම ශරීර කෘත්‍යක් කර කර ඉන්නා අයෙකු වුවද පෙනෙන්නේ හෝල්ට් එකක් ලෙසය. එවැනි බසයක දුරගමනක් යාමට සිදුවුවහොත් උට අබසරණය. දෙතුන් පාරක් නිදාගෙන ඇහැරුනද ඉන්නේ ටවුන් එකක් එහායින් කියා දැනගත් විට අප කාලය හරහා ආපස්සට ඇවිත් යැයි හැඟෙන තරමට පුදුම හිතෙනු ඇත.

මෙවැනි බොහෝ දේවලින් එදිනෙදා අපිව පුදුම කරවන බස්ගැන තවත් කීමට බොහෝ දේ ඇතත් තව කියන්නට ගියොත් මටද බස් එක මිස් වනු ඇත. කෙසේ වෙතත් වාහන නැති අපිට මේ තරම් ආතල් දෙන රියදුරු දෑතට මෙන්ම කඩන ටිකට් ඔය දෑතටද තෙරුවන් සරණය.

අදද බස් එක නැත. මගියන්ටද බොහෝ දිනවල මෙන්ම අදත් දෙවියන්ගේම පිහිටය..

Friday, July 26, 2019

සිංහලෙන් ලියලා තියෙන්නෙ...


මුලින්ම මේක තියෙන භාෂාව තේරුම් ගන්න බැරිඋන්ට සිංහලෙන් මේක දාලා ඉන්නං. ඔව් ඔව් සිංහලෙන් ලියලා තියෙන්නෙ ඌ.

උපුටා ගැනීම
"ඔබ දුටු දා සිට රතු රුධිරාණුවෙන් පටන් ගත් මා සිතේ ඇති වූ ආදරය අධර මහා ශිරාව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර ගොස් අඩ සඳ කපාටය පලුදු කර වම් කෝෂිකාව හා දකුණු කෝෂිකාව ආදරයෙන් පුපුරුවා හරිමින් මගේ මුලු හෘදයේම ඔබට ඇති ආලය පැතිර ගොස් එය පුපුරා මගේ මුලු ශරීරයේම පැතිර ගොස් ඇත"
තූඃ විතරක්. උපුටා ගැනීම අවසන්. 🤮

මෙය තනිකරම ආතල් එකට ලියූ ලියුමක්දැයි මම දන්නේ නැත. කොහොමහරි මාගේ නෑදෑ වන මේ වන විට උසස්පෙළ හදාරන නංගි කෙනෙකුට ලැබුනු මේ ලව් ලෙටර් එක නිසා මට මගේ රටේ අනාගතය ගැන පට්ට දුකක් ඇතිවුනේ. බැරිවෙලාවත් මේක සිරාවටම ලියපු එකක්නං ඌ හොයාගෙන ගිහින් දෙකක් ඇන්නත් පාඩු නෑ. ඒ මේ කෙල්ලෙක්ට ලියුමක් ලිව්වට නෙවෙයි. අවුරුදු දෙදාස්පන්සිය පනස් ජාතිකයක පෞඬ ක්‍රියේටිව් රෝමාන්තික ඉතිහාසයක් හා හැකියාවක් ඇති කොල්ලන්ගේ ගරුත්වය රේප් කරපු එකට. 

“කුමටද සොබනියෙ කඳුලු සලන්නේ හේතුව මම නොදනිම්
ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙනයන්නම්..”😍

බලපං ලස්සන. එන්න හිතෙනවනෙ. මේ රෙද්ද කියෙව්වාම බල්ලො බත් කන්නෑ හත්තිලව්වේ. අපේ රොමෑන්ටික් ඉතිහාසය ඇතුලෙ ඔතනින් එහා ඉඳන් “පන්දම” වෙනකල් මොනාමහරි නිර්මාණයක් කන වැටිච්ච එකෙක් ලියන ජාතියෙ එකක්ද මේ. බැරිනං නිකං ඉන්න එක වෙනම කතාවක්. කෙල්ලෙකුට උනත් පයින් ගහන්න හිතෙනවනෙ මේක කියෙව්වාම.

කෙල්ලෙක්ට ලියුමක් ලියලා සර් කෙනෙකුට අම්මට තාත්තට අහුවෙලා පොඩි සුන්දර නෝනඩියක් වෙන එකේ කිසි අවුලක් නෑ. ඒත් යකෝ මෙහෙම එකක් ලියලා ගුටියක් කෑවත් හතරවිලි ලැජ්ජයිනෙ. අනික මේක දැක්කම බනින්න හිටපු එකාටත් මරන්න හිතෙනවා. ඒ තරං අප්පිරියයි මට. 
කොහොම කොයි විදියට මේ මොට වීම සිද්ධවුනාද කියලා තමයි ප්‍රශ්ණෙ. කොහොම කොයි විදියට උනත් ඇතිවෙලා තියෙන තත්වයනං අති ශෝචනීයයි. මගෙ එකෙක් එහෙම මෙහෙම ලිව්වොත් බඩ කපාගෙන මැරෙන එක හොඳයි මේක කියවලා උට බනිනවට වඩා.

සමිත සිරිමාන්නලා තුශාර ජෝෂප්ලා අශේන් ව්ලොග්ස් ෆලෝ කරන තරුණ පරම්පරාවකින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. දැන් උන් අහයි ජෝතිපාලලා පුන්සිරි සොයිසාලා ඉරාජ්ලා කියපු කරපුවා වල ලොකු වෙනසක් නෑ දැන් ඒවත් එක්ක කියලා. ඒකෙත් පොඩී සීන් එකක් තියෙනවා. ජෝතිපාලගෙ පුන්සිරිගෙ සමහර සිංදු ඇහුවාම අපිටත් හිනාකාලා මැරෙනවා. මොනාද යකෝ මේ කියන්නෙ කියලා.

“බිඳුවක් ඉවසා කියන්න හිතවත.. කියන්න හිතවත ඈ මගෙ පෙම්වතියයි..”
“මිනී වලක මා යටකර තබන දින.. වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන..”
වගේ ඒවා අහද්දි නිකං අවුල් වගේ. හැබැයි වෙනස තමයි. අපේකාලෙ එවුන්ට තිබුනා පොඩි සෙන්ස් එකක්. ඒකෙන් ටිකක් හොඳ මට්ටමේ වැඩ ෆිල්ටර් කරගන්න පුලුවන් ගතියක් තිබුනා. ඒ කාලෙත් ගෝතයො හිටියෙ නැතුවාම නෙවෙයි. හැබැයි ගොඩක් උන්ට අර සෙන්ස් එක තිබුනා.

දැන් ඉතිං ඕවා කියලා වැඩක් නෑ. තම තමන් දන්න කියන එවුන්ගෙ ළමයිවත් පොඩ්ඩක් වැදගත් ඒවා අහන බලන තත්වයට පත්කරලා මොළ හෝදලා ගෙට ගන්න බලමු. මේ වගේ ලියුමක්නං ආයෙ වනේ වන හතුරෙකුගෙ දුවෙකුටවත් හම්බවෙන්න එපා කියලා තමයි අන්තිමට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ..

මේවගේ එකක් ලියන හැටි ගැන මොකක්හරි අදහසක් එන විදියෙ පෝස්ට් එකක් ලියන්න හිතෙනවා. බලමු ඉස්සරහට..

Thursday, July 18, 2019

ටෙලිවිෂනාලංකාරය...


උදේ පාන්දර පංසිල් අනුමෝදම් කරගෙන දෙයියනේ කියලා අපි හැමෝම අහරවන තැන ඉඳලා රෑ සෙටිය උඩ නින්දට යනකල්ම අපිත් එක්ක ඉන්න ටීවී එක නං දැං ගෙදර එකෙක් ගානයි.

උදේ පාන්දරම කුකුලත් අතින් අරන් මේ හරහා ගෙදරට වදින ජෝතීර්වේදීන්, අල්ලපු පුටුවේ එකා මොකක් කරයිදැයි සිතා ගත නොහැකිව සිටින අප හට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි තාරකාවලික් අපට විය හැකි කරදර බාධා ගැන පවසන්නේ අපහට කුහුඹුවකුගෙන්වත් හිංසාවක් පීඩාවක් සිදුවනවාට ඇති අකමැත්ත නිසා විය යුතුය. කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වැස්ස ගැන කියනවාක් මෙන් දවසේ සිදුවන සියලු කාරණා සැකෙවින් අපහට පවසන මොවුන් නිසා ජීවිත සශ්‍රීක කරගත් අය කොතරම් ඇත්දැයි ඔවුන්ට ලැබෙන ලියුම් හා දුරකතන ඇමතුම් සංඛ්‍යාවෙන් පැහැදිලි වේ.

හිසේ සිට දෙපතුල දක්වා සියලුම අංගෝපාංග සනීපාරක්ෂණයට මෙන්ම හැඩ කර ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් අප ලබා ගන්නේද ටීවී එකෙනි. වැඩසටහන් අතර නාට්‍ය අතර ප්‍රවෘත්ති අතර පමණක් නොව බණක් අතර උවද අපට කිසිම බාධාවකින් තොරව ඇඟට නොදැනෙන්නට මේ දැනුම ලබාදීමට ඔවුන් උත්සුක වේ. අපිට දත් මදින හැටි, නාන හැටි, අනවශ්‍ය රෝම ඉවත් කරන හැටි, කන බොන හැටි පමණක් නොව ටොයිලට් හෝදන හැටි පවා කියාදෙන මෙම ඇඩ් අපේ ජීවිතයට ඉතා සමීපය. සමහර නාට්‍ය බලන අපට සිතෙන්නෙ ඇඩ් යන අතර ඉඳල හිටල නාට්ටි කෑල්ලකුත් පෙන්නනවා කියාය. ඒ තරමටම ඇඩ්ය. කෑම බෙදාගෙන කා, වතුර බී, මුහුණ සෝදා, ටොයිලට් ගොස් පැමිණුනද තවමත් ඇඩ්ය. අපට නාට්ටියේ බිඳුවක්වත් මහ නොහැරීමට ඔවුන් වග බලා ගනී. දැන් අපිට ඒවා කටපාඩම්ය. අපට පමණක් නොව අපේ අවුරැදු 3 පොඩි එකාටද කටපාඩම්ය.

ටීවී එකෙන් අපට පෙන්නන නාට්ටි දෙස බැලූ කල ඒවා ඇඩ්වලින් පිරවීමේ වරදක් නැත. නාට්ටි බැලීමේදී ඇති වන අප්පිරියාව එයින් අඩුවේ. නැතිනම් අප්පිරියාව ඉස්මොල්ලේ යනු ඇත. එකම නලු නිලි පිරිසක් රඟපාන නාට්ටි දෙක තුනක් ඇති අතර ඒවා බලන විට අපට මඤ්ඤං වේ. සමහර නාට්ටි වල (මේවා නාට්‍ය කීමට සුදුසු නැත) සති දෙක තුනකට පසුව බැලුවත් එකම තැන එකම විදියට ඉඳිමින් එකම දෙයක් ගැන කතා කරමින් සිටී. සති තුන හතරක් නාට්ටියක් එක දිගට බැලුවත් පෙන්නා ඇත්තේ එකෙක් මැරී උගේ මළගෙදරය. ඇත්තට මලානං ඌ දෙතුන්පාරක් වළලලාය. නාට්ටියේ පස්වන සතියෙත් බොඩිය එතනමය. අපි මෙතැනමය. හැමදාම කතාකරන තැන් කතා කරන දේවල් අඳින ඇඳුම් පවා එකමය. කොටින්ම කිව්වොත් අපිටත් දැන් ඒවා අපේ වගේ මතකය. නැගිටිනවා වැඩට යනවා එනවා නිදියනවා වැනි ඒකාකාරී ජීවිත වල සිටින අපිට නාට්ටි වලිනුත් පෙන්වා දෙන්නේ එහි ආදීනව විය යුතුය. එහි නලු නිලියන්ටත් මේ කරැමය එපා වී ඇති අතර අපගැන කවර කතාදය.

ශාන්තිගෙන් පටන්ගෙන කංසා දක්වා වර්ධනය වී ඇති හිංදි නාට්ටි පෙන්වීම ටීවී එකේ තවත් ප්‍රධාන කාර්යයකි. ලෝකයේ සිදුවිය හැකි ඕනෑම ආකාරයක පවුල් ප්‍රශ්ණයක් විසඳීමේ හැකියාව මේ මගින් අපට ලැබේ. අප කුඩා කල අසා ඇති ඛේදනීයම කතා පුවතකට උරැමකම් කියන පටාචාරට ප්‍රවීණා පෙන්නුවොත් ඒ ගැන පොතක් ලියනු ඇත. අරටික වෙලා මම ඇඳුම් නැතුව දිව්වනං, හත්තිලව්වේ ප්‍රවීණා මොනා කරන්නට ඕනදැයි පුදුම වනු ඇත. සමහර කතාවල කතා කරන්නේ අග සිට මුලටය. තමන්ගේ පුතාගේ මුණුබුරාගේ යහලුවකුගේ පුතකු ගැන කතාව යන විටද ප්‍රධාන චරිතය එක විදියටම සිටී. මැරැණ එකෙක් ආපසු පැමිණීම ඉතාම සාමාන්‍ය වන අතර ඌ අවුරැදු 50කින් පමණ එනවිටත් පෙර ලෙසම පැමිණීම පුදුමයට කරැණකි.

ඉස්සර චිත්‍රපටියක් බැලීමට ඇති මරැම තැන මේ රෑප පෙට්ටියයි. ඒ අපට වෙන තැන් නැති නිසාය. කොටි වල්ගෙට අහුවුණා වගේ චිත්‍රපට බැලීමට පෙරදා අපට සිදුවූයේ ඡන්දයක් ඇති දවසකට පමණි. එදාටනං දෙවියංගේ පිහිටය. හවස පහට හයට පටන් ගන්න ෆිල්ම් එක ඉවර වෙන්නේ පහුවදා 3ත් පහු වෙලාය. මුලහරිය මතකත් නැත. මැද හරිය අනිත් ඒවා සමග මික්ස් වෙලාය. අපි බැලූ ෆිල්ම් එකේ සාරාංශය අධ්‍යක්ෂකට කිව්වොත් ඔහු තව ෆිල්ම් එකක් හදනු ඇත. කරැමය නම් අද බලන හැම එකම ඡන්දය දා බලන ඒවා වැනිය. ඇඩ් වැසි මැද ෆිලුම ජුන්ඩක් පෙන්වයි.

දැන් ඇති ආතල්ම කාරණය නම් මේ නයි පෙට්ටියෙන් මැච් බැලීමය. මේකෙදී නම් අපට කරන්නම දෙයක්නැත. බලන්නම වෙනවාය. මේ ලඟදි ටීවී එකෙන් මැච් බැලීමට පටන් ගත් එකෙක් සිතා සිටියේ ඕවරයට බෝල 4ක් ඇති බවයි. ඒ කිසිදාක ඔහු පළමු පන්දුව හා අවසාන පන්දුව දැක නැත. ඒ වෙනුවට නූඩ්ල්ස්, බීම වර්ග වල ඇඩ් දැක ඇත. තවත්හි එකෙඒ හිතන් ඉන්නේ ගොඩක් උඩ ගැසූ විට අවුට් වන බවයි. ඒ ඌ බලනහැම විටම බෝලය උඩ තිබෙද්දී නවතා නැවත පෙන්නන විට අලුත් එකෙක් ඇවිත් තිබීමයි.

මුල් කාලයේ යටිනුත් පසු කාලීනව පැත්තෙනුත් ඉතාම නුදුරේදී මැදිනුත් ඒමට නියමිත ඇඩ් ගොන්නක් මැද මැච් බැලීම අනාගතයේ අභියෝගයක් වනු ඇත. ලකුණු ගාණ දැන ගැනීමට ටීමි එකේ එකෙක්ට කෝල් කරන්නට සිදුවනු ඇත. විකට් ගාන බැලීමට කෑ ගැසූ වාර ගණන ගණන් කරගන්නට වනු ඇත.

යංතං අවුරැදු 2ක් පිරෙන තැන සිට අවුරැදු 70ක් වුවත් ස්ටාර් සිහිනය සැබෑ කරගත හැකි බව අපට කීවේ ටීවී එකය. අවුරැදු තුන හතරේ එවුන්ට වැඩිහිටි ඇඳුම් අන්දවා, වයසක දත් වැටුණු අයට පොඩි උන්ගේ ඇඳුම් අන්දවා දෙන ආතල් එක මාරය. මෙයින් ඒ දෙගොල්ලන්ම ජෝක් එකක් වන බව උන්ගෙ ගෙවල් වල උන්ටවත් නොතේරීම කරැමයකි. ඉපදීමට ඉන්න අයටත් මැරැණු බොඩි වලටත් ඉදිරිපත්විය හැකි කළලස්ටාර් හෝ බොඩිස්ටාර් වැනි තරඟයක් ලඟදීම පැවැත්වීමට කවුරැන් හෝ සැලසුම් කලහොත් පුදුම විය යුතු නැත. අපි ඒ තරං වෙනස්ය.

එදා දොස්තර හොඳ හිත, පිස්සු පූසා වැනි කාටුන් පෙන්වූ ටීවී පෙට්ටියෙන් දැන් පෙන්වන කාටුන් අජූතය. උන් කුණුහරැප කියයි. මරාගනියි. ලෝකෙ නැති ලෝක වැඩ කරයි. ඒවා බලන අපේ පොඩි උන් වහලවල් උඩින් පනියි. සතුන්ගෙ නැට්ටෙන් අල්ලා පොලොවේ ගසයි. අපිව මරාගෙන කන්න හදයි. බෙන් ටෙන් අර ටෙන් මේ ටෙන් කියමින් අපිව බය කරයි. උන්ට හෙන ආතල්ය. අපිට මෙලෝ රහක් නැත. උන් පව්ය.

සිංදුවෙන් තත්පර 10ක්වත් නොපෙන්වන චාට් ෂෝ, පැය කාලෙන් කාලට ගහන බ්‍රේකින් නිව්ස් අදී එකී මෙකී නොකී සන්නි වලින් රටක් නලවන මේ රෑපවාහිනී මෙවලම, කෝලමක් වී රට දැය නගා සිටුවීමට කරන මේ මෙහෙයුමට මාගේ හදපිරි මෙව්ව එක මින් පුදකරමි. 

රෑපවාහිනිය සදා වැජඹේවා..
චැනල් වලට තෙරැවන් සරණයි.. අපට බුදුසරණයි...